නූතන ආයතනික වෘත්තියක සංකේතය වන හෙද නිල ඇඳුම සහ
මුසොල්මානු ස්ත්‍රීත්වයේ ගතානුගතික සංස්කෘතික අනන්‍යතාව අතර ඇති වූ ගැටුම, මෑතකාලීන දේශපාලන කතිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත් විය.
විෂයභාර නියෝජ්‍ය අමාත්‍යවරයකු විසින් කරන ලද ප්‍රකාශයක් අනුව, මුසොල්මානු හෙදියන්ට තම ජාතික අනන්‍යතාවට හානියක් නොවන පරිදි නිල ඇඳුම වෙනස් කරගැනීමට ඉඩ දීමෙන් මෙම ගැටලුව නිරාකරණය කළ හැකි බවට විශ්වාසයක් පළ විය.
කෙසේ නමුත්, මාධව රුවන්පතිරණ විසින් ලියා ඇති පහත ලිපිය මඟින් අවධාරණය කරනු ලබන්නේ, ගැටලුව හුදෙක් නිල ඇඳුමේ රෙදි කඩක හෝ නීති රීති ලිහිල් කිරීමක සීමා නොවන බවයි.
මෙම අර්බුදයේ හරය වන්නේ, නූතන ධනවාදය විසින් නිර්මාණය කරන ලද විශ්වීය ආයතනික ව්‍යුහය තුළට (රෝහල/හෙද සේවය), සම්ප්‍රදායික අනන්‍යතාවක් (මුස්ලිම් ස්ත්‍රීත්වය) සාර්ථකව හා පිරිසිදුව අන්තර්ග්‍රහණය කළ හැකි යැයි යන අවිඥානික මිත්‍යාවයි.
මෙම විග්‍රහයට අනුව, මුසොල්මානු අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට ලිබරල්වාදීන් දරන ප්‍රයත්නය (නිල ඇඳුම වෙනස් කිරීම), සහ ගතානුගතිකවාදීන් දරන ප්‍රයත්නය (රැකියාවෙන් හෝ රාත්‍රී වැඩ මුරයෙන් ඉවත් වීම) යන පාර්ශ්ව දෙකම ඇත්ත වශයෙන්ම ධනේශ්වර දෘෂ්ටිවාදීමය උගුලක සිරවී සිටී. මන්ද, සංස්කෘතික වෙනසක් හෝ සම්ප්‍රදායක් නූතන ක්‍රමය තුළට ඒකාබද්ධ කිරීමට උත්සාහ කිරීමෙන්, එම වෙනසම වෙළඳ භාණ්ඩයක් බවට පත් වී, මුළුමනින්ම ධනවාදී පද්ධතියටම පෝෂණය සපයන බව මෙම ලිපිය තර්ක කරයි.
එනම්, මෙහි දී සිදුවන්නේ අනන්‍යතාව ආරක්ෂා කිරීම නොව, එම අනන්‍යතාවයේ ප්‍රතිරෝධය පවා වෙළඳපොළට අලෙවි කිරීමකි. මේ අනුව, ප්‍රශ්නය වන්නේ නිල ඇඳුම වෙනස් කරන්නේ කෙසේද යන්නට වඩා, නූතන විද්‍යාව සහ ධනවාදය විසින්ම අප තුළ කුමන ආකාරයේ ආත්මීයත්වයක් ජනනය කරන්නේද යන්න පිළිබඳව නැවත ප්‍රශ්න කිරීම බව මෙම විග්‍රහය පෙන්වා දෙයි.
හෙද වෘත්තියේ නිරතවීම තුළ මුස්ලිම් (සිංහල/දෙමළ/යුරෝපීය/ආසියාතික/බටහිර) ස්ත්‍රියක් අත්විඳින්නේ ධනේශ්වර සංකේතාත්මක අනුපිළිවෙළක් තුළ ආත්මීය බෙදීමක් (Split in the Subject) මිස, හුදෙක් ඇඳුම් පැළඳුම් පිළිබඳ ගැටලුවක් නොවේ. ලිබරල් විසඳුම් මගින් ඇයගේ අනන්‍යතාව පිළිගන්නවා යැයි පෙනුනද, සැබවින්ම සිදුවන්නේ ඇයගේ ප්‍රතිරෝධය පවා ධනවාදී ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමයි.
පහත පළවන්නේ මාධව රුවන්පතිරණ විසින් ලියා පළකල ලිපියකි. විජිත හේරත් සහෝදරයා පමණක් නොව ලිබරල් අයිතීන් ආරක්ෂාවට කැපවන හරිනි සහෝදරියත්, අතිගරු ජනාධිපතිවරයාත් එය කියවා බැලිය යුතුමය.

