අපගේ හෙළිදරව්වෙන් පසු මහ බැංකුව අවදි වුවද රතු වරෙන්තුකරුවන් ලංකාවේ රජ කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (ජූලි 01) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, මෙරට තුළ
ක්‍රියාත්මක වන තහනම් පිරමීඩ යෝජනාක්‍රම ලැයිස්තුව යාවත්කාලීන කර ඇත. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ සිදුකළ විමර්ශනයකින් පසු, 'Infinity Rover (Pvt) Ltd' නැමති ආයතනයද තහනම් පිරමීඩයක් ලෙස අලුතින්ම නම් කර තිබේ.

මෙම නව යාවත්කාලීන කිරීමත් සමග මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ සමාගම් සහ යෙදුම් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇත. අලුතින් එක්වූ Infinity Rover සමාගමට අමතරව, Qnet/Questnet, MTFE App, OnmaxDT, Fastwin (Pvt) Ltd ආදී ආයතන තවදුරටත් මෙම තහනම් ලැයිස්තුවේ පවතින බව මහ බැංකුව අවධාරණය කරයි.

Vijay-Eswaran
මහ බැංකුව විසින් අද දින යාවත්කාලීන කරන ලද මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ, විජය ඊශ්වරන්ගේ නීතිවිරෝධී දේපළ ජාලය සහ ඔහු විසින් ආසියා කැපිටල් සමාගම පවත්වාගෙන යාමට පත් කර ඇති ප්‍රොක්සි හිමිකරුවා වන රාජු රාධා සම්බන්ධයෙන් අප විසින් පසුගියදා සිදු කළ බරපතළ මාධ්‍ය හෙළිදරව් මාලාවෙන් අනතුරුව වීම මෙහි ඇති විශේෂත්වයකි. අපගේ එම අඛණ්ඩ විමර්ශනාත්මක හෙළිදරව්ව හරහා සමාජයේත් බලධාරීන්ගේත් දැඩි අවධානය මේ වෙත යොමු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස නියාමකයින් මෙලෙස ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය.
එහෙත්, මෙහි ඇති බරපතළම ඛේදවාචකය සහ නීතියේ විහිළුව වන්නේ, අපගේ හෙළිදරව්වෙන් පසු මහ බැංකුව යළිත් වරක් 'Qnet / Questnet' තහනම් ලැයිස්තුවේ සටහන් කර තිබුණද, එහි නිර්මාතෘවරයා වන විජය ඊශ්වරන් තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තුළ කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමයි.
වර්තමාන නීතියට අනුව, ජාත්‍යන්තර පොලිසියේ (INTERPOL) රතු වරෙන්තු ලැබූවන්ට හෝ මුදල් විශුද්ධිකරණ චෝදනා ලද්දන්ට මෙරට තුළ ආයෝජනයට ඉඩක් නැත. 2025 දී හඳුන්වා දුන් දේපළ පිළිබඳ පනත (POCA) හරහා පුද්ගලයෙකු වරදකරු කිරීමකින් තොරව වුවද අපරාධ මුදල් රාජසන්තක කිරීමට රජයට පූර්ණ බලය ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැත.
ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් පිරමීඩ ජාවාරම් චෝදනා මත වරෙන්තු නිකුත් වී ඇති විජය ඊශ්වරන්, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත 'ආසියා කැපිටල්' (Asia Capital PLC) සමාගමේ 71.6% ක බහුතර හිමිකාරීත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් ලාභ උපයන්නේ 'සමාගම් ආවරණය' (Corporate Veil) නැමති ආයතනික න්‍යාය අතිශය සූක්ෂ්ම ලෙස භාවිත කරමිනි.
ඔහු ආසියා කැපිටල් සමාගමට මුදල් පොම්ප කරන්නේ තම පෞද්ගලික නමින් නොව, මැලේසියාවේ හෝ වෙනත් අක්වෙරළ (Offshore) කලාපයක ලියාපදිංචි කරන ලද 'Fast Gain International Limited' වැනි ආවරණ සමාගම් ජාලයක් හරහාය. ශ්‍රී ලංකාවේ අධිකරණයකින් ඔහුව මේ දක්වා වරදකරුවෙකු කර නොමැති වීමත්, ඔහු ගෙන ආ ප්‍රාග්ධනය නිල බැංකු මාර්ග හරහා විදේශ ප්‍රේෂණ ලෙස ගෙන්වා තිබීමත් ඊට කදිම පලිහක් වී ඇත.

Ragu Radha
අප විසින් පෙර හෙළි කළ පරිදි, ආසියා කැපිටල් හි වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා, විජය ඊශ්වරන්ගේ 'ප්‍රොක්සියක්' (Proxy) ලෙස කටයුතු කරමින් සිටී. එහෙත් මෑතකදී සිංගප්පූරුවේ CC Trust Pte Ltd ආයතනය සමඟ ඇති වූ ඩොලර් මිලියන 6 ක අර්බුදය ඓතිහාසික සුහද සමථයකට ගෙන එමින් සම්පූර්ණ හෝටල් ජාලයම අහිමි වීම වළක්වා ගැනීමට ඔහු සමත් විය. එයින් පෙනී යන්නේ ඔහු හුදු නාමමාත්‍රික රූකඩයකට වඩා බිඳවැටෙන නැවක සුක්කානම අතට ගත් ප්‍රායෝගික අර්බුද කළමනාකරුවෙකු බවයි.
එහෙත් මේ කිසිදු අභ්‍යන්තර විසඳුමකින් මූලික නියාමන අර්බුදය සමනය වන්නේ නැත. අපගේ මාධ්‍ය මෙහෙයුම හරහා අවදි වූ බලධාරීන් අද (01) යාවත්කාලීන කරමින් යළිත් තහවුරු කළ පරිදි Qnet යනු රටට තහනම් පිරමීඩයකි. එසේනම් එහි නිර්මාතෘවරයාගේ සැකකටයුතු ප්‍රාග්ධනය දේපළ ලෙස රාජසන්තක නොවන්නේ ඇයි?
සුරැකුම්පත් හා විනිමය කොමිසම, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම මේ සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුය. විශේෂයෙන්ම ලැයිස්තුගත සමාගම් සඳහා 'ප්‍රතිලාභී අයිතිකරුවන්' (UBO) හෙළිදරව් කිරීමේ නීති කඩිනමින් අනිවාර්ය නොකළහොත්, අප කොතෙක් හෙළිදරව් කළද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික අපරාධකරුවන්ගේ නිල පාරාදීසයක් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.
# සමාරා පරණවිතාන

