රට රාජ්ජයෙන් ණයක් අනුමත උනා කිව්වම උදම් අනන ජාතියක් වෙච්ච ලාංකා රාජ්ජෙ එව්වොන්ට දැන් ඉතිං සිද්ධවෙන නස්පැත්තිය දිහා විලි වස්තරේ නැතුවයි බලාගෙන ඉන්නයි තියෙන්නෙ.
නෑදෑ හිතමිතුරෙක්ගෙන්වත් අතමාරුවට ණයක් තුරහක් ඉල්ල ගන්න දෙසැරයක් හිතපු අභිමානයක් තිබුන හෙළයො අපි. දැන් ඉතිං ඒ ගැන කියල වැඩක් නැහැ නොවැ..
ඊයෙ හවහ වෙද්දි රාජ්ජෙට අයිතිවෙලා තිබුනු ආයතන හතක කොටස් විකුණල දමන්න තීරණය කොරල ඉවරයි. මේකට තව හුගාරියක් නම් ඉස්සරහට ඈඳන්නට ඇහැක් වේවි. ඒව ගැන සංදර්සන අටුකා ටීකා ටිප්පනි ලියැවේවි. විරුද්ධවෙන කට්ටිය වගේම පක්ස වෙන කට්ටියත් වාද විවාද කොරාවි. ඒව හතිවැටිල ඉවරවෙද්දි වෙන්න ඔින දේවලුත් වෙලා තියේවි.
ඔන්න අද ඉන්දියාවෙන් හිටි අඩියෙම ලොකු මහත්තැන්ල දෙන්නෙක් ලංකාවට ඇවිදින්. දැන් මේ වෙද්දිත් අයිඔීසී තෙල් පිරවුම් පොලවල් රට ඇතුලෙ පිරිල. තවත් වැඩි කොරනව කියල ආණ්ඩුව මනාපත් වෙලා තියෙන එකේ මේ පුඟුලො දෙන්න තකහනියක් ආවෙ මොකෝ කියලද ඔහෙල හිතන්නෙ? ජනාධිපති උන්නැහේ එක්ක කතා කොරල ඒ දෙන්න කෙලින්ම යන්නෙ තිරිකුණාමලේ තෙල් ටැංකි සංකීරණයට. ඔය මොළගෙඩි පාවිච්චි කොරල තේරුම් ගත්තොත් හොඳයි කට්ටියම.
අද මේ රටේ ජනාධිපති උන්නැහෙගෙ උපන්න දවසලු. ඒ ගැන බොහොම වර්ණනා දැක්කෙ නැතැයි. මේ කියන්න යන්නෙ ඒ උන්දැගෙ මාමණ්ඩිය වෙච්ච ජේ ආර් උන්නැහේ ගැන. ජේ ආර් උන්නැහේ යූ ඇන්පී ය හදාපු දවසෙ ඉඳල ඒ පක්සෙ ලොකු වැඩකොටහක් කරා උනාට රටේ නායකකොම හම්බ උනේ වයස අවුරුදු හැත්තෑ එකේදි. හතලිස් හතේ ඉඳල පනස්හතර වෙනකල් මුදල් ඇමති වෙච්ච උන්දැට මුල හිටන්ම තිබුණු උවමනාව රටේ ආර්ථිකේ විවෘත කොරන එක. ඒත් නායක ගොබිලො මනාප නොවුනු හින්ද ජයවර්ධන උන්නැහේ මේකට වෙලාවක් එනකල් කුරුමානම් අල්ලමින් උන්නෙ.
හැත්තෑවෙ බලයට පත්වෙච්ච සිරිමාවෝ නෝන හැත්ත එකේ කැරැල්ල නිසා ලොකු බලපෑමකට අහු උනා. කැරැල්ලකින් පස්සෙ රටේ හොඳට හරි නරකට හරි වෙනස්කම් කොරන එක බලයෙ ඉන්න පාලකයො සිද්ධ කොරන දෙයක් නොවැ. ඉතින් සිරිමාවො නෝනත් ඉඩම් පනතක් එහෙම ගෙනැල්ල ඒ වෙනස්කොම කොරන්න ලෑස්ති කරා කියමුකෝ. කොහෙද, බලද්දි ඒ වෙද්දි ලංකාවට ඉංග්‍රීසි පරදේසක්කාරයො නිදහස දුන්නැයි කිව්වට මොකද කැරැල්ලෙ නායකයා වෙච්චි විජේවීරට විරුද්ධ නඩු තීරණය දුන්නෙ බිරිතාන්නයේ කිරීටයට එරෙහි වෙලා කැරැලි ගැහුව කියන චෝදනාවට.