හෙද නිල ඇඳුම - (මාධව රුවන්පතිරණ)
"ගැටලුව වන්නේ නූතනත්වය සාම්ප්‍රදායික අනන්‍යතා විනාශ කිරීම නොව, ඒවා විශ්වාස නොකර ඒවා භුක්ති විඳීමට ඔබට ඉඩ සැලසීමයි."
Slavoj Žižek
මුසොල්මානු ස්ත්‍රීන්ට හෙද සේවයට පැමිණිය හැකි බව විජිත හේරත් විසින් පවසා තිබේ. එසේ පැමිණීමේදී ජාතිකත්වය ආරක්ෂා වන පරිදි ක්‍රියා කල හැකි බව ද ඔහු පවසා තිබේ.
හෙද වෘත්තිය යනු නූතනත්වය විසින් නිර්මාණය කරන ලද ආයතනික රැකියාවක් වන අතර, එය තුල පරාරෝපිත ආත්මයක් ලෙස ලෙස සංකේතීයව ගොඩනැන්වීමකි (එනෙකුත් පරාරෝපිත ආත්මයන්ට අදාලව සහ කතිකාවට අදාලව).
ලංකාවේ දක්නට නොමැති වුව ද මුසොල්මානු සංස්කෘතිය තුල ගොඩනැගුන වෛද්‍ය ක්‍රමයක් ඇති අතර ඊට නූතනත්වයේ ආයතනික ආකෘතිය අදාළ නොවේ. එසේම සිංහල වෛද්‍ය ක්‍රමයට ද එසේය (පොළොන්නරුවේ නටබුන් අතර හමුවන රෝහල් වල කෙසේ කටයුතු කලේද යන්න පිළිබඳව සාක්ෂි නොමැත).
ඒ කෙසේ වෙතත් නිල ඇඳුමට එරෙහි දැඩි සංස්කෘතික අනන්‍යතාවයක් සහ විනයක් ඉල්ලා සිටින ලොව වසන එකම ජාතිය මුසොල්මානුවන් ලෙස සැලකිය හැකිය (ශික් ජාතිකයින්ට පවා මේ අකාරයෙන් එය අදාළ නොවේ).
“හෙද සේවයේ” සහ “මුස්ලිම් ස්ත්‍රීත්වයේ” සංකේතීය ඛණ්ඩාංක විවිධ සංකේතීය පද්ධතිවලට අයත් වේ. එබැවින් මුසොල්මානු ස්ත්‍රීන් හෙද වෘත්තියට බඳවා ගැනීම තුල ප්‍රශ්නය වන්නේ නිල ඇඳුම පමණක් නොවේ. උදාහරණයකට ඔවුනට කිසි ලෙසකින් රාත්‍රී වැඩ මුරය සඳහා රැඳී සිටිය නොහැක. ඒ මුසොල්මානු ස්ත්‍රිය රාත්‍රී කාලයේදී තනි නොකළ යුතුය යන එහි සංස්කෘතිය උරුමය තුලය (ලංකාවේ පවා මුසොල්මානු මසුන් මරන්නන් රාත්‍රී කාලයේ මුහුදු නොයන්නේ එබැවිනි). ඒ අනුව ඔවුන් වැඩ මුරයේදී ද සුවිශේෂී කොට සැලකිය යුතු වේ.
එපමණක් ද නොවේ. ඔවුනට සත්තකින්ම හෙද වෘත්තිය වැනි රැකියාවක කෙලෙසවත් නිරත විය නොහැක. එසේ කිසියම් රැකියාවක නිරත වනවා නම් ඒ නිරත වන ස්ත්‍රීන් මුසොල්මානු සංස්කෘතියෙන් යම් අකාරයකට ගැලවී යන අය හෝ නූතනත්වයේ ග්‍රහණයට හසු වී සංස්කෘතික නවීකරණයට ලක් වූ අයයි. තලෙයිබාන් වැනි සංවිධාන ධනවාදයට එරෙහිව බිහිවන්නේ එම නවීකරකත්වයට එරෙහිවය.
