SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළේ මීට මාස 11කට පමණ ඉහතදී හිටපු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් විදේශ ඇමැති අලි සබ්‍රි මහතා විසිනි.

සබ්‍රි සමග වොෂින්ටනයේ පිහිටි මූල්‍ය අරමුදලේ මූලස්ථානයට ගිය ගමනට එදා මහබැංකු අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් එක්ව සිටියහ. ඒ අනුව එදින සිටම ආණ්ඩුව දිගින් දිගටම කාල වකවානු ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මාස 3ක් ඇතුළත එම ණය මුදල් ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. අවස්ථා ගණනාවකදී එම කාලවකවානුව මාස දෙකකින්, මාස තුනක් ආදී වශයෙන් ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුවට සිදුවූයේ මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කළ කොන්දේසි සපුරාලීමේ අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුව තිබූ බැවිනි.

 

බරපතල කොන්දේසි 15ක් 

ඉන් බරපතළම කොන්දේසිය වී තිබුණේ සියලු විදේශ ණය හිමියන් විසින් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට මූල්‍ය අරමුදල විසින් සහතිකයක් බලාපොරොත්තු වීමය. මීට අමතරව ආණ්ඩුව විසින් ඉටුකළ යුතු කොන්දේසි 15ක්ද මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබීය. ඒ, රට ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් ලෙසය. ඒ අනුව ආණ්ඩුව තෙල් මිල, විදුලි බිල, ජල බිල, බදු බර ඉහළ නංවමින් පසුගිය කාලය පුරාම එම කොන්දේසි ඉටුකිරීමට කටයුතු කළේ රට ඇතුළෙන් මතුවුණු දැවැන්ත ජනතා විරෝධය තඹයකට මායිම් නොකරය.

 

චීන අවුල 

 කෙසේ වෙතත් ඒ සියලු කොන්දේසි ඉටුකළද ණය හිමියන්ගෙන් ලබාගත යුතු සහතිකය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ පා සිටියේ විශාල අර්බුදයකටය. ඊට හේතු වූයේ,

ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය විසින් ඒ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළ නොකිරීමය. චීනය පැත්තෙන් කියැවුණේ එවැන්නක් මීට පෙර සිදුකොට නොමැති නිසාත්, එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියහොත් තමන් විසින් ණය ලබාදී ඇති අනෙකුත් රටවල්ද එවැනි ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඉල්ලා සිටිය හැකි නිසාත් එවැන්නක් සඳහා එකඟ විය නොහැකි බවකි.

නමුත් ලංකාවේ අනෙකුත් ණය හිමියන් වන ඉන්දියාව, ජපානය, යුරෝපා රටවල් වසර 10ක කාලයක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට සහතික ලබාදීම හේතුකොට ගෙන චීනයටද එසේ කරන ලෙසට අමෙරිකාව ඇතුලු ප්‍රබල රටවලින් විශාල බලපෑමක් එල්ල වූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

 

චීනයෙන් එවූ ලියුම

 ඒ අනුව චීනය බැරිම තැන ඇපෙන් ගැළවෙන්නට මෙන් මීට මාසයකට පමණ ඉහතදී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීමට තමන්ද සූදානම් බවට වූ ලිපියක් ආණ්ඩුවට එවීමට පියවර ගත්තේය.

ඒ අවස්ථාවේදී ආණ්ඩුවත්, පොහොට්ටුවේ මැති ඇමැතිවරුනුත් මහත් ප්‍රීතියට පත්ව යළිත් වතාවක් දින වකවානු ප්‍රකාශයට පත්කරමින් මූල්‍ය අරමුදල මගින් ස්ථිර වශයෙන්ම ණය පහසුකම ලබාදෙනු ඇති බවට ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. මෙරට අතිබහුතරයක් මාධ්‍ය ඒ සියලු ප්‍රකාශ ඒ ආකාරයෙන්ම ගෙඩිය පිටින් ගෙන කිසිදු වගවිභාගයකින් තොරව, වැඩිදුර සොයාබැලීමකින් තොරව උදේ දවල් රාත්‍රී ප්‍රචාරය කරන ආකාරයක්ද දැකගත හැකි විය.

 

මාධ්‍ය ආයෙමත් බොරු ගැහුවාද?

