SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ප්‍රමුඛ මෙම කලාපයේ සියලුම රටවල පමණක් නොව, ජාත්‍යන්තර දේශපාලනයේ ද ප්‍රමුඛ මාතෘකාව බවට ඉන්දියාව පත්වීමට හේතු කීපයක්ම විය.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස ඉන්දියාවට තිබෙන සුවිශේෂී තත්ත්වයට අමතරව එහි අගමැති ධුරය සඳහා තෙවන වරටත් නරේන්ද්‍ර මෝදි පත්වීම ද එයට බලපෑ එක් හේතුවක් විය.

 

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජවහර්ලාල් නේරු ඉන්දීය ඉතිහාසයට එක්ව සිටින්නේ තෙවරක්ම ඉන්දියාවේ අගමැති ධුරය හෙබවූ දේශපාලනඥයකු ලෙසය. නරේන්ද්‍ර මෝදි ඒ වාර්තාව සමකරමින් එලෙස තෙවරක් අගමැති ලෙස පත්වූ දෙවැන්නා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සුබ පැතුම් රැගෙන මෝදි අගමැතිවරයා දිවුරුම් දෙන උත්සවයට සහභාගි වීමේ භාග්‍ය අත්පත් කර ගත්තේය. මෝදි හින්දු ජාතිකත්වය මත පදනම් වූ දේශපාලනඥයෙකි. එහෙත් ඉන්දියාව සිසාරා ගිය මෝදිගේ ජනප්‍රියත්වයෙහි රැල්ල මෙවර කිසියම් පසුබෑමකට ලක්ව තිබෙන බව සමස්ත ඉන්දියානු මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කළ සියලු ප්‍රාමාණිකයන්ගේ අදහස විය.

 

මෝදි නායකත්වය දුන් භාරතීය ජනතා පක්‍ෂයට මෙවර ලබාගත හැකි වූයේ ආසන 240කි. ඉන්දියාවේ සියලුම මාධ්‍ය පමණක් නොව, විවිධ දේශපාලන විශ්ලේෂකයන්, වෘත්තිකයන් හා සිවිල් ක්‍රියාකාරීන් ද පවසා තිබුණේ මෙවර මැතිවරණයෙන් මෝදි පක්‍ෂයට ආසන 400ක් ලැබෙන බවය. එහෙත් ඒ සියලු අනාවැකි බොරු කිරීමට භාරත ජනතාව සමත් වූහ. මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයෙහි විශේෂ ව්‍යාපෘතියක් වූයේ අයෝධ්‍යාවෙහි ඔහුගේ අනුග්‍රහයෙන් සංවර්ධනය වූ රාම් දෙව්මැඳුරය. එය හින්දූත්වයට කරනු ලබන පූජාවක් බව අගමැති මෝදිගේ මුවින්ම ප්‍රකාශයට පත්විය. එහෙත් අයෝධ්‍යාවට අයත් ෆයිසබාද් ආසනය ද මෝදිගේ පක්‍ෂයට දිනාගත නොහැකි විය. එපමණක් නොව, හින්දු බහුතරයක් ජීවත් වන ප්‍රාන්තවල ද මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂයට කැපී පෙනෙන ජනප්‍රසාදයක් ලබාගත නොහැකි විය.

 

මේ අතරම මෝදි රැල්ලට හසුවී යටපත් වී ගිය ගාන්ධිවරුන්ගේ දේශපාලන බලය යළිත් ඉන්දියාවේ පිබිදෙමින් සිටින බවද මෙම ඡන්ද ප්‍රතිඵලය තහවුරු කර ඇත. රාහුල් ගාන්ධි නායකත්වය දුන් ඉන්දියා හවුලට ආසන 234ක් ලබාගත හැකි වීමත් රාහුල් ගාන්ධි විපක්‍ෂ නායක ධුරයට පත්වීමත් මෙවර කැපී පෙනෙන සිදුවීමක් වී ඇත. රාහුල්ගේ සන්ධානය ග්‍රාමීය ජනතාවගේ විශේෂ අවධානය දිනා ගැනීම සම්බන්ධයෙන් ද මේ වනවිටත් දේශපාලන විචාරකයෝ විවිධ හේතු සාධක දක්වති. ඒවායේ හරය වන්නේ ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාව ගොවියන්ගේ ප්‍රශ්නය ආදිය කෙරෙහි මෝදි පාලනය අසංවේදී වී ඇති බවය.

