මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ජාවාරම් පිළිබඳ සංවාදය කොතරම් උණුසුම් වී ඇත්ද යත්,
වගා පිරමීඩ ඇතුළු විවිධ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් දිනපතාම මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුව තිබේ. මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ ආයතන ලේඛනය හරහා මේ වන විටත් සමාගම් 24ක් නීති විරෝධී බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට පිරමීඩ වංචාවල මූලාරම්භය දෙසට හැරී බැලීමේදී එහි ප්‍රමුඛතම නාමය ලෙස සටහන් වන්නේ, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින්ම රතු වරෙන්තු පවා නිකුත් කර ඇති විජය ඊශ්වරන්ගේ නාමයයි.
මෙම මහා පරිමාණ මූල්‍ය ක්‍රියාකාරකම් මෙතරම් සීඝ්‍රයෙන් මෙරට තුළ මුල් බැසගත්තේ, එහි ආරම්භක අවධියේදීම ඊට එරෙහිව අවශ්‍ය නීතිමය ඇණය නොගැසූ බැවිනි. අන්තර්ජාතිකව රතු වරෙන්තු නිකුත් වී තිබියදීත්, පළමු පිරමීඩ වංචාව හසුවද්දී ශ්‍රී ලංකාව තුළ ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් නිකුත් නොකළේ කාගේ බලපෑමක් මතද යන්න බරපතළ ප්‍රශ්නයකි.
විශේෂයෙන්ම අතීත එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී මෙම පිරමීඩ වංචාවන් අනාවරණය වෙද්දීත්, ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකුගේ සෘජු සහාය සහ රැකවරණය ඊශ්වරන්ට හිමිවූ බවට ප්‍රබල චෝදනාවක් පවතී. නීතියෙන් කට්ටි පනිමින් මෙවැනි අයට අඛණ්ඩව රැඳී සිටීමට හැකිවන්නේ මෙවැනි අභ්‍යන්තර සහායකයින් නිසා බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.

විජය ඊශ්වරන්ගේ ව්‍යාපාරික ජාලය පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ මගින් සිදුකළ පුළුල් විමර්ශනවලදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබුණි. GoldQuest, QNet වැනි නම්වලින් පෙනී සිටි ඔහුගේ සමාගම් කිහිපයක්ම එකම ලිපිනයක ලියාපදිංචි කර තිබූ බවත්, ඒවා කිසිදු භෞතික ක්‍රියාකාරීත්වයක් නොමැති හුදෙක් මුදල් විශුද්ධිකරණය සඳහා පමණක් පවත්වාගෙන ගිය 'වර්චුවල් සමාගම්' බවත් එමගින් තහවුරු විය.
මහ බැංකුව විසින් තහනම් කර ඇති මෙම ජාලයේ නිර්මාතෘවරයා, දේශීය ප්‍රාග්ධන වෙළඳපොළ තුළ සිය ආයෝජනයන් හසුරුවන ආකාරය අතිශය විමර්ශනාත්මක වේ. මැලේසියාවේ ලියාපදිංචි "Fast Gain International Limited" වැනි අක්වෙරළ කවච සමාගම් හරහා, කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි 'Asia Capital PLC' සමාගමේ 71.6%ක බහුතර කොටස් බලයක් හිමිකර ගැනීමට අදාළ ජාලයට හැකි වී තිබේ.
මහ බැංකුවේ තහනම් ලේඛනයේ සිටින පුද්ගලයෙකුට අයත් අක්වෙරළ සමාගම්, මෙරට ලියාපදිංචි සමාගමක බහුතර කොටස් මිලදී ගත්තේ කෙසේද යන්න බරපතළ ලෙස විමර්ශනය කළ යුත්තකි. මෙම ප්‍රාග්ධනය මෙහෙයවීමේදී Asia Capital ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන රාජු රාධා මහතාගේ භූමිකාව කුමක්ද? ඔහු ඊශ්වරන්ගේ ශ්‍රී ලාංකීය නියෝජිතයා හෙවත් ප්‍රොක්සිය ලෙස කටයුතු කරන්නේද යන්න බලධාරීන් විසින් වහාම පුළුල් විමර්ශනයකට ලක් කළ යුතුව ඇත. එසේම සුරැකුම්පත් හා විනිමය කොමිසම (SEC) මෙවැනි ආයෝජනයන්හි අවසන් ප්‍රතිලාභී හිමිකරුවන් (UBO) හෙළිදරව් කරගැනීම සඳහා තම නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රශ්න මතු වේ.
එහෙත්, අතීත පාලන යුගයේදී පණ ලැබූ, ජාතික ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කරන මෙම ජාවාරම්කරුවන් පාලනය කරගැනීමට වත්මන් රජයට හැකිවනු ඇති බව නොඅනුමානය.
වත්මන් පොලිස්පතිවරයා යනු සියලු පොලිස් ස්ථරයන්හි මනා අත්දැකීම් ඇති, පසුගිය කාලය පුරාවටම රතු වරෙන්තු මත විදෙස්ගතව සැඟව සිටි අපරාධකරුවන් සහ වංචාකරුවන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ නිලධාරියෙකි. මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන ඔහු යටතේ මේ වන විටත් මෙවැනි ජාලයන් කඩිනමින් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ.
වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් මේ වන විටත් මෙවැනි ජාවාරම් මර්දනය කිරීම සඳහා විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අනුව නුදුරේදීම ජනතාව රවටමින් පවත්වාගෙන යන සියලුම වංචාකාරී ආයතනවලට, ඊට අනුග්‍රහය දක්වන අභ්‍යන්තරික සහායකයින්ට සහ ඊට සම්බන්ධ ප්‍රධානීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

