SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

මාධ්‍ය නිවේදනය

අත්අඩංගුවටගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරිම වහාම නවත්වන්න.

 

 

අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ සිදු කළ යුත්තේ නීතියෙන් ස්ථාපිත කර ඇති නිශ්චිත ක්‍රියා පටිපාටියට අනුකූලව පමණක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ විශ්වාස කරයි.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ලවා බලහත්කාරයෙන් හෝ යම් බලපෑමකින් ‘වොයිස් කට්’ (Voice Cuts) ලබා ගැනීම සහ එම දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ ම ආශීර්වාදයෙන් සිදුවන බව අප සංගමයේ නිරීක්ෂණයයි.

 

එසේම එවැනි බොළඳ සහ වෘත්තීය නොවන ක්‍රියා මගින් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපයට දැඩි හානියක් සිදුවන අතර, විමර්ශන සිදුකරන නිලධාරීන්ගේ වෘත්තීයභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න සහ සැකයන් ඇති කරයි. අවසානයේදී එය මුළුමහත් අපරාධ යුක්තිය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කරමින්, සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන එනු ඇත.

 

​අපගේ සංගමය ශ්‍රී ලංකා පොලිසියෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටින්නේ, පොලිස් නිලධාරීන් විසින්ම මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීම වහාම නතර කරන ලෙසයි.

 

අවසාන වශයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු වුවද බොහෝ අවස්ථාවලදී මෙම වීඩියෝ දර්ශන මුදාහරින්නේ පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම බවට අපට සාධාරණ සැකයක් පවතී. එසේ නම්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින්ම නීතිය හා වෘත්තීය මූලධර්ම උල්ලංඝනය කරමින් මෙවැනි දර්ශන ප්‍රචාරය කිරීම බරපතළ වරදකි.

 

විනිසුරුවරුන්, නීති විශාරදයන්, ​පොලිස් ප්‍රකාශකයින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම මෙරට නිතිය ද වරින් වර පෙන්වා දී ඇති පරිදි, අත්අඩංගුවට ගැනීම යනු වරදකරු බවට තීන්දු කිරීම නොවේ.

 

අපගේ සංගමය විශ්වාස කරන්නේ, නීතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු පුරවැසියන්ගේ මූලික අයිතීන්ට ගරු කළ යුතු අතර, විමර්ශන කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගත යුතු බවයි.

 

එබැවින් මාධ්‍ය වෙත ඇඟිල්ල දිගු නොකොට මෙවැනි වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම වහාම නවත්වන ලෙස අප ශ්‍රී ලංකා පොලිසියෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.

 IMG 20251027 WA0014 1 696x984

 

නවතම ලිපි