SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට ලක්වූ MV X-Press Pearl නෞකාවෙන් සිදුවූ ඛේදවාචකය

සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන දේශපාලනික සහ සමාජීය කතිකාවන් දෙස බලන විට බරපතල ප්‍රශ්නයක් මතුවේ. එනම්, මෙම සියලු සංවාදයන් හරහා සැබැවින්ම ආවරණය කිරීමට උත්සාහ කරන්නේ අගතියට පත් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු සැබෑ රක්ෂණ වන්දි මුදලේ වටිනාකමද යන්නයි.

 

 

 

පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනාවරණය කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර වෙනුවෙන් මෙරටට හිමිවීමට තිබූ රුපියල් කෝටි 33,000ක (ඇමරිකානු ඩොලර් බිලියනයක) මුදල අහිමි කරමින් අදාළ නඩු කටයුත්ත අවසන් කිරීමට (terminate) නීතිපතිවරයා ගෙන ඇති පියවර පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් විනිවිද පදනමේ නාගානන්ද කොඩිතුවක්කු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙතද නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

 

නමුත් මෙහිදී මූලිකවම අවධාරණය කළ යුතු සත්‍යය නම්, අධිකරණය මගින් නියෝග කරන ලද ඩොලර් බිලියනයක මුදල යනු සමස්ත ව්‍යසනය වෙනුවෙන් ලැබිය යුතු අවසන් රක්ෂණ වන්දිය නොව, නඩු කටයුතු සහ පරිපාලනමය වියදම් සඳහා වන "මූලික ගෙවීමක්" පමණක් බවයි.

 

 

එසේනම් මේ සියළු කතිකාවන්හි යටි පෙළ වන්නේ සැබෑ වන්දි මුදල ජන මනසෙන් තුරන් කරමින් ඩොලර් බිලියනයක මුදලට සීමා කිරීමද? රටට අහිමි වන එවන් විශාල මුදලක් අහිමි කරවන්නේ අතට හිමිවන රුපියල් කෝටි කිහිපයක් නිසාවෙන්ද?

 

 

ඩොලර් බිලියනය සහ ඩොලර් බිලියන 6.4ක සැබෑ හානිය

2025 ජූලි 24 වන දින අග්‍ර විනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පිටු 361කින් යුත් ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් නෞකාවේ හිමිකරුවන් සහ දේශීය නියෝජිතයන් වෙත සාමූහික වගකීම පනවා අදියර කිහිපයක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් "MV X-Press Pearl වන්දි සහ පරිසර ප්‍රතිසංස්කරණ සහ ආරක්ෂණ අරමුදල" වෙත ගෙවන ලෙස නියෝග කළේය.

 

 

කෙසේ වෙතත්, රාජ්‍ය විශේෂඥ කමිටු සහ සමුද්‍රීය විද්‍යාඥයන් (මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන ඇතුළු කමිටුව) විසින් සිදුකරන ලද විද්‍යාත්මක තක්සේරුවලට අනුව, සිදුව ඇති පාරිසරික සහ ආර්ථික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් (USD 6.4 Billion) ඉක්මවයි. පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ (CHC 11/2023) ගොනුකර ඇති නඩුව මගින් ඉල්ලා ඇත්තේ ද මෙම ඩොලර් බිලියන 6.48ක පූර්ණ වන්දියයි.

 

 

එසේ තිබියදී, ඩොලර් බිලියනයක මුදල සමස්ත වන්දිය ලෙස ජනතාව හමුවේ හුවාදැක්වීම හෝ එම ඩොලර් බිලියනය පවා අහිමි වන පරිදි කටයුතු කිරීම යනු සෘජුවම ජාත්‍යන්තර රක්ෂණ සමාගම්වල (P&I Clubs) උවමනාවන් ඉටුකිරීමකි.

