පසුගිය පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සිදුවූ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව, ආධාර අනුබල දීමේ චෝදනා මත නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතීඥ තමරා අබේරත්න යැයි පැවසේ.
මෙම සිදුවීම මගින් අධිකරණ පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ පමණක් නොව, මෑතකාලීනව පැන නැගී ඇති වෘත්තීය කාන්තාවන් අපරාධ ජාලයන්ට සම්බන්ධ වීමේ සමාජ යථාර්ථයද මතු කරයි.
ප්‍රධාන සැකකාරියට ආධාර කළ නීතිඥවරිය
CID ය විසින් ඊයේ (ඔක්තෝබර් 28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම නීතිඥවරියට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට, පිස්තෝලය අධිකරණ පරිශ්‍රය තුළට රහසිගතව රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීම සහ ඉෂාරා සෙව්වන්දිට පලා යාමට හැකි වන පරිදි නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දීම ය.
මෙම ඝාතනය සඳහා වෙඩික්කරු නීතිඥයෙකු ලෙස වෙස්වලාගෙන අධිකරණ භූමියට පැමිණ ඇති අතර, අනතුරුව නීතිඥවරියක ලෙස වෙස්වලාගත් ඉෂාරා සෙව්වන්දි විසින් සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි ගිනි අවිය ලබාගෙන ඝාතනය සිදුකර තිබුණි. වෙඩික්කරු එදිනම අත්අඩංගුවට ගත්තද, ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟවී සිටියදී පසුගිය ඔක්තෝබර් 14 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
පාතාල කටයුතුවලට කාන්තා සම්බන්ධය
මෙම සිදුවීම ශ්‍රී ලාංකීය සමාජයේ මතු වන බරපතළ ප්‍රවණතාවක් ඉස්මතු කරයි. එනම්, අපරාධ ජාලයන් තුළ කාන්තාවන්ගේ ක්‍රියාකාරී භූමිකාව ශීඝ්‍රයෙන් වර්ධනය වීමයි.
වෘත්තීය දැනුම අපයෝජනය
මෙම නීතිඥවරියට එරෙහි චෝදනා මගින් පෙනී යන්නේ, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට දිවුරුම් දුන් වෘත්තීයවේදිනියන් පවා, මුදල් හෝ වෙනත් බලපෑම් මත අපරාධ ජාලයන්ට සෘජුවම සම්බන්ධ වන බවයි. මෙලෙස නීතිමය දැනුම සහ වෘත්තීය වරප්‍රසාද (නීතිඥවරුන්ට අධිකරණ පරිශ්‍රයේ ඇති නිදහස් ප්‍රවේශය වැනි) පාතාල කටයුතු සඳහා යොදා ගැනීම, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට විශාල අභියෝගයක් වී ඇත.
කාන්තා අපරාධකරුවන් සම්බන්ධ බොහෝ සිද්ධීන් විශ්ලේෂණය කිරීමේදී, මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ මූල්‍යමය අර්බුද හේතුවෙන් ඔවුන් අපරාධ ජාලවලට සම්බන්ධ වන බවට මත පළ වේ.
එසේම අද වන විට ශ්‍රී ලංකාවේ පාතාල නායකයන් විදෙස්ගත වී හෝ සිරගත වී සිටියද, ඔවුන්ගේ සංවිධානාත්මක ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑම සඳහා කාන්තාවන් සක්‍රීයව දායක වන බවට මෑත කාලීනව හෙළිදරව් වී තිබේ.
අධිකරණ සංකීර්ණයක් තුළ, ඒ ආකාරයේ සංවිධානාත්මක ඝාතනයක් සිදුවීම සහ ගිනි අවියක් ග්‍රන්ථයක් තුළ සඟවාගෙන පැමිණීම, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.
- මෙම සිද්ධියෙන් පසු, රටේ සියලුම අධිකරණ පරිශ්‍රයන්ට පිවිසෙන නීතිඥවරුන් පවා පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබීය.
- ගණේමුල්ලේ සංජීව ඝාතනය සඳහා කෝටි 1.5 ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට හෙළි වූ අතර, ඩුබායි සිටින පාතාල නායකයෙකු විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය විය.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ, ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ සියලු ප්‍රධාන සැකකරුවන් නීතියේ රැහැනට හසු වී ඇති අතර, ඊයේ අත් අඩංගුවට පත් නීතීඥවරිය සමග කටයුතු කළ තවත් නීතීඥවරයෙක් සම්බන්ධවද පොලීසියේ සැකය යොමුව ඇතැයි පැවසේ. කෙසේ වුවද අද පුවත් හි වාර්තා වී තිබුනේ සැකකටයුතු නීතීඥවරයා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු බවය.
සිද්ධියේ පූර්ණ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට ගෙන යනු ඇත.
කෙසේ වුවද නීතියේ සහ ආචාර ධර්මවල සංකේතාත්මක ව්‍යුහය බිඳවැටී ඇත. නීතිඥවරිය විසින් නීතියම උල්ලංඝනය කිරීම තුළින් පෙනී යන්නේ, පද්ධතියේම ආත්ම-විශ්වාසය බිඳී ඇති බවයි. මෙය සැබෑ අපරාධයක් ලෙස පෙනුනද, එය සමාජ ක්‍රමයේ ගැඹුරු ව්‍යුහාත්මක අසමත් වීම සනාථ කරන කම්පන සහගත (Traumatic) ලක්ෂණයකි.

