SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • සාරි, සිල් රෙදි බෙදලා ජනතාව චූන් කරලා ඡන්ද දිනන්න බෑ,
  • ආණ්ඩු කරන හැටි පාඨලී කියයි..
  • මේ අවුරුද්දේ ජනපතිවරණයක්ද ? මහ මැතිවරණයක්ද ?
  • "යුක්තිය" මෙහෙයුම පිටුපස ඇති ඇත්ත.
  • ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්වෙලා.
  • ලංකාව දැන් මානුෂිය ඛේදවාචකයක....

සාරි බෙදා සිල් රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘නව වසරේ දේශපාලන හා ආර්ථික අභියෝග’ යන මැයෙන් අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

 

එම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ , දේශපාලන මණ්ඩලයේ සභාපති සහ හිටපු අමාත්‍ය කරු පරණවිතාන , ‘ජනරජ කාන්තාවෝ’ සභාපති සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකා ප්‍රියදර්ශනී , Youth Republic සභාපති, දේශපාලන මණ්ඩල සාමාජික, තීක්ෂණ ගම්මන්පිල  සහභාගී විය.

 

පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කොට ඇති නිසාත්,  මේ වනවිට රට  මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කරලා ඇතැයි ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන මහ බැංකු අධිපතිතුමා සහ රජයට උපදෙස් සපයන විශේෂඥවරු පවසන බවත් රණවක මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

පසුගිය උත්සව සමයේදී විශාල පිරිසක් රට වටේ මෙන්ම විදෙස් සංචාර සඳහා ගොස් මුදල් වියදම් කළ නිසා මෙන්ම රටේ බොහෝ ස්ථාන වල  සැණකෙළි පැවැත් වූ හේතුවෙන් රට සාමාන්‍යකරණයට පත් වූ බවත් ඔවුන් ප්‍රකාශ කරන බව ද ඔහු පැවසුවේය.

 

නීත්‍යානුකූල මැතිවරණයකින් කවුරු බලයට පත් වුව ද,  පාර්ලිමේන්තුවේ බහුතර මතයෙන් අනුමත කරවා ගත් යෝජනාවලිය හැර වෙන යෝජනාවලියක් නොමැති බව ද  ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල විසින් අත්සන් කළ ගිවිසුමේ තිබෙන ඇතැම් වගන්ති, ඇතැම් කොන්දේසි කවර රජයක් යටතේ වුවත් ක්‍රියාත්මක කළ යුතු බව ද වැඩිදුර අදහස් දක්වමින් හෙතෙම පැවසූවේය.

 

ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කර ගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් සිදු කරගත යුතුව තිබෙන බවත් පැවසූ පාඨලී චම්පික මන්ත්‍රීවරයා අධික විදුලි බිල්, අධික ඉන්ධන ගාස්තු සහ දුරකථන ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම දෑ හේතුවෙන් එය රටේ ආර්ථික වර්ධනය ඇණහිටවන හේතුවක් බවට පරිවර්තනය වීමක් බව ද එමගින් ආර්ථික හැකිලීමක් සිදුවන බව ද පැවසීය.

 

වාණිජ ක්ෂේත්‍රය සඳහා ආසියාවේ ලොකුම විදුලි බිල අයකරනුයේ අපේ රටේ බවත් එය ඩොලර් පනස්දාහ හැටදාහ ඒක පුද්ගල ආදායම් තියෙන රටවල් වන හොංකොං, තායිවාන් වැනි රටවල් වලටත් වඩා වැඩි බවත් ඒ හේතුවෙන් අපේ රට තුළ ස්ථාපිත කොට ඇති කර්මාන්ත සියයට හතළිහක් විදුලි ගාස්තු අඩු වියට්නාමය වැනි රට වල කර්මාන්තකරුවන් විසින් ස්ථාපිත කරන බවත් ඔහු පැවසුවේය.