 

ගොවි සංවිධාන මෝදි පාලනයට දැඩි විරෝධතා දක්වද්දී ඒවා නිර්දය ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ග්‍රාමීය ජනයා කෝපයට පත්ව සිටි බවද කියති. ව්‍යාපාරික ප්‍රභූවරුන්ට අනුග්‍රහය ලබාදුන් මෝදි පාලනය විසින් ආදායම් පරතරය වැඩි කරන ලද බවක් ද සමහරු කීහ. කුමක් වුවත් මෝදි අගමැතිවරයාගේ දේශපාලන අභිලාෂයන් සපුරා ගතහැක්කේ සභාග ආණ්ඩුවක් තුළ බවද දැන් පැහැදිලිය.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වුවද අද දැකගත හැකි එක් දෙයක් නම් ග්‍රාමීය ජන ජීවිත මුහුණ දී සිටින අර්බුද උත්සන්න වීමත් මැද පන්තිය හා වැටුප් ලබන වෘත්තිකයන්ගේ කඩාවැටීමක්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ලද ණයත්, ඔවුන්ගේ උපදේශත් මත රටේ ආර්ථිකයට යම් සහනයක් සැලසීමට ජනාධිපති රනිල් සමත් වුවත් එය හුදු තාවකාලික වේදනා නාශකයක් පමණි. ජනාධිපතිවරයා පවසන්නේ ්ද තවමත් රට යථාතත්ත්වයට පත්ව නැති බවය. මෙම 12 වැනිදා වනවිට මූල්‍ය අරමුදලේ තෙවැනි ණය වාරිකය ලබාගැනීමට ද නියමිතව තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාව මෙතෙක් ඉටු නොකළ කැපවීම් 16ක් තිබෙන බවද වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණ වාර්තාවක් සඳහන් කර ඇත. මූල්‍ය කළමනාකරණයට අදාළ කැපවීම, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අඩුවීම් වැනි කරුණු ද එහි ඇතුළත්ව තිබේ. ආණ්ඩුව විසින් ලබාදෙන සහනාධාර, ඇතුළු වෙනත් ප්‍රදානයන් නොවන්නට ආදායම් රහිත පහළම ජනතාවගේ ඉරණම කුමක් විය හැකිව තිබුණි ද යන්නත් බරපතළ ප්‍රශ්නයකි. එහෙත් මැතිවරණයක් අබිමුව සිටින ආණ්ඩුව කිසිසේත්ම ඒවා කපාහරිනු ඇතැයි ද සිතිය නොහැක.

 