ඇත්ත වශයෙන්ම වර්තමානයේ මුස්ලිම් කාන්තාවන් ලිබරල් ආකාරයෙන් ධනවාදයට අන්තර්ග්‍රහණය කිරීම සහ අනන්‍යතාවයේ ගතානුගතික ආරක්ෂාව යන ස්ථාවරයන් දෙකම එකම ධනේශ්වර දෘෂ්ටිවාදීමය අනුකෘතියකට අයත් වේ. එනම්, දෙකම ධනේශ්වර ක්‍රමයේ විශ්වීයත්වය උපකල්පනය කරන අතර අනන්‍යතා ඒ තුළට ගැළපෙන ආකාරය සාකච්ඡා කරයි. මුසොල්මානුවන් ධනවාදය තුල කටයුතු කරනුයේ ඒ ආකාරයෙනි. එනම්, නූතන ආයතන වෙතින් මුස්ලිම් සංස්කෘතික වෙනස බැහැර කිරීමෙන් එයට "ගරු කිරීමේ" අභිනයම ගෝලීය ධනවාදී ක්‍රමයට අනුගත වී එයම පවත්වාගෙන යාමකි. එසේ කරනුයේ එකම ආර්ථික පදනම පවත්වා ගනිමින් ආත්මයන්ට සදාචාරාත්මකව පිරිසිදු බවක් දැනීමට ඉඩ දීමෙනි.
නූතනත්වය හුදෙක් සම්ප්‍රදාය විනාශ කරනවා පමණක් නොව; එය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරයි. බටහිර ලිබරල්වාදය විසින් සිදු කරනුයේ විවිධත්වයම අලෙවි කිරීමයි. ඒ ආකාරයටම, මුස්ලිම් අනන්‍යතාවය "ආරක්ෂා කිරීමේ" ඉල්ලීම බහු සංස්කෘතික ධනවාදී වෙළඳපොලේ තවත් නිෂ්පාදනයක් බවට පත්වේ.
නමුත් මෙහි උත්ප්‍රාසය වන්නේ ධනවාදය තුළ මුස්ලිම් අනන්‍යතාවය "ආරක්ෂා කිරීමට" උත්සාහ කිරීමෙන්, මෙම මුසොල්මානු ලිබරල් ජාතිකවාදීන් ඇත්ත වශයෙන්ම සිදු කරනුයේ එහි ප්‍රතිවිරුද්ධ දෙයම වීමයි. ඔවුන් සංස්කෘතියම වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කරමින් සිටී. ධනවාදය තුළ, ප්‍රතිරෝධයක් වන මුස්ලිම් ජාතිකත්වය පවා පද්ධතියේ කොටසක් බවට පත්වීම මින් සිදු වේ. මුස්ලිම් කාන්තාවක් රෝහලක "වෙනස් කරන ලද" නිල ඇඳුමක් පැළඳ සිටින මොහොතේ, ඇය පද්ධතිය වඩාත්ම කැමති දෙයෙහි ජීවමාන ප්‍රතිමූර්තිය බවට පත්වේ (පරිපූර්ණ බහු සංස්කෘතික සේවකයා).
මෙම කාන්තාවන් ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේ තබා ගැනීමට කරන ගතානුගතික ඉල්ලීම යනු ධනවාදය තුල වඩා හොඳ දෙයක් වන්නේ ද නැත. සත්තකින්ම දෙපාර්ශ්වයම එකම අවිඥානික ෆැන්ටසිය බෙදා ගනී. එනම්, නූතන ලෝකය මගින් දූෂිත නොවූ පිරිසිදු අනන්‍යතාවයක් පවතින බවයි. නමුත් එවැනි පාරිශුද්ධත්වය යනු යථයි (the REAL). එය ආශක්‍ය දෙයකි. ඉස්ලාමීය හෝ සිංහල-බෞද්ධ සංස්කෘතිය ඇතුළුව සෑම සංස්කෘතියකම සත්‍යය වන්නේ එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාව, සම්ප්‍රදාය සහ ආශාව අතර අරගලයයි.
එවිට, සැබෑ දෘෂ්ටිවාදාදීමය උගුල පවතින්නේ සංස්කෘතියක් "ප්‍රවේශමෙන්" නවීන ආයතනවලට ඒකාබද්ධ කිරීමෙන් එය අපට ආරක්ෂා කළ හැකි යැයි විශ්වාස කිරීම තුළය. ධනවාදය නියම ලෙසම සමෘද්ධිමත් වන්නේ මේ ආකාරයේ ප්‍රවේශමෙන් ඒකාබද්ධ වීම මත බව එසේ සිතන්නන් වටහා නොගනී. එය විවිධත්වය පෝෂණය කරයි.
