මෑතකදී 'IF' (Ideas Front) යූටියුබ් නාලිකාවේ පැවති සංවාදයකදී 'සමබිම' පක්ෂයේ නායක
දීප්ති කුමාර ගුණරත්න වර්තමාන දේශපාලන උපායමාර්ග පිළිබඳව තියුණු විවේචනයක් ඉදිරිපත් කළේය. පවතින ආර්ථික අර්බුදය සහ IMF යථාර්ථය හමුවේ 'නොමිලේ සහල් හා පොහොර ලබාදීම' වැනි පැරණි සටන් පාඨවලින් ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බවත්, සාම්ප්‍රදායික 'තට්ටුමාරු දෘෂ්ටිවාදය' බිඳ වැටී ඇති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
බැලූ බැල්මට මෙම කියවීම අතිශය ගැඹුරු දේශපාලන විශ්ලේෂණයක් සේ පෙනෙන්නට පුළුවන. නමුත් දෘෂ්ටිවාදාත්මක විවේචනය හරහා මෙම අදහස් විච්ඡේදනය කළ විට පෙනී යන්නේ, දීප්ති කුමාර ගුණරත්න වත්මන් අර්බුදයේ මතුපිට චලනයන් පමණක් දැක, සමස්ත පද්ධතියේ ව්‍යුහයම වරදවා වටහාගෙන ඇති බවයි.
පහත දැක්වෙන්නේ එම ළිංමැඩි න්‍යායික කියවීම ඛණ්ඩනය කරන ප්‍රති-තර්කයයි.
දීප්තිගේ ප්‍රධාන උපකල්පනයක් වන්නේ, අර්බුදය හමුවේ ඡන්දදායකයා දැන් 'තාර්කික' වී ඇති බවයි. ජනතාව පැරණි ෆැන්ටසිවලට තවදුරටත් නොරැවටෙන බව ඔහු සිතයි. කෙසේ නමුත් අද පවතින ධනවාදී දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ අහිංසක මට්ටමකින් නොවේ. අද පවතින්නේ නරුමවාදී දෘෂ්ටිවාදයකි. එනම්, "ඔවුන් එය ඉතා හොඳින් දනිති; නමුත් කොහොම උනත් ඔවුහු එය කරති" යන තත්ත්වයයි.
ශ්‍රී ලාංකික ඡන්දදායකයා රට බංකොලොත් බවත්, නොමිලේ සහන දිය නොහැකි බවත් ඉතා හොඳින් දනී. නමුත් ඔවුන් තුළ පවතින පාරිභෝගික ආශාව ඉල්ලා සිටින්නේ මෙම කටුක යථාර්ථය වසා දමන ෆැන්ටසියකි. දේශපාලඥයන් කියන්නේ බොරුවක් බව දැන දැනම, තම "විනෝදය" පවත්වා ගැනීම සඳහා ජනතාව එම බොරුව වැළඳ ගනිති.
එබැවින් අර්බුදය විසින් ජනතාවගේ ෆැන්ටසිය ඛණ්ඩනය කර නැත. වෙනස් වී ඇත්තේ පද්ධතියේ මතුපිට හැඩය පමණි. ජනතාවගේ පාරිභෝගික සිතුම් පැතුම් කිසිසේත් වෙනස් වී නැත.
දීප්ති පවසන්නේ "තට්ටුමාරු දෘෂ්ටිවාදය" බිඳ වැටී ඇති බවයි. ප්‍රධාන පක්ෂ දෙකක් අතර බලය මාරුවීම වෙනුවට වාමාංශික මුහුණුවරක් සහිත වෙනත් කණ්ඩායමකට බලය ගියද, 'ස්වාමියාගේ කතිකාවට' (Master's Discourse) අනුව මෙහිදී ව්‍යුහාත්මක වෙනසක් සිදුවී නැත.
සිදුවී ඇත්තේ හිඩැස පිරවීම සඳහා නව 'ස්වාමි හැඟවුම්කාරකයෙක්' පැමිණීම පමණි. ඡන්දදායකයා තවමත් සිටින්නේ යමක් 'අඩු' ආත්මයක් ලෙසය. ඔවුන් නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ තම අඩුව පුරවන ධනවාදී පාරිභෝගික වස්තූන්, සහන සහ සුඛෝපභෝගීත්වයයි.
දේශපාලන බලය කොතැනට මාරු වුවත්, නව ආණ්ඩුවට සිදුවන්නේ පාරිභෝගිකයාගේ මෙම ආශාව සංසිඳුවන ෆැන්ටසියක් යළි යළිත් නිෂ්පාදනය කිරීමටය. එබැවින් ව්‍යුහාත්මකව කිසිදු වෙනසක් වී නැත.
දීප්තිගේ දුර්වලම තර්කය ගොඩනැගෙන්නේ ඊළඟටය. ඔහු වත්මන් විපක්ෂය විවේචනය කරන්නේ ඔවුන් "අනෙකාගේ විනෝදය" (Enjoyment of the Other - එනම් ඊර්ෂ්‍යාව සහ වෛරය) විකිණීමෙන් බලය ගැනීමට තැත් කරන බව පවසමිනි. එය යම් තාක් දුරට සත්‍යයකි. නමුත් ඊට විකල්පයක් ලෙස ඔහු ගෙන එන ග්‍රාම්ස්චිගේ "ප්‍රින්ස් පාර්ටි" (Prince Party) සංකල්පය අතිශය මනෝරාජික ෆැන්ටසියකි.
ලැකාන් පවසන්නේ "මහා අනෙකා නොපවතී" (The Big Other does not exist) කියාය. එනම් සමාජයට සදාචාරාත්මක නායකත්වයක් දිය හැකි, තමන්ගේම වූ 'අසභ්‍ය විනෝදයක්' නොමැති, පරමාදර්ශී දේශපාලන පක්ෂයක් මේ පොළොව මත පවතින්නේ නැත.
දීප්ති මෙහිදී කරන්නේ ජනප්‍රියවාදී දේශපාලන ෆැන්ටසියක් ඛණ්ඩනය කර, ඒ වෙනුවට තමාගේම වූ බුද්ධිමය ෆැන්ටසියක් සමාජය මත පැටවීමට උත්සාහ කිරීමයි.
දීප්ති කුමාර ගුණරත්න අතින් සිදුව ඇති ප්‍රධානතම න්‍යායික වරද නම්, ආර්ථික අර්බුදය නිසා මතුපිට දේශපාලන ප්‍රවාහයේ ඇතිවූ කෙටිකාලීන කැළඹීමක්, මිනිස් ආත්මයේ මූලික ව්‍යුහාත්මක වෙනසක් ලෙස වරදවා වටහා ගැනීමයි.
තාර්කිකත්වය මත පදනම් වූ දේශපාලනයක් අපේක්ෂා කිරීම හරහා ඔහු පෙන්නුම් කරන්නේ, මිනිස් ආත්මයේ ඇති 'අතාර්කික ආශාවේ ක්‍රියාකාරීත්වය' ඔහු විසින්ම වටහාගැනීමට අසමත් වී ඇති බවයි. වෙනස් වී ඇත්තේ රඟමඬලේ නළුවන් සහ ඔවුන්ගේ දෙබස් පමණි. එහෙත් පාරිභෝගික-ප්‍රේක්ෂකයාගේ අතාර්කික ආශාවන් සහ ධනවාදී නිෂ්පාදන ව්‍යුහය අංශුමාත්‍රයකින් හෝ වෙනස් වී නැත.