 

විදුලි බිල වැඩිකොට  විදුලිබල මණ්ඩලය ස්ථාවර කිරීමට යෑමෙන් කර්මාන්ත රටින් පිටව යන බවත් භාණ්ඩ මිලදී ගැනීම, පරිභෝජනය කිරීම, නිෂ්පාදනය කිරීම සිදු නොවන නිසා ආර්ථිකය හැකිලෙමින් පවතින බවත් පැවසූ අතර මේවනවිට ඉතුරුම් ද සීග්‍රයෙන් අඩු වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

 

රටේ පවුල් වලින් ආදායම් අහිමිව  වියදමත් වැඩි වූ මෙන්ම , රැකියා අහිමි වූ පිරිස සියයට පනහක් මේ වනවිට සිටින බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන බවත් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි මෙන්ම  ඖෂධ මිලදී ගැනීමට නොහැකියාවක් ඇති වී ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආර්ථිකය එසේ අව ප්‍රමාණය වෙද්දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ උගතුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරු මෙන්ම ආචාර්ය මහාචාර්ය වරුද , කළමණාකරුවන් ඉංජිනේරුවන් මේ රට හැර යෑම හේතුවෙන් රටේ මානව සම්පතද එසේම අව ප්‍රමාණය වන බව ඔහු පැවසූවේය.

 

භෞතික සම්පතත් නැත්නම්, මානව සම්පතක් නැත්නම්, කොහෙන්ද ආර්ථික වර්ධනයක් ළඟා කරගන්නේ යැයි ප්‍රශ්න කළ පාඨලී චම්පික රණවක  රටට මූල්‍ය ස්ථායිකරණයට අමතරව, වර්ධනයක්ද අවශ්‍ය බව රජයට පවසනවා යැයි මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

 

|ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රටක්. ඒ නිසා ආයොජන රටින් පිටට යනවා. දැන් ආර්තිකය හැකිලිලා තියෙන්නෙ. ඉතුරුම් අඩුවෙලා ඒ සමගම ආයෝජනත් අඩුවෙලා. ආයෝජන අඩු නම් ආර්ථිකය හැකිලෙනවා. ලංකාව දේශපාලන වශයෙන් යටත් කරන්න බලාගෙන එන ආයොජන විතරයි ලංකාවට එන්නෙ. වෙන කිසිම ආයොජනයක් නෑ.

විශාල බුද්ධි ගලනයක් වෙලා ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යයන් විතරක් 15000ක් ගිහින් තියෙනවා. ඒ සමගම ඩොලර් බිලියන ගාණක් පිටට ගිහින්.

ආණ්ඩුවට කියනවා දැන් ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. බදු සාධාරණිකරණය කරන්න ඕනේ. ආසියාවේ දුප්පතුන්ගෙන් වැඩිම විදුලි බිලක් අයකරන රට අපේ රට. විදුලි බල මණ්ඩලය පාඩුයි කියන එක අමූලික බොරුවක්.

බිලියන 60ක් ලාභ ලබල තියෙනවා. ඉන්ධන මිල වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම ඩීසල් මිල අඩුකළ යුතුයි. පාර්ලිමේන්තු කාරක සභා විහිළුවක් බවට පත්වෙලා.

මැතිවරණ වෙනකම් මේ විදිහට ඇදගෙන ගිහින් මැතිවරණ ලංවෙනකොට විදුලිබිල භාණ්ඩ මිල අඩුකරල ජනතාවට පොඩි චූන් එකක් දෙන්න හදනව නම් එක හරියන්නෙ නෑ. ජනතාව ඒකට රැවටෙන්නෙ නෑ. ඒනිසා මේ සහන ලබාදෙන්න අප්‍රේල් වෙනකම් ඉන්නෙ නැතුව.

පාර්ලිමේන්තුවේ ක්‍රම සම්පාදන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක් කරානම් මේ විදිහට බදුගහන්න ඕනේ නෑ.” 

 

 

 

එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනරජ පෙරමුණේ නායක චම්පික රණවක මන්ත්‍රීවරයා...

  

ප්‍රශ්නය

යුක්තිය නමින් මේ දවස්වල කරගෙන යන මෙහෙයුම ගැන ඔබතුමන්ලා එකඟයිද ? අත්පත් කරගැනීම කියලා දෙයකුත් සිදු වෙනවා මොකක්ද ඒ ගැන අදහස.?