ඉන්දියාවේ මැතිවරණ ප්‍රකාශයට පත්වීමෙන් පසු භාරත දේශපාලන අංශ මෙන්ම පොදු ජනතාව අතර ද ඒ සම්බන්ධ කිසිදු විචිකිච්ඡාවක් නොවීය. එහෙත් ලංකාවේ තත්ත්වය කුමක් ද? ආණ්ඩුවට මැතිවරණ කල් දැමීම පිළිබඳ කුප්‍රකට කීර්තියක් ද තිබේ. එසේම ජනාධිපතිවරයා අයත් පක්‍ෂයේ මහලේකම් වන රංගේබණ්ඩාර ලවා මැතිවරණ කල් දැමීමේ මුට්ටිය දැමීමක් ද සිදුවිය. එයට ජනාධිපති රනිල්ට චෝදනා නැඟුණි. එහෙත් ඔහු එයට ප්‍රතිචාර දැක්වූයේ ද නැත. ඒ අතරම ජනාධිපතිගේ ධුර කාලය වසරකින් කල් දැමීමට ව්‍යවස්ථාවේ සිදුර සොයමින් සිටින බවට අලුත් චෝදනාවක් ද නැඟෙයි. ජනාධිපති රනිල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස අවධානයක් දිනාගත් දේශපාලන චරිතයකි. එහෙත් ඔහු අද ජනාධිපති බලය අත්හැර යෑමේ ගැටලුවකට මැදිවී සිටින්නෙහි ද? ඔහු මෙන්ම ඔහුට සහාය දක්වන පොදුජන පෙරමුණ ද අද රැඳී සිටින්නේ බලය ගිලිහී යෑමේ අනතුරක මායිමේය. ඔහුගේම පක්‍ෂයේ ඉතිරිව සිටින මන්ත්‍රීවරු වෙනම සන්ධානගත වෙති. පසුගියදා අම්බලන්තොට පැවැති මහජන රැලිය ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ප්‍රමුඛ පොහොට්ටුවේ ම මන්ත්‍රීවරුන් ගෙන් ද සමන්විත වූවකි. මේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේම්ජයන්ත් සමග තවත් මන්ත්‍රීවරු 30ක් පමණ එක්ව සිටි ඒ ජනහමුව ශ්‍රීලනිප මූලිකත්වයෙන් ගොඩනැඟූ සන්ධානයේ ප්‍රථම පියවර ලෙස සඳහන් විය. මෙය ජනාධිපති රනිල්ට සහය පළ කිරීම සඳහා ආරම්භ වූ සන්ධානයක් බව පැහැදිලිය.

 

කුමක් වුවත් ජනාධිපතිවරණයට රනිල් ඉදිරිපත් වන බව එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහුගේ මූලිකත්වයෙන් කොළඹ විවෘත වූ දේශපාලන මෙහෙයුම් කාර්යාලයට අමතරව තවත් ආසන මට්ටමේ දැනුවත් කිරීම් ද සිදුවන බව පෙනේ. කුමක් වුවත් ජනාධිපතිවරණ නිල නිවේදනය නිකුත් වීමෙන් පසු මේ දේශපාලන හැංගිමුත්තම් අවසන් වනු ඇත. එතෙක් ඒ පිළිබඳව විවිධ පුවත් සමාජගත කිරීම ආණ්ඩුවේම උපක්‍රමය කැයි ද කල්පනා කළ හැකිය. ඒ අතර එජාපයේ ප්‍රබල කණ්ඩායමක් විසින් සජබය සමග එකඟතාවක් ඇතිකර ගැනීමේ ප්‍රයත්නයකට ද බලපෑම් කරමින් සිටිති. එහෙත් සජබ පාර්ශ්වයෙන් එයට සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන බවද ඔවුන්ගේ කතාබහ තුළින් පැහැදිලි වේ. දින කීපයකට පෙර තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ සජිත් – රනිල් එක්වීමක් නොවන බවය.

 

