SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අවනඩුව..

මඩකලපුව  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එහි සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු මිය යෑමේ පුවතක් ලංකාදීපය පුවත්පත වාර්තා කර ඇත. පුවතින් දක්වා ඇත්තේ  සැකකරු  රඳවා සිටි සිර මැදිරියේ සෙසු රැඳවියන්ගේ පහරකෑමට ලක්ව ඔහු මියගොස් ඇති බව පොලිසිය කියයි යනුවෙනි.

 

එකී පුවතට අනුව, සැකකරු  මඩකළපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී රෝගාතුරවී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම මරණය සම්බන්ධයෙන් ඊයේ (30) පැවැත්වූ  පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මොට ආයුධ වලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු වු බව පොලිසිය පවසයි.

 

මෙම සැකකරු ඉකුත් (27) දින මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  පොලිසියේ මැදිරියේ රඳවා සිටියදී, එම සිරමැදිරියේ රඳවා සිටි තවත් රැඳවියන් පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසා ඇති බවත් ලංකාදීප වාර්තාවේ සඳහන්.

 

death 2

 

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වාර්තාවන්ගෙන් මෙම මරණය සම්බන්ධව චෝදනාව එල්ල කර ඇත්තේ පොලිසියටයි. පොලිස් පහරදීම්වලින් සැකකරු මිය යෑම ගැන සැකකරු කියූවා යැයි සඳහන් විස්තරයක්ද සමග Xposure  වෙබ් පිටුවේ එය පළකර ඇත.‍

 

කම්බා හොරුන් සිටින රටක, ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීම අලස ගමනින් සිදුවන රටක  වයස 26ක් වැනි අඩු වයසක තරුණයෙකුගේ ජීවිතය සොරකමක් කළේ යැයි ‘සැකපිට අත්අඩංගුවේදී’ සිදුවීම නිර්වින්දය වී ඇති සමාජයකට කෙසේ වැටහේද යන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර ඇත.

 

 

නව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුලින්ම අත ගැසිය යුත්තේ එවන් චෝදනා ලද පොලිසි කණපිට ගසා හෝ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනයක්ය යන මහජන විශ්වාසය ඇතිකරවන්නට යැයි අප සිතමු.

 

 

මන්ද, කෙසේ මියගියද තම අත් අඩංගුවට ගත් ‘සැකකරුවෙකු’ සිර මැදිරියේදී  මරණයට පත්වේ නම් එහි වගකීම ‌මහජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පොලිසිය සතු විය යුතුය.

 

 

සමාජ මාධ්‍ය පුවත පහතින් පළවේ.

 

නාගරාසා ඇලෙක්ස්ට වයස අවුරුදු 26යි. පදිංචිය වඩුකෝට්ටෙ. පහුගිය නොවැම්බර් 08වෙනි දා වඩුක්කෝට්ටේ පොලිසියේ 'මහත්තුරු' සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගන්නවා නාගරාසා ඇලෙක්ස්ව. නොවැම්බර් 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරනවා.

Xposure වෙබ් අඩවියට අනුව, 10 වෙනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නෙත්, නාගරාසාගෙ අම්මා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට පැමිණිල්ලක් කරාට පස්සෙයි. පරීක්ෂණයකට කියලා අත් අඩංගුවට ගත්ත තමන්ගෙ පුතාට වෙන්නෙ මොකක්ද කියලා නො(ද)න්න නිසා අම්මා තීරණය කරනවා මානව හිමිකම් කොමිසමට යන්න.

 

නොවැම්බර් 10 අධිකරණය නියෝග කරනවා නාගරාසාව බන්ධනාගාරගත කරන්න. ඊට දින කිහිපෙකට පස්සෙ 'අයහපත් සෞඛ්‍ය තත්වයක්' මත යාපනය ශික්ෂණ රෝහලට ඔහුව ඇතුළත් කරනවා. ‍රෝහලට ඔහුව බලන්න ආපු ඥාතියෙක් තමන්ගෙ දුරකථනයෙන් වීඩීයෝ කරලා තියෙනවා නාගරාසා තමන්ට පොලීසිය ඇතුළෙදි වද දුන්නු ආකාරය ගැන විස්තර කරපු මොහොත.

 

මහේෂ් මුණසිංහගෙ ෆේස්බුක් සටහනක ඔහු, නාගරාසා තමන් විඳපු වද කන්දරාව විස්තර කරපු හැටි ලියලා තියෙනවා. මේ තියෙන්නෙ ඒ විස්තරය...