 

පිළිතුර

ව්‍යාපාරික ආයතන අනිත් ඒවා පවත්වාගෙන ගියා කියන්නේ අවුරුදු ගාණක් පවත්වාගෙන යනවනේ. ඒ වගේ ආයතන එකපාර කඩා බිද දාන්නෙ නැතුව සියල්ලන්ටම සාධාරණ ක්‍රමවේදයක් අනුගමය කරලා ඒ මෙහෙයුම සිදු කළ යුතුයි. වෙරළ තීරයේ ඇතැම් හෝටල්වල එහෙම පොලිසිය ගිහිල්ලා බුල්ඩෝසර් දාලා කඩනවා. ඇත්තටම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා. ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතියක් තියෙනවා. ඒ මුහුදු සීමාවේ සිට මීටර් තුන්සීය මීටර් තිහක් ආදී වශයෙන් වෙන් වෙන් වෙච්ච සීමාවන් තියෙනවා. ඒ සීමාවල යම් ඉදිකිරීම් කරලා තියෙනවා නම් ඒ ඉදිකිරීම් කිරීමේ ඉවත් කිරීමේ බලය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙනවා. එතකොට ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ඕන නම් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ අධිකරණ ක්‍රියාමාර්ගය හරහා තමයි ඒවා ඉවත් කරන්නේ. ඒ සඳහා පොලීසිය කියනවා නම් මේවා කුඩු වලින් හදලා තියෙනවා. ඒ නිසා තමයි මේවා අපි ඉවත් කරන්නේ කියලා. තෝරාගත් අය ඉවත් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාමාර්ගයක්.

 

 |ඒ නිසා අපි රජයෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ යුක්තිය ක්‍රියාවලියට මුවා වෙලා තෝරාගත් පිරිස් වල හෝටල් වලට වෙඩි තියන්නයි, තවත් හෝටල් තවත් හෝටල් වලට කරගෙන යන්න ඉඩ දීමයි අතරේ  ඉතාමත්ම භයානක සම්බන්ධයක් තියෙන්න පුළුවන් ඒ ගැන කටයුතු කරන්න.

 

2015 දී ආරක්ෂක අංශ යොදවාගෙන තෝරාගත් පිරිස් වල ගෙවල් කඩා දැමීම්, ඉවත් කිරීම්, බිඳ දැමීම නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට ගෙදර යන්න වුනා..මේක යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. දැනට අත්අඩංගුවට අරන් ඉන්න විශාල පිරිස් ගත්තහම ඒ පිරිස් ඇතැම් විට මත්ද්‍රව්‍ය කලකට පෙර පාවිච්චි කර අය වෙන්න පුළුවන්. දැන් පාවිච්චි කරන අය වෙන්න පුළුවන්. නමුත් මේ තුළින් ඇති කරලා තියෙන සමාජ කැළඹීම, අම්මයි, තාත්තයි දෙන්නම අත්අඩංගුවට ගන්නවා. දරුවෝ ගෙදර තනිවෙනවා. ඒකෙන් පාතාල ලෝකෙට ළදරු සොල්දාදුවෝ බන්දලා දෙනෙවා වගේම ගණිකා වෘත්තියට, අපේ දරුවන් තල්ලු කරලා ක්‍රියාවලියක් බවට මේක පරිවර්තනය වෙමින් තියෙනවා.

මේ වෙනකන් මහමෝරු ඇල්ලුවා කියලා මාධ්‍යවල කිසිම වාර්තා වීමක් නැහැ.

 

ප්‍රශ්නය

ආර්ථික අර්බුදයට පහුගිය කාලේ ජනතාව චෝදනා කළ දේශපාලනඥයන් පිරිසක් ඉන්නවා. ඔවුන් දැන් ඇවිල්ලා සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවල පෙනී ඉන්නවා. ඔබතුමා මොකක්ද හිතන්නේ.

 

පිළිතුර

ඒ ගැන ක්‍රියාත්මක වන නීතියක් දැනට අපේ රටේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අපේ ආණ්ඩුවක් යටතේ නීතියක් ගේනවා. යම්කිසි බලයට ආවනම් ඒක ඔප්පු වුණා නම් ඒ අයට ලංකාවේ දේශපාලනය තහනම් කරන නීති ක්‍රියාමාර්ගයක් අපි ගේනවා. දැනට එංගලන්තයේ නම්  යම් ප්‍රමාණයකට එහෙම නීති ක්‍රියාත්මක වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේත් තියෙනවා අර කැරලිකාරී විදිහට රාජ්‍ය පෙරළා දමන්න උත්සාහ කරපු අයට ඡන්දය ඉල්ලීම තහනම් කිරීමේ නීති වැනි දෑ. රටක් බංකොලොත් කළා කියන්නේ විශාල සාපරාධී අපරාධයක්. ඒ පිළිබඳව වගකීම දැරීම දේශපාලඥයින්ගේ, අනෙකුත් අයගේ වැදගත් කාරණයක්.