මේ අතර සජබයෙන් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එකතු කර ගැනීමේ දේශපාලන මෙහෙයුමක් යටිතලයේ ක්‍රියාත්මක වන බව ද රහසක් නොවේ. දැනට සජබයේ සිටියත් ජනාධිපති රනිල්ගේ දේශපාලන ක්‍රියාන්විතය නොකැඩී යා යුතු බව රාජිත සේනාරත්න ද කියයි. එසේම පක්‍ෂයේ කටයුතුවලින් ඈත්ව සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධ තත්ත්වය කුමක් ද? ඔහු තම දේශපාලනය සම්බන්ධ කෘතියක් එළිදැක්වීමට ද සූදානමින් සිටියි. මේවා සජබයට හානිදායක දේවල්ය. ඒ මෙනවා වුවත් සජිත් සිය සමීප සගයන් සමග ජනාධිපතිවරණ සටන සඳහා අනලස්ව ක්‍රියාකරන බවද පෙනේ. ඔහුගේ ඇතැම් විවේචන මේ ආණ්ඩුවේ නායකයන් වෙත ඍජුවම එල්ල වේ. එසේම උතුරේ දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කරන සජිත් පවසන්නේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බවය. තවම මේ සම්බන්ධයෙන් ජාතිකත්ව කණ්ඩායම් ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් එය යළිත් අලුත් දේශපාලන සංවාදයකට මාතෘකාවක් වීමට ඉඩ තිබෙන්නකි. උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවට වඩාත් සමීප විය හැකි නායකයා රනිල් ද නැතහොත් සජිත් ද යන්න මත එළැඹෙන මැතිවරණයේ දෙමළ ජනතාව ප්‍රතිචාර දක්වනු ඇති බවද අපට පෙනේ. විග්නේශ්වරන් වැනි දෙමළ නායකයකු ඍජුවම ජනාධිපති රනිල්ට සිය අනුග්‍රහය පළ කරයි. සුමන්තිරන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි ද?

 

ඒ කුමක් වුවත් සජබයේ සිට පැමිණ ඇමැති ධුර ලබාගත් හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර හැර මෙතෙක් කිසිවෙක් රනිල් සමග එක්ව නැත. ඇමැති හරින් දින කීපයකට පෙර සජිත් – අනුර විවාදය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ ද සජිත් විවාදය මඟහැර ගිය බවය. ඔහු ප්‍රශ්න කර තිබුණේ විවාදයකට පැමිණ ඒ අභියෝගයට මුහුණ දියනොහැකි මිනිහෙක් රටක් භාර ගෙන පාලනය කරන්නේ කෙසේද? යනුවෙනි. ඒ ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

සජිත් – අනුර විවාදයට අයි.ටී.එන්. නාලිකාව ඉඩ දීම පිළිබඳ සජබයේ මන්ත්‍රීවරු විසින් කරනු ලබන විවේචන අපට භාරගත නොහැක. ඒ අවස්ථාවට පැමිණි අනුර කුමාර එයින් උපරිම පළ නෙළාගත් බව නම් පෙනුණි. අයිටීඑන් රජයේ නාලිකාවක් බව සැබෑවකි. එහෙත් එහි සතිපතා විකාශය වන ‘තුලාව’ දේශපාලන සංවාදයට සජබයේ නියෝජිතයන් පැමිණි බව අපගේ මතකයයි. හර්ෂණ රාජකරුණා හා අජිත් මාන්නප්පෙරුම සහභාගි වූ වැඩසටහන් අපට සිහිවේ. එහෙත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එහි සභාපතිවරයාට මෙන්ම තුලාව වැඩසටහන ඉදිරිපත් කරනු ලබන සුදර්මන් රදලියගොඩට ද අවඥාව මුසු චෝදනා නැඟීම අපට තේරුම් ගත නොහැක. අපට එම නාලිකාව සම්බන්ධයෙන් පෙනී සිටීමට අවශ්‍ය ද නැත. එහෙත් රාජ්‍ය නාලිකා ලෙස තිබෙන විiුත් හා මුද්‍රිත මාධ්‍යවලට පත් කරනු ලබන්නේ පාලක පක්‍ෂයේ අභිමතය පරිදි බව නලින් බණ්ඩාර නොදන්නෙහි ද? කොහොමටත් ඔහුට සුපුරුදු වසුරු උපමාවක් ඒ සඳහා යොදා ගැනීමේ අදාළත්වයක් ද නැත. වරක් ගලි බවුසර් උපමාවක් ද මෙවර වසුරු තවරාගත් සූකර උපමාවක් ද යොදා ගනිමින් ඔහු කළේ ද අවර ගණයේ විවේචනයකි. ජනාධිපති රනිල් විවේචනයේ දී දක්වන උත්ප්‍රාසය මුසු හාස්‍ය ගැන ඔහුට වැටහීමක් තිබුණි නම් කෙතරම් අගේ ද?