ඔන්න කට්ටියටම තේරිලා නිදහස ලැබුන කිව්වට රට තවමත් අයිති ඉංගිරීසි කිරීටයට කියල. ඒ ගමන තමයි හැත්තෑදෙකේ ආණ්ඩුක්‍රමය අළුතින් ලියල කවුන්සිලෙන් එලියෙදි රැස්වෙලා සම්මත කොරගන්න කටයුතු කොලා කියන්නෙ. සිරිමාවො නෝන වරද්දා ගත්තු තැන තමයි ඒකෙදි තමුන්ගෙ බල ලෝභේ නිසයි වටේ උන්නු උපදේසකයො නිසයි හැත්තෑදෙකේ ඉඳල හැත්තෑ හත වෙනකල් තමන්ගෙ බල කාලය හදාගනිපු එක. අවුරුදු දෙකට තන්හාසෙට ඡන්දෙ කල්දාගෙන මේ මනුස්සයා කපටි ජේ ආර් උන්නැහේට අවස්ථාවක් දුන්න හැත්තෑහතේ ලොකු බලයක් එක්ක ආණ්ඩුව අරගන්න.
ඔන්න ඉතිං අවුරුදු හැත්තෑඑකක් වයස්ගත උනාම තමයි බොහෝම ඉවසිල්ලෙන් බලාගෙන හිටපු ජයවර්ධන උන්නැහේට රජකම හම්බ උනේ. ඒ උන්දෑ පාලන බලේ අතට ගත්තු ගමන්ම කොලේ අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනැල්ල විතරක් නවතින්නෙ නැතිව රටේ ආර්ථිකය ලෝකෙට විවෘත කොරාපු, විවෘත ආර්ථිකේ ඒකෙන් අනුමත කොර ගත්තු එක.
මම මේක මතක් කොරන්නෙ වෙන අහවල් එකකටවත් නෙවෙයි, ඒ උන්දැගෙ බෑණ වෙච්චි වික්කරමසිංහ උන්නැහේත් වයස අවුරුදු හැත්තෑ හතරක් උනාම තමයි ඒ උන්දැගෙ රට විකුණන හීනේ උදා කරගත්තෙ.
ඒකෙන් ඒ උන්දැගේ හැබෑ අරමුණ මොකක්ද කියල ඔහෙලා මගෙන් අහවි දැන්. රනිල් උන්නැහේට අවස්‍ය කොරන්නෙ එයැයි කැමති ව්‍යාපාරිකයො කිහිපදෙනෙක් රට ගැන තීන්දු තීරණ ගන්නත් අනෙක් ඈයො උන් යටතෙ වැඩ කොරන්නත් ය. ඔික ඉතිං යැංකි ඩැංකිලගෙ හීන නොවැ.
අනික රට රකිනව කියල රටේ ඉතිරිවෙලා තියෙන සබ්බසකල මනාවම විකුණගෙන කන එකනම් හොඳ ගතිලක්සනයක් නෙවෙයි නොවැ. අනික් එක ඔය විකුණන එකෙන් විකුණන වෙලාවෙ අතට ඩොලර් කාසි ටිකක් ආවට විකුණල ඉවර උනාම ඒවයෙ ලාභ අරගෙන ඒව මේ රට ඇතුලෙ තියාගනීවි කියල හිතන මුග්ධයො ටිකක් වේවියැ මේ ආර්ථික විද්‍යාඥ ගොල්ලො.
කොහොමින් කොහොම හරි තව සති දෙක තුනක් ගතවෙනකල්ම ලංකාවේ ඇත්තන්ට වෙන්දේසි සැණකෙලියක සිරි බලන්න හම්බ වේවි.
ඒකෙන් පස්සෙ විකුණන්නෙ මොනවද කියල තමයි ගස්, ගල්, ගංගා, ඇල ,දොළ ළඳු කැලෑ සොබා දම් මාතාවෝ බලාගෙන ඉන්නෙ.
@රුහුණේ සුගලා