විධායක බලය උසුරපු හැම කෙනාටම වගකීමක් තියෙනව. ව්‍යයවස්ථාවෙත් සඳහන් කරලා තියෙනවා ඇමති මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකිව යුතුයි කියලා.

 

 

ප්‍රශ්නය

ඔබතුමා මේ කියන වියත් මගේ පිරිස මේ වෙද්දි නැවත මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනගනවා කියන සමගි ජන බලවේගය ඉන්නවා. ජනතාව කොහොමද මේක විශ්වාස කරන්නේ?

 

පිළිතුර

නෑ මෙහෙමයි.

ඒක ඉතින් සමගි බලවේගයේ නායකයෝ උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. ලංකා දේශපාලනය ගැන කියනවා නම් මට බොහොම පැහැදිලිව කියන්න තියෙන්නේ මිනිස්සු එක්කහු කරගත්ත පමණින්, නායකයෝ එක්කහු කරගත්ත පමණින්, ජනතාව එක්කහු වෙන්නේ නැහැ. මම මේක නිරන්තරයෙන්ම අපේ දේශපාලන සාකච්ඡාවකදි කියලා තියෙනවා, අංක ගණිතයේ දී නම්, එකයි, එකයි, දෙකයි. නමුත් දේශපාලනයේදී, එකයි, එකයි කියන එකට, උත්තර තුනක් එකයි එකයි දෙක වෙන්නත් පුළුවන්. එකයි එකයි තුන වෙන්නත් පුළුවන්. එකයි එකයි බින්දුව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පුද්ගලයෝ එක්කහු වූ පමණින් ජනතාව එක්කහු වෙනවා කියලා දෙයක් නෑ. මොකද ජනතාවට අමතක නෑ. විශේෂයෙන්ම ජූලි 09 වෙනිදා දක්වා මිනිස්සු පාරට බැහැලා ගහලා එලවනකන් ඒ ආණ්ඩුව අල්ලාගෙන හිටපු අය සම්බන්ධයෙන් ජනතාවට අමතක නැහැ. හැබැයි ඕනම දේශපාලඥයෙකුට එහෙමත් අයිතියක් තියෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි අතින් වරදක් වුණා. අපිට සමාවෙන්න අපි ඒ වැරදි නිවැරදි කරගන්න කටයුතු කරනවා කියලා. එහෙම කියලා මහජනතාවගෙන් එවැනි දෙයක් කිරීමේ අයිතියකුත් දේශපාලඥයින්ට තියෙනවා. ඒකත් අපි  පිළිගන්න ඕන එකක්. හැබැයි අනිවාර්යෙන් මේ රටට නීතියක් අවශ්‍යයි. බොරු කියලා බලයට පත්වුණාට පස්සේ ඒ ඒ බොරු ඔප්පු වුණාට පස්සේ තවදුරටත් දේශපාලනය කරන්න ඔවුන්ට නොහැකි වෙන විදිහේ නීතිමය රාමුවක් ගොඩනැගීම අවශ්‍යයි;

ශ්‍රී ලංකා සියලුම මන්ත්‍රීවරුන්  තීරණ ගැනීමේ ක්‍රියාවලියේ හිටියේ නැහැ. නමුත් කෝවිඩ් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම, ඒ වගේම ආර්ථිකය, මූල්‍යමය හැසිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීමට සෘජුව වගකිවයුතු පිරිසක් හිටියා. ඉන්නවා.  ඒක තමයි අපි බොහෝ බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ කෝවිඩ් එක මර්ධනය කිරීමට ඉඩකඩ තිබියදී විවිධ ධම්මික පැණි, කලගෙඩි සෙල්ලම් කරමින් රටේ ජනතාව ඝාතනයට ලක් වෙන්න ඉඩ හැරපු අය. ඒ වගේම ආර්ථික අර්බුදය පිළිබඳ කෙලක්, අනතුරු ඇඟවීම් තිබියදී මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම් තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකර ගිය පිරිස කියන මේ සියලු දෙනා අතරේ කණ්ඩායමක් ඉන්නවා මේ පිළිබඳ තීරණ ගත්ත. ඉතින් ඒකෙදි  තනි පුද්ගලයෙකුට, බැසිල් රාජපක්ෂ තමයි සියලු දේට වගකිව යුත්තේ. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වටේ හිටපු හමුදා නිලධාරීන් හා වියත් මග තමයි සියල්ලට වගකිව යුත්තේ. ඇඟ බේරගන්න බෑ.