 

අප මෙයට පෙර ද සඳහන් කළ පරිදි ජනතාවට වඩා වැදගත් ආර්ථික කමිටුවල විවාදය නොව, විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන නායකයන් දෙදෙනා වන සජිත් හා අනුරගේ විවාදයයි. එය ජනාධිපතිවරණයට ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ආර්ථික වැඩපිළිවෙළ පමණක් නොව, එම මැතිවරණ ප්‍රකාශනයේ හරය ද විය හැකිය. අනුර කුමාර ඒ සංවාදයේ දී පළ කළ අදහස්වලට පිළිතුරු දීමට සජිත්ට ද ඉඩක් ලබාදිය යුතු බව මේ විවාදය සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කළ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද කීවේය. කුමක් වුවත් රාජ්‍ය මාධ්‍ය වර්ජනය සජබ පිළිගත් ප්‍රතිපත්තියක් නම් එය වෙනම කථාවකි. එහෙත් තමන්ගේ දුබලතා බොළඳතා වසා ගැනීමට අභූත දේවල් දැක්වීම යථාර්ථයෙන් පලා යෑමකි. වඩාත් ශිෂ්ට උපමාවකින් කිවහොත් ආඳා යවා තබා වල්පත අල්ලා ගැනීමකි.

 

ඉහත සඳහන් කළ පරිදිම තව මසක් දෙමසක් වැනි කාලයක් ඇතුළත මෙරටේ දේශපාලන බල අරගලය උත්සන්න වන ආකාරය පමණක් නොව, පක්‍ෂවල විවිධ මඩ ගසා ගැනීමේ ව්‍යාපාර අවලා ද මෙන්ම තර්ජන ගර්ජන පවා ඇතිවීමට හැකි ද යන සැකය අප තුළ ද වැඩෙයි. සම්ප්‍රදායානුකූල පක්‍ෂ ලෙස එජාප, පොදුජන පෙරමුණ මෙන්ම ශ්‍රීලනිපය ද ඇත්තේ පසුබෑම් මැදය. මේ පක්‍ෂවල බිම් මට්ටමේ ශක්තිය හා සංවිධායකයන්ගේ ක්‍රියාශීලිත්වය ද පිරිහී ගොස් තිබේ. එදා බලය ලබාගැනීමට ගමට ගිය බොහෝ දෙනකුට අද ගම අමතකය. විවිධ ප්‍රශ්නවලදී ගම්වල පිරිස් පවසන්නේ වරෙල්ලකො අපේ ඡන්ද ගන්ට වැනි අදහස්ය. ජනතාව ගෙන් හුදෙකලා වී සිටින නායකයන් ගැන ජනතාව දැඩි කලකිරීමකට පත්ව සිටිති. අද ජනතාව ඉදිරිපිට සිටින්නේ එ.ජාප. යෙන් කැඩී ගිය ස.ජ.බ. යකි. ජ.වි.පෙ වෙනුවට බහු සංවිධාන එකතු වූ ජා.ජ.බයකි. පොහොට්ටුව හෙවත් පොදුජන පෙරමුණ එදා තිබූ බහුජන පක්‍ෂවල ශක්තියෙන් වියෝ වූ හුදෙකලා පක්‍ෂයකි. මේ තත්ත්වය දෙමළ හා මුස්ලිම් සමාජයේ පැරණි නායකයන්ට ද අදාළ වූවකි. දෙමළ – මුස්ලිම් නායකයෝ ද තවමත් දකුණේ දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් වැට උඩ සිටිති. මේ නායකයන් ශ්‍රීලනිපයට හෝ පොදුජන පෙරමුණට එක්වනු ඇතැයි ද සිතිය නොහැක.