 

“මම සැකකාරයෙක් කියලා පොලිසිය මාව අරගෙන ගිහින් මට ගැහුවා. මම මංකොල්ලකෑමේ සැකකරුවෙකු බවයි කිව්වෙ. මාව බැඳලා ගැහුවා. මගේ මූණ රෙද්දකින් බැඳලා වතුර වක්කරමින් මට ගැහුවා. රෙද්දකින් බැඳලා මට ගැහුවා.

එක පාරක් එයාලා මාව ගැටගහල තිබිද්දී ගැහුවා... පස්සේ වැලමිටෙන් ලණු දාලා මාව අඩි දෙකක් විතර උඩට ඔසවලා එතන එල්ලලා මගෙන් ප්‍රශ්න කරන ගමන් මට ගැහුවා. මම දිගටම කිව්වා ඒ මම නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ බෑග් එකකට පෙට්‍රල් දාලා මගේ මූණ වහගෙන දිගටම මට ගැහුවා.

මට එතනදී සිහිය නැතිවුණා. මට දැන් මගේ අත් දෙකෙන් එකක්වත් උස්සන්න බැහැ, මට තුවාල ගොඩක් තියෙනවා.

ඔවුන් මට පළමු දවසේ කෑම දුන්නේ නැහැ, ඔවුන් පසුවදා මට කෑම දීලා මාව ඔවුන්ගේ කාර්යාලයට එක්කගෙන ගිහින් කිව්වා මේක කාටවත් කියන්න එපා, මානව හිමිකම් ගැන නඩුවක් දාන්න එපා කියලා.

ඔවුන් කොටින්ම කිව්වොත් මට තර්ජනය කළා. ඔවුන් මට බොන්න මත්පැන් දුන්නා."

 

නොවැම්බර් 19 ආයෙත් යාපනය ශික්ෂණ රෝහලට නාගරාසාව අරගෙන එනවා. මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඒ අරගෙන එද්දිත් මේ අවුරුදු 26ක තරුණයා අධික වදහිංසා නිසා මියගිහින් අවසානයි.

 

මේ වගේ සිදුවීමක් දැක්ක ගමන් කුලප්පු වෙන බයියො ගේන තර්කයක් තියෙනවා. ඒක තමා 'වරදක් නොකරනම් ගුටිකන්න වෙන්නෙ නැහැනෙ' කියන කතාව. නාගරාසා වරදක් කරපු බව ඔප්පු වෙලාද කියලා මම දන්නෙ නැහැ. එහෙම ඔප්පු වෙලානම් ඒකට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නයි අධිකරණය සහ පොලීසිය කියන ආයතනය තියෙන්නෙ. එහෙම නැතුව කැමති විදිහට මිනිස්සුන්ට වද දීලා, මරලා දාලා, අත හෝදගෙන, මුකුත් නොවුණා වගේ ඉස්සරහට යන්න නීති පද්ධතියක් අපිට උවමනා නෑ. ඒකට රජයෙන් ශේප් එකේ පවත්වගෙන යන මැර කණ්ඩායම් කිහිපයක් හිටියනම් ඇති.

 

පොලීසියට අරන් යන මිනිස්සුන්ව ගහලා, මරලාදාන එක සාමාන්‍ය යමක් හැටියට බාරගන්න සූදානම් මිනිස්සු මේ රටේ ඇති. නමුත් ඒකට එකඟ නොවෙන මිනිස්සුත් මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙන් කොටසක් අද යාපනේ පාරට බැහැලා තියෙනවා.

 

නාගරාසා ඇලෙක්ස්ගෙ මරණ සහතිකේ ලිව්වෙ යාපනේ ශික්ෂණ රෝහල ඇතුළෙ වුණාට, මරණයේ ලේ පාරවල් වඩුක්කෝට්ටේ පොලිසිය පුරාම තියෙනවා. පැය 48ක් වෙලත්, මේ අපරාධයට සම්බන්ධ, නිළ ඇඳුමෙන් ඉන්න, කිසිම අපරාධකාරයෙක්ව තවම අත්අඩංගුවට අරගෙන නැහැ.

 

මේ වෙනුවෙන් ඔබ මොනවද කරන්නෙ කියන එක ඔබ තීරණය කරන්න. නිහඬව ඉන්න අයිතියක් නැතිබව විතරක් අනිවාර්යෙන්ම මතක තියාගන්න!!

 

@Shenu Perera

2023 නොවැම්බර් 22

මූලාශ්‍ර: Xposure වෙබ් අඩවිය, සහ Tamil Guardian

ඡායාරූපය: The Leader වෙබ් පිටුවෙන් සහ X (Twitter)

නවතම ලිපි