"අවදානම් නොගෙන අර්ථවත් වෙනසක් සිදුවිය හැකි යැයි මම විශ්වාස නොකරමි."
ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) හමුවේ පැවසුවේ යම් දැඩි ස්ථාවරයක සිටිමිනි. ඒ, ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ගෙන එන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව ආරම්භයේදීම ගැටුම්කාරී මුහුණුවරක් ගත්තේ, සාකච්ඡාවට පෙරම නීතිඥ සංගමය විසින් මෙම සංශෝධනයට දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙනි. ජනාධිපතිවරයා පවසන්නේ මෙය අධිකරණ පද්ධතියේ ගොඩගැසී ඇති නඩු මිලියන 1.1ක් අවසන් කිරීමේ පුළුල් ප්‍රතිසංස්කරණයක කොටසක් බවයි. එහෙත් නීතිඥ සංගමය පවසන්නේ මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් බවයි.
මෙම අර්බුදයේ මතුපිට කතාව කුමක් වුවත්, දේශපාලන සහ නීති ක්ෂේත්‍රයේ දැන් ප්‍රසිද්ධ රහසක් වන්නේ මෙම වයස් සීමාව දීර්ඝ කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තවත් වසර දෙකක් එම පුටුවේ රඳවා ගැනීම බවයි. දෙසැම්බර් මාසයේදී ඔහු විශ්‍රාම යාමට නියමිත අතර, නීතිඥ සංගමය ඇතුළු විරුද්ධ පාර්ශ්වයන් මෙම සංශෝධනය මේ මොහොතේ ගෙන ඒමට එරෙහි වන්නේ එබැවිනි.
සාමාන්‍ය ජනතාවට අගවිනිසුරු පුටුවේ හිඳින්නේ කවුරුන්ද යන්න අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ අපරාධකරුවන්ට දඬුවම් ලැබීම සහ යුක්තිය ඉටුවීමයි. එසේනම් මෙම මාතෘකාව සාමාන්‍ය ජනතාවට වැදගත් වන්නේ කෙසේද? එය වැදගත් වන්නේ මෙමගින් තීරණය වීමට නියමිත "නඩු" මොනවාද යන්න මතය.
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ නඩු අවසන් කර වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීමය. මෙහිදී කතා කරන්නේ සාමාන්‍ය ජනතාවගේ සුළු නඩු ගැන නොවේ. ජාතික ජන බලවේගය බලයට පැමිණියේම පසුගිය දශක කිහිපය තුළ සිදුවූ දැවැන්ත දේශපාලන, මූල්‍ය වංචා සහ පාස්කු ප්‍රහාරය වැනි ජාතික අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බවට වූ ප්‍රබල ජනවරමකිනි. මෙම ඉහළ පෙළේ දේශපාලන සහ මූල්‍ය නඩු විභාග වන්නේ මහේස්ත්‍රාත් අධිකරණවල නොව, මහාධිකරණ, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණවලය.
එම නඩු සඳහා අගවිනිසුරු පුටුව වැදගත් වන්නේ ඇයි? ජනාධිපතිවරයාම පාස්කු නඩු විභාගය උදාහරණයකට ගනිමින් එය පැහැදිලි කළේය. චෝදනා 23,000ක් ඇති එම නඩුව අග භාගයට පැමිණ ඇති අතර, එහි විනිසුරුවරයෙකු අභියාචනාධිකරණයට උසස් වුවහොත් මුළු නඩු විභාගයම අඩාල විය හැකිය. විශේෂ ත්‍රිපුද්ගල මඩුලු පත් කිරීම, ඉහළ අධිකරණවල සංයුතිය තීරණය කිරීම සහ නඩු කඩිනම් කිරීමේ පරිපාලනමය බලය ඇත්තේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමටය. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තමන්ට හිතවත් හෝ තම දූෂණ විරෝධී න්‍යාය පත්‍රය වේගවත් කළ හැකි, දැනටමත් ක්‍රියාකාරීව සිටින නායකත්වයක් යටතේ මෙම ඓතිහාසික නඩු විභාග කර අවසන් කිරීමටයි.
එසේනම්, යුක්තිය පසිඳලීම අධිකරණයේ කාර්යය නම් නීතිඥ සංගමය මීට විරුද්ධ වන්නේ ඇයි? නීතිඥ සංගමයේ තර්කය පදනම් වන්නේ පුද්ගලයින් මත නොව, ආයතනික පූර්වාදර්ශයන් මතය. කලට වෙලාවට යුක්තිය පසිඳලෙන්නේ නැත්නම් පූර්වාදර්ශ කන්නටදැයි ජනතාව තර්ක කිරීමත් සාධාරණය.
රජය පවසන පරිදි නඩු මිලියන 1.1කින් 800,000ක්ම ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණවල බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පෙන්වා දෙයි. එබැවින් ඉහළ උසාවිවල වයස වැඩි කිරීමෙන් පහළ උසාවිවල තදබදය විසඳෙන්නේ නැත. එසේම, නිශ්චිත පුද්ගලයෙකු ඉලක්ක කරගෙන හෝ කඩිමුඩියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් "අධිකරණය විධායකයේ අවශ්‍යතාවයට නැවෙන බවට" වැරදි පූර්වාදර්ශයක් සමාජගත වේ. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිය සහ මහානායක හිමිවරුන් පවා පෙන්වා දෙන්නේ යුක්තිය ඉටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය ස්වාධීනව ඉටුවන බව මහජනතාවට පෙනී යා යුතු බවත්ය.
අවසාන වශයෙන්, මෙය විධායකයේ දේශපාලන උවමනාව සහ නෛතික ක්‍රියාපටිපාටියේ පාරිශුද්ධත්වය අතර ගැටුමකි. දූෂිතයින්ට දඬුවම් දීමේ ජනවරම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා "අවදානම් ගැනීමට" සූදානම්ය. එහෙත්, එම ඉක්මන් ප්‍රතිඵල වෙනුවෙන් ව්‍යවස්ථාව හසුරුවා ගැනීමෙන් සමස්ත අධිකරණ පද්ධතියේම ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමේ අවදානමද ඊටත් වඩා බරපතලය. 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්වීම තුළින් ඉදිරියේදී දැවැන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය.