 

ජාජබය වටා විශ්‍රාමික හමුදා හා පොලිස් නිලධාරීන් එකතුවීමේ ප්‍රවණතාවෙහි සුවිශේෂ පියවරක් ලෙස දින කීපයකට පෙර මහරගම තරුණ සේවා මාලිමා වේදිකාවට ප්‍රබල විශ්‍රාමික පොලිස් චරිත කීපයක් ගොඩවීම දැක්විය හැකිය. උසස් නිලධාරීන් ලෙස මෙන්ම විවාදාත්මක චරිත ලෙස ද දැක්විය හැකි රවි සෙනෙවිරත්න (හිටපු නියෝජ්‍ය පොලිස්පති) ශානි අබේසේකර (අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ) වැනි අය ජාජබයට සහාය දැක්වීම එජාපයේ නිර්දය දෝෂ දර්ශනයට ද ලක්ව තිබේ. ඒ හැර තවත් උසස් පොලිස් නිලධාරීන් (විශ්‍රාමික) රැසක්ම එම අවස්ථාවට එක්ව සිටියහ. ජාජබ නායක අනුර කුමාර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානියකුට නමින්ම චෝදනා කළේ තර්ජන ගර්ජන නවත්වන ලෙස පවසමින්ය. එජාප මහලේකම් රංගේබණ්ඩාර පැවසුවේ ද පොලිස් නිලධාරීන් මරා දැමූ ජවිපෙ සමග එක්වන්නේ කෙසේද යනුවෙනි.

 

ජාජබයේ ප්‍රබල විවේචකයන් නොව, එය බහුජන ස්වරූපය ගත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීම දරාගත නොහැකි පිරිසක් ද සිටිති. ජවිපෙ භීෂණ සමය වෙත යොමු වන ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලංකාවේ සිදුවන දේශපාලන වෙනස්කම් නොඉවසන්නෝය. ඇත්ත වසයෙන්ම මෙම සටහනේ මුලින් අප දැක්වූ මෝදි රැල්ල මෙල්ල වීම මෙරටේ ජනප්‍රිය දේශපාලන රැලිවලට අත්වූ ඉරණමට බෙහෙවින්ම සමාන වූවකි. ඉන්දියාවේ මෝදි ජාම බේරා ගත්තේ ඔහුගේ ප්‍රචාරක ජාලය නිසා බවද කියති. ඇත්තට ම ලංකාවේ රනිල් වෙනුවෙන් ද එබඳුම ප්‍රචාරක ජාලයක් ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරණය පිළිබඳ මතවාද පතුරුවා හරිනු ලබන්නේ ද එකී ජාලය විසිනි. එහෙත් ජනාධිපති රනිල්ට මෙන්ම පොදුජන පෙරමුණට ද සිය දේශපාලන අපේක්‍ෂා ක්‍ෂාත් ක්‍ෂාත් කර ගැනීම අද අභියෝගයක් වී තිබේ. සජබ – ජාජබ කේන්ද්‍ර කරගත් ජනතා ආකර්ෂණය ඔවුහු (රනිල් හා මහින්ද) දනිති. එපමණක් නොව, ලංකාවේ දේශපාලන බලය මෙතෙක් රඳවා ගත් සම්ප්‍රදායි ප්‍රභූ තන්ත්‍රයට තවදුරටත් එය රැකගත නොහැකි බවද ඔව්හු දනිති. ඔවුන්ට තිබෙන ඛේදජනක පරාජය වන්නේ සජබයටත් වඩා ජාජබයට ලැබිය හැකි ජයග්‍රහණයයි. ඉන්දියාව මෝදිට – ශ්‍රී ලංකාව කාට ද? යන්න ඒ ප්‍රභූ දේශපාලන පෙළැන්තිය ද පෙළන අතිශය පීඩාකාරී ප්‍රශ්නය වීම කවුරු කෙලෙස වළක්වත් ද?

 

@ගාමිණි සුමනසේකර

Divaina පුවත්පතෙන්

nalan mendis

නවතම ලිපි