කෙසේ වෙතත් සෑම අවස්ථාවකදීම මෙන්ම ‘රාජ්‍ය රහස්’ තීරය මේ සම්බන්ධයෙන් මුල සිටම සත්‍ය තොරතුරු රටට ඉදිරිපත් කරමින් මෙහි ඇති ගැටලුසහගත තැන් රැසක්ම එකින් එක පෙන්වා දීමට කටයුතු කළේ වගකිව යුතු මාධ්‍යයක් ලෙස සැබෑ මාධ්‍යකරණයේ වගකීම ඉටුකරමිනි. එහිදී අප දිගින් දිගටම පෙන්වා දුන්නේ ආණ්ඩුව සහ මාධ්‍ය අසත්‍ය කරුණු රටට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත්, අනෙක් රටවල් මෙන් නොව චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදිමදි කරන ආකාරයක් දැකගන්නට ඇති බවත්ය. එමෙන්ම ආණ්ඩුව විසින් ඇතැම් මාධ්‍ය අල්ලාගෙන පළකරන පුවත් සම්පූර්ණ අසත්‍ය බවද අප මෙම තීරුවෙන් රටට කියා සිටියේ වරක් දෙවරක් නොවේ. යම් යම් පිරිස් විසින් යම් කණ්ඩායමකට මුදල් ගෙවා මෙම පුවත් පළකරන බවටද මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත තොරතුරු රැසක් ලැබී ඇති අතර ඉදිරියේදී අප එම මුදල් ලබාදුන් කණ්ඩායම් පිළිබඳවත්, මුදල් ලබාගෙන අසත්‍ය තොරතුරු පළකරන කණ්ඩායම පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින් සිටින බවද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

 

චීන ලිපියට විරෝධය!

ඒ කෙසේ වෙතත් චීන සහතිකය ලැබුණු බවට ඒ දවස්වල ආණ්ඩුව උද්දාමයට පත්ව සිටියත් ‘රාජ්‍ය රහස්’ තීරය එහිදී කියා සිටියේ වසර 2ක කාලයක් සඳහා පමණක් චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට ඇති බැවින් එම ලිපිය මුල් කරගෙන අර්බුදයක් ඇතිවිය හැකි යැයි කියාය.

අප කී ආකාරයටම මූල්‍ය අරමුදල මගින් වහාම ආණ්ඩුවට දැනුම් දී සිටියේ චීනය වසර 2ක කාලයක් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකොට තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අනෙකුත් රටවල් මෙන් චීනයද වසර 10ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟතාව පළකළ යුතු බවත්ය.

 

ලියුම මෙහෙම එවන්න!

මීට අමතරව ලිපියේ තිබූ තවත් අඩුපාඩු කිහිපයක්ද මූල්‍ය අරමුදල මගින් පෙන්වා දී තිබිණි.

ඉන් පළමුවැන්න වූයේ මෙම ලිපිය චීන රජය මගින් ලබාදිය යුතු වුවද, එය චීන ආනයන අපනයන බැංකුව හෙවත් එක්සිම් බැංකුව මගින් ලබාදී තිබීමය. අනෙකුත් ණය හිමි රටවල් සියල්ල ඒ ඒ ආණ්ඩු විසින් ලිපි නිකුත් කර තිබූ බැවින් චීනයද එසේ කළ යුතු බව මූල්‍ය අරමුදල මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. අනෙක් කරුණ වූයේ මෙම චීන ලිපිය ඍජුවම මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ යුතු බවය. මන්ද ඔවුන් එම ලිපිය ලබාදී තිබුණේ චීන එක්සිම් බැංකුව මගින් ලංකා ආණ්ඩුව ආමන්ත්‍රණය කොටය.

එය පිළිගත නොහැකි බවත්, චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආමන්ත්‍රණය කොට අදාළ ලිපිය යොමු කළ යුතු බවත් මූල්‍ය අරමුදල මගින් ආණ්ඩුවට දැනුම් දී තිබිණි. ඒ අනුව අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අමතා මේ බව සාකච්ඡා කිරීමට උත්සාහ කළත්, ඒ සියලු අවස්ථා ව්‍යර්ථ වූ බව අප මෙම තීරුව මගින් මීට පෙර සති දෙකකදී රටට හෙළිදරව් කිරීමට පියවර ගෙන තිබිණි.

 

ලොකු මාධ්‍ය මෙහෙයුමක්!

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ එක්වරම සියලු මාධ්‍ය ‘බ්‍රේකින් නිවුස්’ එකක් පළකරමින් කියා සිටියේ මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයට චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කර ඇතැයි කියාය. පොහොට්ටු මැති ඇමැතිවරු මහත් උද්දාමයෙන් යුතුව පාර්ලිමේන්තුව තුළදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ බලාපොරොත්තු වූ ආකාරයට චීනය විසින් ණය සහතික ලිපිය ඉදිරිපත් කර ඇති බවත්, මාර්තු 20 වන විට මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ පළමු වාරිකය නිකුත් කරනු ඇති බවක් බලාපොරොත්තු විය හැකි බවත්ය. ජනාධිපතිවරයාද වහාම පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් චීනය අවශ්‍ය ආකාරයට ණය සහතිකය ලබාදී ඇති බවත්, නුදුරේදීම ණය මුදල අනුමත වනු ඇති බවත් ප්‍රකාශ කළේය. මෙරට චීන තානාපති ෂැන්හොන් මහතා අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ලබාදෙන ඡායාරූපයද මාධ්‍යවල පළකෙරෙන ආකාරයක් දැකගත හැකි විය.

