ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධානතම ජීවනාලිය බඳු සංචාරක කර්මාන්තය අභ්‍යන්තරයේ
මේ දිනවල අතිශය සූක්ෂම දේශපාලන මෙහෙයුමක් දියත් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග හරහා වාර්තා වේ. මෙම නිහඬ ගැටුමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ වෙන කිසිවක් නොව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සතුව පවතින රුපියල් බිලියන 17.5ක් තරම් වූ දැවැන්ත 'මූල්‍ය මීවදයයි'.
2005 අංක 38 දරණ සංචාරක පනත හරහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ බලතල ආයතන කිහිපයකට විමධ්‍යගත කෙරිණි. මෙහිදී ගුවන් තොටුපළ පිටත්වීමේ බද්ද සහ සංචාරක ආයතනවලින් අයකරන බද්දෙන් පෝෂණය වන 'සංචාරක සංවර්ධන අරමුදලෙන්' (TDF) 70%ක දැවැන්ත ප්‍රතිශතයක් නෛතිකවම වෙන්වන්නේ ජාත්‍යන්තර අලෙවිකරණය භාර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB) ය.
එහෙත් සමස්ත කර්මාන්තයේ යටිතල පහසුකම් හැදීමේ බර කරට ගන්නා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) හිමිවන්නේ අරමුදලෙන් 14%ක් වැනි සුළු ප්‍රතිශතයකි.
වසර ගණනාවක සිට එකතු වූ අරමුදල් හේතුවෙන් ප්‍රවර්ධන කාර්යාංශය යටතේ අද වන විට බිලියන 17.5ක දැවැන්ත සංචිතයක් ගොඩනැඟී තිබේ.
වර්තමානයේ මෙම ආයතන ද්විත්වයේම සභාපතිත්වය දරන්නේ ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු මෙන්ම, ක්ෂේත්‍රය තුළ ඉතා පිලිගත් නිලධාරියෙකු වූ බුද්ධික හේවාවසම් ය. අර්බුද මධ්‍යයේ වුවද 2025 වසරේදී මිලියන 2.36ක වාර්තාගත සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට ඔහුගේ කළමනාකරණය යටතේ හැකි විය.
එහෙත් අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරන පරිදි වත්මන් පරිපාලන ගැටුම ආරම්භ වන්නේ, අමාත්‍යාංශයෙන් ලබාදුන් ඇතැම් ප්‍රතිපත්තිමය ලියකියවිලි සහ පනත් කිහිපයකට අනුමැතිය ලබාදෙමින් අත්සන් තැබීම හේවාවසම් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය. කර්මාන්තයේ විනිවිදභාවයට හානිවන කිසිදු ක්‍රියාවකට අනුමැතිය නොදීමට තරම් ඔහු ස්වාධීන වීම, ඇතැම් දේශපාලනඥයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට ඇති ප්‍රධානතම බාධකයක් වී ඇත.
මීවදය කඩාගැනීමේ 'බයිපාස්' මෙහෙයුම
දේශපාලන අධිකාරියට අවනත නොවන හේවාවසම් ව සෘජුවම ඉවත් කිරීම ගැටලුසහිත බැවින්, මේ වන විට ක්‍රියාත්මක වන්නේ 2005 පනතේ හිඩැස් භාවිත කරමින් දියත් කරන 'බයිපාස්' මෙහෙයුමකි. සැලසුම වී ඇත්තේ, බුද්ධික හේවාවසම් ව හුදෙක් 14%ක මූල්‍ය බලයක් පවතින නියාමන ආයතනයට (SLTDA) පමණක් සීමා කර, රුපියල් බිලියන 17.5ක මූල්‍ය සංචිතයක් සහිත ප්‍රවර්ධන කාර්යාංශයෙන් (SLTPB) ඔහුව ඉවත් කිරීමයි.
ඉන් අනතුරුව එම 'මූල්‍ය මීවදය' සිය හිතවතෙකුගේ ග්‍රහණයට නතුකර ගැනීම මෙහි පැහැදිලි යටි අරමුණ වී තිබේ.