මේ අනුව, නිසි ප්‍රශ්නය වන්නේ "මුස්ලිම් කාන්තාවන්ට ඔවුන්ගේ අනන්‍යතාවය නැති කර නොගෙන හෙදියන් වීමට ඉඩ දෙන්නේ කෙසේද" යන්න නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ නූතන විද්‍යාව විසින්ම කුමන ආකාරයේ ආත්මීයත්වයක් ඇති කරයිද යන්නයි.
ඛේදවාචකය නම්, ලිබරල් අන්තර්ග්‍රහණය කිරීම සහ ගතානුගතික බැහැර කිරීම යන දෙකම ගැටලුවේ හරය ස්පර්ශ කිරීමට අපොහොසත් වීමයි (ධනවාදයේ ආත්මයම). ආත්මය සංස්කෘතියක දරන්නා නොව, සංස්කෘතිය බිඳ වැටෙන විට, සියල්ල අරුබුධයට යන විට ඉතිරි වන, ඉස්මතුවන, ඉතිරි කොටසයි.
ඒ අනුව අද දවසේ සැබෑ රැඩිකල් ක්‍රියාව වන්නේ බහු සංස්කෘතික නවාතැන් සෙවීම නොව එය මගහැර ධනවාදයේ සමස්ත ව්‍යුහය පිළිබඳවම මුල සිටම නැවත සිතා බැලීමයි.
විජිත හේරත්ලා සිතනු ඇත්තේ මෙවැනි තීරණ තුලින් මුසොල්මානු අනන්‍යතාවය පිළිගැනීමට ලක්වන බවත්, එය සුරැකෙන බවත්, මින් ජාතික සමගිය ගොඩනැගෙන බවත්ය. අප කැමති වුව ද අකමැති වුව ද වර්තමානය යනු නූතනත්වය විසින් නිර්මාණය කර වර්ධනය වන ලද තත්වයකි. ඒ තුල අනෙකුත් කිසිඳු ජාතියක් ඉල්ලා නොසිටින සුවිශේෂී සංස්කෘතික ආරක්ෂක පලිහක් සැමවිටම මුසොල්මානුවන් බලාපොරොත්තු වේ.
දැන් කෙනෙකුට විමසිය හැක්කේ මුසොල්මානු ලෝකයේ ඇමරිකාව වන ඉරානය නමැති මුසොල්මානු ජාතික රාජ්‍ය තුල ස්ත්‍රීන් මෙවැනි රැකියා වල නිරත නොවන්නේ ද යන්නයි. නලින් ද සිල්වා සිහිපත් වන්නේ මෙතැනදීය. නලින්ලාට අනුව "සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය" ද ගොඩනැගිය යුත්තේ ඉරානය මෙනි. නමුත් නලින් අමතක කරන කාරණයක් වන්නේ ඉරානය යනු 1978 "විප්ලවයට" පෙර ඇමරිකානු බලපෑම යටතේ දැඩි ලෞකිකකරණයට ලක්ව තිබූ රාජ්‍යයක් බවය. වත්මන් අකාරයේ හයිබ්‍රිඩ් ඉරානයක් බිහි වන්නේ ඒ අනුවය. එය ද ඇමරිකාව වැනිම රාජ්‍යයකි (ඇමරිකානු ජාතිකත්වය ලිබරල් වහන්තරාවෙන් වැසී ගොසිනි). ඒ අනුව නලින්වාදීන් සැබවින්ම බලාපොරොත්තු වන්නේ, ඉරානය වැනි නූතන විද්‍යාව සහ සිංහල බෞද්ධ ජාතිකත්වය හයිබ්‍රිඩ් කර නිර්මාණය කරන රාජ්‍යයකි. ඊට ගැලපෙනම පුද්ගලයා ලෙස ඔවුන් තෝරාගත්තේ මහින්ද රාජපක්ෂයි, ඉන් පසු ගෝඨාභයයි. දැන් නාමල්ය (නාමල්ට ද පුතුන් දෙදෙනෙකු සිටීම ඔවුන්ට මහත් සතුටක් දනවන්න කරුණක් විය යුතුය).
ජවිපෙ විසින් ගන්නා "දේශපාලනිකව නිවැරදි" මෙවැනි මෝඩ තීරණ හේතුවෙන් සිදු වන්නේ සමනය වී ඇති ජාතිවාදය නැවත ඇවිලවිය හැකි කතිකාවකට ඉඩ විවර කිරීමයි (එය දැනටමත් ආරම්භ වී ඇත). එහි වාසිය අත්වන්නේ අන්ත අසරණ වී ඇති විපක්ෂයටය.
@(Madawa Ruwanpatirana fb)

