පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම
සම්බන්ධයෙන් වූ නීතිමය ක්‍රියාදාමය මේ වනවිට තීරණාත්මක හැරවුම් ලක්ෂයකට එළැඹී තිබේ.
ඒ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් (SC TAB 02/2023) සමඟිනි.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ඔවුන්ව නිදොස් කොට නිදහස් කර තිබූ තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන්ට එරෙහිව විත්තියේ සාක්ෂි කැඳවිය යුතු බවට නියෝග කළේය.
මෙම සමස්ත නීතිමය සහ පරිපාලනමය වියවුල තුළ වඩාත්ම කතාබහට ලක්වන චරිතය බවට පත්ව ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනය.
ඔහු මෙම ඛේදවාචකයේ ප්‍රධානතම සාක්ෂිකරුවා ද? නැතහොත් වගකිවයුතු විත්තිකරුවෙකු ද? යන්න නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන නිලධාරීන්ට එරෙහි නඩු කටයුතුවලදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු (PW1) ලෙස කටයුතු කළේ ද නිලන්ත ජයවර්ධනය.
2019 අප්‍රේල් 04 වන දින විදේශීය බුද්ධි අංශයකින් ලද පූර්ව අනතුරු ඇඟවීම මත පදනම්ව, අප්‍රේල් 07 වන දින ඔහු ජාතික බුද්ධි ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබිණි.
එමෙන්ම අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි හි සිදුවූ පිපිරීම සහරාන්ගේ පෙරහුරුවක් බව හඳුනාගෙන, ඒ පිළිබඳව ද අප්‍රේල් 18 දින ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට ඔහු පියවර ගෙන තිබේ.
නඩු විභාගයේදී තහවුරු වූ පරිදි, 2019 අප්‍රේල් 08, 18, 20 සහ 21 යන දිනවල ඔහු විසින් අදාළ ඉහළ නිලධාරීන් වෙත බුද්ධි තොරතුරු සපයා ඇත.
නමුත් බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු අතිශය සංවේදී තොරතුරු, පොලිස්පතිවරයා විසින් බෙදා හැර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට පමණි.
ආරක්ෂක ලේකම්වරයා ද අප්‍රේල් 09 වන දින පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී මේ පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා දැනුවත් කර නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ මහාධිකරණය විසින් චූදිතයන් නිදහස් කිරීම බරපතල නෛතික වරදක් බවයි.
නීතිපතිවරයා චෝදනා ගොනු කර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 107 වගන්තිය යටතේ ප්‍රධාන අපරාධකරුවන් ලෙස නොවේ.
එය "නීතිවිරෝධී ලෙස ක්‍රියා කිරීම පැහැර හැරීම" (Illegal omission) තුළින් මිනීමැරීමට අනුබල දීම යන පදනම යටතේ ගොනු කර තිබිණි.
ප්‍රථම දෘෂ්ටියෙන්ම පැමිණිල්ල විසින් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇති බැවින්, චූදිතයන්ගෙන් නිදහසට කරුණු විමසීම අනිවාර්ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ.
මෙම පසුබිම තුළ නිලන්ත ජයවර්ධනගේ නෛතික තත්ත්වය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී.
ඔහු 2015 වසරේ සිටම අයි.එස්.අයි.එස්. (ISIS) මතවාදයේ වර්ධනය ගැන වාර්තා 170 කට ආසන්න ප්‍රමාණයක් ඉහළ බලධාරීන් වෙත යොමු කර ඇති බව මලල්ගොඩ කමිටු වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බුද්ධි ආයතන කිසිවක් ව්‍යවස්ථාපිත නීතිමය රාමුවකින් ආවරණය වී නොමැති වීම නීතිමය වශයෙන් ඔහුට වාසිදායක විය හැකිය.
නමුත්, රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔබ්බට නිසි ලෙස ගලා නොයාම මලල්ගොඩ කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
එබැවින් නිලන්ත ජයවර්ධනට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිෂන් සභා මගින් නිර්දේශ ඉදිරිපත් වී තිබිණි.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉහළ නිලධාරීන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා ඔප්පු කිරීම සඳහා නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි මත දැඩි ලෙස රඳා පවතී.
රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ තීරණ ගැනීමේ බලය පැවරී තිබුණේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති යන නිලධාරීන්ටය.
එබැවින් තොරතුරු රැස්කරන්නෙකු සහ වාර්තාකරන්නෙකු පමණක් වූ බුද්ධි ප්‍රධානියෙකුට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීම නීතිමය වශයෙන් අභියෝගාත්මක විය හැකිය.
කෙසේ වෙතත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ සමාජ වගකීම සහ කොමිෂන් සභා නිර්දේශ හමුවේ ඔහු සම්පූර්ණයෙන්ම වගවීමෙන් නිදහස් වේද යන්න තීරණය වනු ඇත්තේ ඉදිරි නීතිමය ක්‍රියාදාමයන් හරහාය.