 

ලියුමෙ තිබුණ දේවල් මෙන්න!

ඒ අනුව ජනාධිපතිවරයා මේ කියන කතාව ඇත්තද, මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආකාරයට චීනය අදාළ ණය සහතික පිළිබඳ ලිපිය යොමුකරලාද, ආණ්ඩුව කියන විදියට මාර්තු මස 20 වැනි දින මූල්‍ය අරමුදලේ පළමු ණය කොටස ලංකාවට හිමිවනු ඇතිද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරයද විශේෂ විමර්ශනයක් සිදුකළේය. එහිදී අපට තහවුරු වූ එක් කරුණක් වූයේ ආණ්ඩුව කියන පරිදි සහ මාධ්‍ය වාර්තා කළ පරිදි චීනය විසින් අදාළ ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටම ආමන්ත්‍රණය කොට යවා ඇති බවය. ඒ පැත්තෙන් බලද්දී නම් එම කරුණ සම්පූර්ණ සත්‍යයකි. නමුත් මෙහිදී ආණ්ඩුව සහ මාධ්‍ය විසින් හෙළි නොකරන කරුණුද රැසක් පවතින බව අප කළ මෙම විමර්ශනයේදී දැකගන්නට ලැබිණි.

එහිදී චීනය විසින් එවන ලද පළමු ලිපිය හා අවසන් වරට එවන ලද දෙවැනි ලිපිය අතර විශාල වෙනස්කමක් නොතිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීමය. එහිදී දැකගන්නට තිබුණේ වෙනස්කම් දෙකක් පමණි. ඉන් පළමු වෙනස්කම වූයේ ශ්‍රී ලංකාවට ආමන්ත්‍රණය කොට එවා තිබූ ලිපිය වෙනුවට මෙම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආමන්ත්‍රණය කොට එවීමට පියවර ගෙන තිබීමය. දෙවැනි වෙනස වූයේ ලිපියේ එක් වාක්‍යයක සුළු වෙනස්කමක් පමණක් දැකගන්නට ලැබීමය.

එම වාක්‍යයේ සඳහන්ව තිබුණේ, ‘We are considered to see other options’ (අප අනෙකුත් විකල්පයන් සලකා බැලීමට සූදානම්ය) යන්නය.

 

ලොකු වෙනසක් නෑ!

ඒ අනුව චීනය එවන ලද පළමු ලිපියේත්, දෙවැනි ලිපියේත් ලොකු වෙනසක් දැකගන්නට තිබුණේ නැත. පළමු ලිපිය මෙන්ම දෙවැනි ලිපිය එවා තිබුණේද චීන ආණ්ඩුව මගින් නොව, චීන අපනයන ආනයන සංවර්ධන බැංකුව හෙවත් එක්සිම් බැංකුව මගිනි.

දෙවැනි ලිපියේද ඇතුළත්ව තිබුණේ වසර දෙකක කාලයක් සඳහා පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිකය නිකුත් කොට ඇති බවකි. නමුත් ආණ්ඩුව නම් කියන්නේ මෙම ලිපිය පදනම් කොට ගෙන ලබන මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට නිදහස් කිරීමට නියමිත ණය මුදල පිළිබඳ සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි කියාය.

 

ප්‍රශ්නේ එන්නේ ඊළගට! ඝානාවට සැම්බියාවට වෙච්ච දේ!

ඒ අනුව මෙම ලිපිය 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ඔවුන් ඊට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද? අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම ලිපිය උපයෝගී කොට ගෙන අදාළ ණය මුදල නිදහස් කිරීමට මූල්‍ය අරමුදල සිය එකඟතාව පමණක් ප්‍රකාශයට පත්කරනු ඇති බවකි. නමුත් බරපතළම ගැටලුව ආරම්භ වන්නේ එතැන් සිටය. මන්ද යත් එතැන් සිට මූල්‍ය අරමුදල ලංකාවේ විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනු ඇත. ගැටලුව ඇත්තේ එම සාකච්ඡාවලදී මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන වසර 10ක ණය පොලී සහනය සහ චීනය විසින් ලබාදී ඇති වසර දෙකක ණය පොලී සහනය සමග යම් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වීමය. ඊට හොඳම උදාහරණය වන්නේ සැම්බියාව සහ ඝානාවය. මීට පෙර සැම්බියාව සහ ඝානාවද එරට උද්ගතව පැවැති බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි අතර, මූල්‍ය අරමුදලද ඔවුන්ට ණය ලබාදීමට එකඟතාව පළ කළේය. නමුත් ඔවුන්ගේ ගැටලුව පැනනැගුණේද චීනය සමග පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදීය. එහිදී චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එකඟ නොවීම හේතුවෙන් මුදල් නිකුත් කිරීමට එකඟතාව පළ කර තිබුණද, තවමත් එම මුදල් නිදහස් කිරීමේ කටයුතු සිදුව නොමැත. ඒ අනුව ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා ආරම්භ කිරීමෙන් පසු සැම්බියාට සහ ඝානාවට සිදුවූ දේම සිදුවනු ඇතිද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව තිබේ.