 

අපි එක්සත් ජනරජ පෙරමුණේ ආණ්ඩුවක් යටතේ ආර්ථික අපරාධ පිළිබඳ විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරනවා. ඒ වගේම කෝවිඩ් මර්ධනය පිළිබඳව, අපේ තක්සේරුවට අනුව ඒ සංඛ්‍යා ලේඛන අපි පිළිගන්නේ නැහැ. පහළොස් දාහක් මියගියයි කියන ඊට වඩා වැඩි පිරිසක් මිය ගියා. ඇයි ඒක පමා කළේ? එන්නත්කරණයයි පමා කළේ. මොකක්ද ඒ අවස්ථාවේ සිදු වෙච්ච ඖෂධ ජාවාරම කියන එක ගැන ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි. එංගලන්තයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉඳන්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉන්නවා. අපිත් මේ රටේ ඒ ක්‍රියාමාර්ගය ගත යුතුයි.

 

 

 

ප්‍රශ්නය

මේ වෙද්දි  පොදු අපේක්ෂකයෝ කිහිප දෙනෙක්ම කරළියට ඇවිත් තියෙනවා. ඔබතුමාගේ නමත් කියවෙනවා සමාජ මාධ්‍යවල. ඔබතුමාගේ ස්ථාවරය මොකක්ද?

 

 

පිළිතුර

පළමුවෙන්ම කියන්න ඕනේ ඔය ඕන කෙනෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒත් එයට තමන්ගේ සුදුසුකම මොකක්ද? තමන් ආණ්ඩුකරණයේදී, කළමනාකරණයේදී දක්වලා තියෙන හපන්කම් මොනවා ද? කරලා පෙන්නලා තියෙනවද? එහෙම කාරණා ගැන කිව්වොත් අපි බොහොම පැහැදිලිව කියනවා. අපි අපේ අමාත්‍යාංශ වලදී  හා අනෙකුත් ඒවායේදි, ඔය කියන අපේක්ෂකයෝ සියලු දෙනාටම වැඩිය අපි කරලා පෙන්නලා තියෙනවා. හැබැයි අපි ඉක්මන් වෙන්නෑ.

 

දැනටමත් අපේ දේශපාලන මණ්ඩලයේ සභාපතිතුමා කියූ පරිදි පුළුල් සන්ධානයක් අපි ඉදිරිපත් කරනවා. ගේන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී. නායකත්ව මණ්ඩලයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්ව මණ්ඩලයත් එක්ක සුදුසුම අපේක්ෂකයා. හා සුදුසුම ඇමති මණ්ඩලය. අපි ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ අපි ඉදිරිපත් වෙනවා ඕගොල්ලෝ අපේ පස්සෙන් එන්න කියලා අපි කියන්නේ නැහැ. අපි අනිත් හැමෝටම, සමයන් හැටියට මේ පුළුල් දේශපාලන සන්ධානයට ආරාධනා කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

 

ප්‍රශ්නය

ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේගුණවර්ධන මහතා   රනිල් වික්‍රමසිංහ හැර වෙන කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඔහු මානසික රෝගියෙක් කියලා ප්‍රකාශ කළා.මොකක්ද ඒ ගැන ඔබතුමාගේ අදහස?

 

|ඒවට ඉතින් පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ.  වජිර අබේවර්ධන මහත්මයා ගොඩාක් ඒ වගේ කතා කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒවායින් හානිය වෙන්නේ ජනාධිපතිතුමාටමයි.  අපේ ජාතක කතාවෙත් ඔය වගේ තියෙනවා රජා වෙනුවෙන් මැස්සා මරන්න ගිය හිතවතා පිළිබඳව. ඒ නිසා වජිර අබේවර්ධන මහත්මයා මේ ජනාධිපතිතුමාට හානියක් කරන කතා වලින් වැළකී හිටියා නම් ඒක තමයි ජනාධිපතිතුමාට කරන ලොකුම සේවය.

 

 

@(ලෙෂාන් විදානගමාච්චි)

මාධ්‍ය ඒකකය

 

WhatsApp Image 2024 01 03 at 17.59.55WhatsApp Image 2024 01 03 at 17.59.58WhatsApp Image 2024 01 03 at 18.00.01

නවතම ලිපි