මෙම දැවැන්ත ජාත්‍යන්තර ප්‍රවර්ධන අරමුදල හැසිරවීම සඳහා දේශපාලන අධිකාරිය විසින් යෝජනා කර ඇති නම වන්නේ සුරංජිත් වෑවිට ය. ඔහු සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ (ACTSPA) ලේකම්වරයා ලෙස, ප්‍රාදේශීය සංචාරක ව්‍යවසායකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු බව සැබෑවකි. එහෙත්, ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් සමඟ බිලියන ගණනක අලෙවිකරණ ගිවිසුම් සහ ගෝලීය සන්නාමකරණය මෙහෙයවිය යුතු ආයතනයක මුල් පුටුවට, ප්‍රාදේශීය මට්ටමේ ත්‍රාසජනක සංචාරක (Adventure Tourism) පුහුණුකරුවෙකු සහ කිරි ආශ්‍රිත ව්‍යවසායකයෙකු පත්කිරීම කොතරම් ප්‍රායෝගිකද යන්න බරපතල වෘත්තීය ප්‍රශ්නාර්ථයකි.
මෙම පත්කිරීම පිටුපස ඇති දේශපාලන ජාලය නිරීක්ෂණය කිරීමේදී මෙය හුදු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ අරමුණින් කරන පත්කිරීමක් නොවන බව පැහැදිලි වේ. දේශපාලන සහ කර්මාන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, සුරංජිත් වෑවිට යනු රනිල් වික්‍රමසිංහගේ අගසව්වවෙකුව සිටි, ප්‍රබල දේශපාලන හා ව්‍යාපාරික චරිතයක් වන මලික් සමරවික්‍රමගේ කිට්ටුවන්තයෙකු බවයි. එමෙන්ම ඔහු අමාත්‍ය විජිත හේරත්ගේ පෞද්ගලික ලේකම් ජනිත්ගේ ද සමීප හිතවතෙකි. මීටත් වඩා අවධානයට ලක්විය යුතු සහ බරපතලම කරුණ වන්නේ, මෙම සමස්ත ක්‍රියාන්විතය පිටුපස ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන වැඩකොටසක් මෙහෙයවන ප්‍රබල අදිසි හස්තයක් ද සක්‍රීයව මැදිහත් වී සිටීමයි. මේ සියල්ලටම එහා ගිය කතාව වන්නේ බුද්ධික හේවාවසම් යනු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ ඔහු අගය කරන නිළාධාරියෙකු වීමය.
වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකුගේ 'ප්‍රගතිශීලී ප්‍රතිරූපය' පලිහක් කරගනිමින්, දේශපාලනඥයින් සහ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් විසින් රුපියල් බිලියන 17.5ක අරමුදලක් සිය පාලනයට නතු කරගැනීමට දරන මෙම උත්සාහය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. නීත්‍යානුකූල ආවරණයක් යටතේ, පනතේ ප්‍රතිපාදන භාවිත කරමින්ම සිදුකරන මෙම සූක්ෂම මෙහෙයුම සාර්ථක වුවහොත්, නිසි ගෝලීය අලෙවිකරණ දැක්මක් නොමැතිව එම අරමුදල් කාබාසිනියා වීමේ දැඩි අවදානමක් පවතී. අවසානයේ එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ රටට ඩොලර් ගෙනෙන සංචාරක කර්මාන්තයට සහ බිඳවැටී යළි හිස ඔසවමින් පවතින ජාතික ආර්ථිකයටමය.
දැන් මීට මැදිහත් විය යුතු හෝරාව එළැඹ ඇත.
අනුර කුමාර දිසානායක ජනපති අවදානය වෙතටයි.
සබැඳි ලිපි
කූට ජාවාරම්කරුවන්ට බිලිවන ලංකාවේ සංචාරක කර්මාන්තය - (පළමු දිගහැරුම)