 

අලුත් කොන්දේසියක් දමයි!

එමෙන්ම චීනය අදාළ ලිපිය මගින් තවත් විශේෂ කරුණක්ද දැනුම්දී තිබේ. ඒ, ණය පිළිබඳ සාකච්ඡා පැවැත්විය යුත්තේ චීනය සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර පමණක් බවය. නොඑසේ නම් ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර පමණකි. ඒ හරහා ඔවුන් නොකියා කියා සිටින්නේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අනෙක් රටවල් සමග සාකච්ඡා කිරීමට චීනය සූදානම් නැති බවකි. බොහෝ දෙනා මෙම වගන්තිය චීනය මගින් එවා තිබූ දෙවැනි ලිපියෙන් ඉවත් කරනු ඇති බව සිතා සිටියද එම වගන්තය යළිත් ඊට ඇතුළත් කොට තිබීම විශේෂ කරුණක් සේ සැලකිය හැකිය.

 

සාකච්ඡාවලදී ගේන්න යන තර්කය!

මේ අතර චීනය විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවේදී පාවිච්චි කිරීමට සූදානමින් සිටින එක්තරා උපක්‍රමයක් පිළිබඳවද පසුගිය සතියේදී තොරතුරු වාර්තා විය. ඒ, චීනය විසින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබාදීම සිදුකොට ඇති රටවල් ප්‍රමාණය සහ එවායේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුල් කරගෙන සාකච්ඡාවේදී යම් තර්කයක් මතුකිරීමට සැලසුම් කොට තිබීමය. මේ වන විට චීනය විසින් ලොව රටවල් 79කට පමණ ණය ලබාදීම සිදුකොට තිබීම හේතුවෙන් චීනය ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස සැලකේ. මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව යනාදිය විසින් ලොව රටවල් 192කට පමණ ණය ලබාදීම සිදුකොට ඇත. ඒ අනුව මෙම සාකච්ඡාවලදී චීනය විසින් පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ණය දී ඇති රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සිදුකොට පෙන්වන ලෙසට යෝජනා කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත. ඒ අනුව චීනය ජාත්‍යන්තරය සමග ලංකාවේ ප්‍රශ්නය හරහා තවත් අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරගැනීමේ වැඩපිළිවෙළකට යොමුවෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත. ඒ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විශාල අවුලකට ඇදදැමීමට සැලසුම් කිරීම හරහාය. මේ කිසිවක් පිළිබඳ මේ වන විට කිසිදු මාධ්‍යයක් වාර්තා නොකරන නමුත් ජාත්‍යන්තර මාධ්‍ය නම් මේ පිළිබඳ විටින් විට විශේෂ තොරතුරු වාර්තා කරන ආකාරයක් දැකගන්නට පුළුවන. මුලදි මුලදී ශ්‍රී ලංකාවේ සිට තොරතුරු සපයන ඇතැම් රොයිටර් පුවත් මගින් මූල්‍ය අරමුදලේ සාකච්ඡා පිළිබඳ අතේ පැලවෙන අසත්‍ය පුවත් පළ කළද වෙනත් රටවල සිට යොමුකරන රොයිටර් වාර්තා මගින් මෙම සාකච්ඡා පිළිබඳ සමබරව තොරතුරු වාර්තා කර ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. එම මධ්‍යස්ථ වාර්තා දෙස බලන විට දැකගැනීමට ඇත්තේ කවුරු කුමක් සඳහන් කළද මූල්‍ය අරමුදල සම්බන්ධ සාකච්ඡා ඉතා අවදානම්සහගත තැනකට තල්ලු වෙමින් ඇති බවය.

 

බැලුම ආයෙත් පිපිරෙයිද?

ඒ අනුව රට ඇතුළේ මතුවෙමින් පැවැති ඡන්ද උණුසුම යටපත් කිරීම සඳහා ආණ්ඩුව මූල්‍ය අරමුදලේ සාකච්ඡා ‘අතිසාර්ථක’ බව කියමින් මාධ්‍ය හරහා පුම්බමින් සිටින බැලුම කුමන අවස්ථාවකදී හෝ පිපිරී යෑම සිදුවනු නොඅනුමානය.

@ කපිල පුංචිමාන්නගේ

උපුටාගැනීම - mawratanews.lk

නවතම ලිපි