 

 

නෛතික විෂමතා සහ නඩුව අත්හිටුවීමේ අර්බුදය

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ප්‍රථම වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුව තිබුණද, 2025 සැප්තැම්බර් මාසයේදී ගෙවා ඇත්තේ රුපියල් මිලියන 300ක (ඩොලර් මිලියන 1කට ආසන්න) පේ ඕඩරයක් පමණි. ඉතිරි ඩොලර් මිලියන 999ක මුදල ලබාගැනීමට කටයුතු කරනු වෙනුවට, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් මත පදනම්ව 2026 ජනවාරි 26 වන දින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු කටයුත්ත අත්හිටුවා (terminate) ඇත.

 

 

මෙම අත්හිටුවීම හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර ගේ ප්‍රධානත්වයෙන් යුත් "වන්දි කළමනාකරණ කොමිෂන් සභාවට" ද සිය කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වී තිබේ.

 

 

මෙම ක්‍රියාවලිය පිටුපස ඇති ප්‍රධාන නෛතික හිඩැස් කිහිපයක් හඳුනාගත හැක.

 

දේශීය අධිකරණ බලසීමාව මඟහැරීම -

 මුහුදු සැතපුම් 4-5ක් වැනි ශ්‍රී ලංකාවේ ස්වෛරී මුහුදු සීමාව තුළ සිදුවූ අනතුරක් වෙනුවෙන් දේශීය අද්මිරාල්ති අධිකරණය මඟහැර නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයට (SICC) ගෙන යාමට නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

 

ලන්ඩන් P&I සමාජයේ සීමාකිරීම් -

නෞකාවේ රක්ෂණකරු වන ලන්ඩන් P&I ක්ලබ් ආයතනය, ලන්ඩන් අද්මිරාල්ති අධිකරණය හරහා සිය වගකීම පවුම් මිලියන 19.16 කට (ඩොලර් මිලියන 25) සීමා කරගැනීමට (Limitation Fund) නීතිමය උපක්‍රම යෙදීය.

 

 

 

රක්ෂණ සමාගම්වල උවමනාවන්ට ඉඩ දෙනවාද?

X-Press Pearl නෞකාවෙන් සාගරයට එකතු වූ ප්ලාස්ටික් කණිකා බිලියන 70කට අධික ප්‍රමාණය සහ නයිට්‍රික් අම්ලය ඇතුළු විෂ රසායනික ද්‍රව්‍ය මගින් සිදුවූ හානිය දශක ගණනාවක් පුරා පවතින බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. චීනයේ Shanghai Salvage සමාගම මගින් ඩොලර් මිලියන 130කට අධික වියදමින් නෞකාවේ සුන්බුන් ඉවත් කළද, පාරිසරික පද්ධතියට සිදුවූ අදිසි හානිය අතිමහත්ය.

 

ජාත්‍යන්තර පාරිසරික නීතියේ පිළිගත් "දූෂකයා විසින් ගෙවීමේ මූලධර්මය" (Polluter Pays Principle) සහ "නිරපේක්ෂ වගකීම" (Absolute Liability) අනුව, නෞකා හිමියන්ට සහ රක්ෂණ සමාගම්වලට මෙම වගකීමෙන් මිදිය නොහැක.

 

 

එබැවින්, වර්තමානයේ සිදුවන දේශපාලනික කතිකාවන් (දයාසිරිලා, නාගානන්ද ලා, සරෝජ් ලා, ඇතුළු එකී කතිකාව ප්‍රවර්ධනය කරන්නන්ගේ)  හුදෙක් ඩොලර් බිලියනයක මූලික මුදල අහිමිවීම ගැන පමණක් සීමා නොවී, රටට හිමිවිය යුතු ඩොලර් බිලියන 6.4ක පූර්ණ වන්දිය දිනාගැනීමේ පුළුල් තලයකට ගෙන යා යුතුය. 2026 අගෝස්තු 15 වන දින අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල හරහා මතුව ඇති නෛතික ප්‍රශ්න කිරීම් හමුවේ, රක්ෂණ සමාගම්වලට වාසිවන ලෙස කටයුතු කළ පාර්ශවයන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම රජයේ සහ අධිකරණයේ වගකීමකි.

 

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි