SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරක්කු ස්ටිකරයෙන් හෙළිවන රාජ්‍ය ටෙන්ඩර් කමිටුවල නිරුවත..

 

 

මෑතකදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPF) අනාවරණය වූ

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්පැන් බෝතල් සඳහා අලවන 'ආරක්ෂිත ස්ටිකරය' පිළිබඳ පුවත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සහ එහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය කෙතරම් දූෂිතද සහ වගකීම් විරහිතද යන්න මනාව කියාපාන කැඩපතකි.

 

 

ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවේදී මෙම බරපතළ ප්‍රායෝගික හා මූල්‍ය විෂමතාවය හෙළිවූයේ පහත සංවාදය හරහාය.

 

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා -


“දැන් මේ ස්ටිකර් එකේ ප්‍රශ්නය. ප්‍රඩක්ෂන් එක කොහොමද ? කොච්චර හොරට විකිණෙනවාද කියන එකනේ අපි ප්‍රශ්න කරන්නේ.”

 

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා-


“ස්ටිකර් වැඩේ පටන් ගත්තේ 2022 වසරේ. 2027 ජනවාරි 2න් පස්සේ දැනට තියෙන ආයතනයේ ගිවිසුම අවසන් වෙනවා. අලුත් ටෙන්ඩරයක් දාන්න කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ ස්ටිකර් මුද්‍රණය කරලා දෙන්න ඕනේ. ස්ටිකර් ඇලවීම කරන්නේ මත්පැන් නිෂ්පාදකයා. ස්ටිකර් 1000කට ඩොලර් 5.99ක් ගෙවනවා. වරාය ගාස්තු සහ තීරුබදු ගාස්තු එක්ක ඔක්කොම ඩොලර් 7.99ක්. දේශීය සමාගම් දෙකෙන් එකක නිෂ්පාදන වේගවත් නිසාත් අනෙක් සමාගමේ සිසිල් කරලා ගන්න නිසා වතුර තියෙන නිසා කඩදාසි ස්ටිකර් එක අලවන්න බැහැ. ඒ නිසා ඒ සමාගම් දෙකට ඩිජිටල් ස්ටිකර් එකක් ගහලා තියෙනවා. 80%කට වඩා තියෙන්නේ ඩිජිටල්. අලවන්නේ නැහැ. ඩිජිටල් වදින්නේ.”

 

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා:

“ඩිජිටල් වදිනකොට ඒකට කීයක් ගන්නවාද ?”

 

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා:

“ඒකටත් සර් ඩොලර් 7.99ක්.”

 

 

මෙම පිළිතුරු මගින් පැහැදිලි වන්නේ, මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බෝතල්වලින් 80%කටම අලවන්නේ කඩදාසි ස්ටිකරයක් නොව, බෝතලය මත කෙලින්ම මුද්‍රණය කරන 'ඩිජිටල් ස්ටිකරයක්' බවයි. එහෙත්, පුදුමයට කරුණ නම්, අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පිරිවැය අතිශයින්ම අවම මෙම ඩිජිටල් මුද්‍රණයටත් රජය විසින් අදාළ විදේශීය සමාගමට ගෙවන්නේ කඩදාසි ස්ටිකරයට ගෙවන ඩොලර් 7.99 ක මුදලම වීමය.

 

 

 Arakku_1.jpeg

 

 

මෙම සිදුවීම අළලා මතුකළ යුතු දැඩි විචාරාත්මක ප්‍රශ්න කිහිපයක් තිබේ.

 

ටෙන්ඩර් සහ තාක්ෂණික කමිටු ඇස් පියාගෙන අත්සන් ගහන යන්ත්‍ර බවට පත්වෙලාද?

 

භෞතික කඩදාසි ස්ටිකරයක් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ කඩදාසි, ආරක්ෂිත මුද්‍රණ තීන්ත, හොලෝග්‍රෑම් තාක්ෂණය, මැලියම් මෙන්ම ඒවා ප්‍රවාහනය කිරීමේ පිරිවැයක්ද ඇතුළත් වේ. නමුත් ඩිජිටල් මුද්‍රණයකදී (Digital Print) මේ කිසිදු භෞතික පිරිවැයක් දැරීමට සිදු නොවන අතර, පිරිවැය විශාල ප්‍රතිශතයකින් අඩුවිය යුතුය. කමිටු සභාපතිවරයා මෙම තාර්කික පදනම ප්‍රශ්න කළේ මෙලෙසිනි.

 

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා:

“ඈ..ස්ටිකර් එකක් නෑනේ. මං අහන්නේ ඩොලර් 5.99ක් කිව්වා කොස්ට් එක කඩදාසියෙන් ගහන්න. මේකට 5.99ක් යන්නෑ නේ. ඩිජිටල් එකේදී ඇලවීමක් වෙන්නේ නෑ නේ. කොළයෙන් ඩිජිටල් ප්‍රින්ට් එකට යනකොට කොස්ට් එක 80% විතර අඩු වෙන්න ඇති නේ. 5.99ක මුදලක් ගෙවන්නේ ඇයි ?”

 

 

 

එවැනි පැහැදිලි පිරිවැය වෙනසක් තිබියදීත්, කඩදාසි ස්ටිකරයේ නිෂ්පාදන පිරිවැයම ඩිජිටල් ප්‍රින්ට් එකටත් සමානව දැමීමට ටෙන්ඩර් කමිටු අනුමැතිය දුන්නේ කෙසේද? අදාළ අමාත්‍යාංශවල සිටින ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවලට (TEC) මේ සාමාන්‍ය මොන්ටිසෝරි ගණිතය සහ තාක්ෂණික වෙනස නොතේරුණේ ඇයි? මෙය නොදැනුවත්කම නොව, දැන දැනම මහජන මුදල් කොල්ලකෑමට අවස්ථාව සලසා දීමකි.

 

arakku_2.jpeg

 

 

"ටෙන්ඩර් එකේ දීලා තියෙන්නේ ඒ ගාණ" යනු පිළිගත හැකි නිදහසට කරුණක්ද?

 

හර්ෂ ද සිල්වා නැගූ ඉහත ප්‍රශ්නයට නියෝජ්‍ය කොමසාරිස්වරයා දුන් පිළිතුර වූයේ,

 

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා:

“ටෙන්ඩර් එකේ දීලා තියෙන්නේ ඒ ගාන සර්.”

 

 

මෙය අතිශය හාස්‍යජනක මෙන්ම වගකීම් විරහිත පිළිතුරකි. ගිවිසුමකට එළඹීමේදී යම් හෙයකින් නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වන්නේ නම් (උදාහරණයක් ලෙස කඩදාසි වෙනුවට ඩිජිටල් මුද්‍රණයකට යන්නේ නම්), ඊට සාපේක්ෂව මිල ගණන් සංශෝධනය විය යුතු බවට වගන්තියක් ගිවිසුමට ඇතුළත් කිරීම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මූලික සිද්ධාන්තයකි.

 

 

එවැනි නම්‍යශීලී වගන්ති ඇතුළත් නොකර, කෙසේ හෝ අදාළ සමාගමටම වාසියක් අත්වන අයුරින් අතිශය දුර්වල ගිවිසුම් සකස් කර ඇත්තේ කාගේ වුවමනාවටද?

 

 

තාක්ෂණික කමිටුවල වගකීම සහ දඬුවම් කිරීම

 

රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි මහා පරිමාණ වංචාවලදී නිතරම දොස් අසන්නේ දේශපාලඥයන් පමණි. නමුත් මෙම ටෙන්ඩර් ලියකියවිලි සකස් කරන්නේ, ඒවා තාක්ෂණිකව ඇගයීමට ලක් කරන්නේ සහ අවසන් අනුමැතිය සඳහා නිර්දේශ කරන්නේ ඉහළ වැටුප් ලබන, විශේෂඥයන් යැයි කියාගන්නා රාජ්‍ය නිලධාරීන්ය. අද වනවිට රාජ්‍ය සේවයේ මෙම කමිටු හුදෙක් ඉහළින් එන නියෝගවලට හෝ කොමිස් මුදල්වලට යටවී "ඇස් පියාගෙන අත්සන් ගහන" රබර් මුද්‍රා බවට පත්ව ඇත.

 

ස්ටිකර් 1000ක් සඳහා කඩදාසි වුවත්, ඩිජිටල් වුවත් එකම මුදලක් ගෙවීමට අනුමැතිය දුන් ටෙන්ඩර් ඇගයීම් කමිටු සාමාජිකයන් සහ තාක්ෂණික කමිටු සාමාජිකයන් කවුරුන්ද යන්න කඩිනමින් හෙළිදරව් කළ යුතුය. ඔවුන්ගෙන් මෙම මූල්‍ය අපරාධය පිළිබඳව ප්‍රශ්න කළ යුතු අතර, අහිමි වූ මහජන මුදල් ඔවුන්ගෙන් අයකර ගැනීමේ නීතිමය පසුබිමක් රට තුළ නිර්මාණය විය යුතුය.

 

 

 liquor_1200px_2023_08_24.jpeg

 

 

කර්තෘ සටහන -

 

මත්පැන් බෝතලයේ ඩිජිටල් ස්ටිකරය යනු තවත් එක් වංචාවක් පමණක් නොවේ; එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති බරපතළ සිදුරු සහ නිලධාරී තන්ත්‍රයේ දූෂිතභාවය ලෝකයටම විදහා දක්වන සාක්ෂියකි. 2027 දී මෙම ටෙන්ඩරය අවසන් වී නව ටෙන්ඩරයක් කැඳවීමට නියමිත බව කියැවේ. එහෙත්, පවතින මෙම දූෂිත කමිටු ක්‍රමයම එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ නම්, ඊළඟ ටෙන්ඩරයෙන්ද සිදුවන්නේ පරණ වයින් අලුත් බෝතලයක දමා මහජනතාවගේ මුදල් තවදුරටත් ගසා කෑම පමණි.

 

 

නවතම ලිපි