(ප්‍රමිතියෙන් තොර බෙහෙත් නඩුව: 2026 ජූනි 09 දිනැති නඩු වාර්තාව ඇසුරින් කෙරෙන විශ්ලේෂණයකි)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ සහ රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ බරපතළම ඛේදවාචකයක් නිරූපණය කරන
ප්‍රමිතියෙන් තොර ඖෂධ (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්) ගෙන්වීමේ නඩුව මේ වන විට තීරණාත්මක අදියරකට එළඹෙමින් පවතී. ජූනි 09 වැනිදාට අදාළ නඩු විභාගයේදී, වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාර ගෙන් සිව්වන දිනටත් සාක්ෂි විමසීම සිදුවිය.
එදින අධිකරණ ක්‍රියාවලිය දෙස ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරහාගම ගේ සාක්ෂි ගොනු කිරීමේ උපායමාර්ගය තුළ පවතින පැහැදිලි ව්‍යුහාත්මක දුර්වලතා සහ ඊට එරෙහිව විත්තිය විසින් එල්ල කරන ලද තීරණාත්මක නෛතික ප්‍රහාරයන් ය.
දත්ත කියවීමේ ඒකාකාරී බව සහ විශ්ලේෂණාත්මක මඟහැරීම
පැමිණිල්ලේ මූලික අරමුණ වී තිබුණේ, හදිසි මිලදී ගැනීම් (Emergency Purchases) සිදු කරන අවස්ථාව වන විටත් ජාතික තලයේ මාස ගණනාවකට ප්‍රමාණවත් ඖෂධ තොග පැවති බව අධිකරණයට තහවුරු කිරීමයි. මේ සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය රස පරීක්ෂක වාර්තාවේ ඇති ඖෂධ වර්ග 50කට අධික සංඛ්‍යාවක් එකින් එක ගෙන සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරනු දක්නට ලැබිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
2023 පෙබරවාරි 2 දා බලන්න.
සාක්ෂිකරු:
ඒකක 147,879 ක් තිබිලා. එය මාස දහයකට ප්‍රමාණවත් තොගයක්...
මෙම කරුණු දැක්වීම් මඟින්, අවශ්‍යතාවයක් නොමැතිව කෘත්‍රිම හිඟයක් මවා ඖෂධ ගෙන්වා ඇති බව සනාථ කිරීමට පැමිණිල්ල උත්සාහ කළද, එය අතිශය වෙහෙසකර සහ කාලය නාස්ති කරන ක්‍රමවේදයක් බව පෙනී යයි. හුදු දත්ත කියවීමකින් ඔබ්බට ගොස්, මෙම අතිරික්ත තොග තිබියදීත් නව ඇනවුම් සඳහා අනුමැතිය දුන් ඉහළ නිලධාරීන්ගේ සෘජු වගවීම කුමක්ද යන්න මතු කරගැනීමට පැමිණිල්ල ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොමැත.
'අනනුමත' වෙනස්කම් සහ ආයතනික සිදුරු
නඩු විභාගයේදී මතුවන තවත් තීරණාත්මක කරුණක් වන්නේ 'ඕල්ටනේටිව් SR' (Alternative SR) නමැති ක්‍රමවේදය හරහා ඖෂධ ප්‍රමාණ සහ පිරිවිතරයන් (උදා: මි.ලී 3 වෙනුවට මි.ලී 5) ඖෂධ සමාලෝචන කමිටුවේ අනුමැතියකින් තොරව වෙනස් කිරීමට පද්ධතිය තුළම ඉඩ ලබා දී තිබීමයි. පැමිණිල්ල මෙම පද්ධතිමය සිදුර අනාවරණය කිරීම ප්‍රශංසනීය වුවද, මෙම විකල්ප අනුමැතීන් පිටුපස සිටි 'නොපෙනෙන හස්තයන්' වෙත ප්‍රශ්න කිරීම් තියුණු ලෙස මෙහෙයවීම තවදුරටත් අවශ්‍ය වේ.
මහා වංචාවේ හදවත ද නැතහොත් පද්ධතියේ මායාව ද?
මෙදින නඩු විභාගයේදී පැමිණිල්ල විසින් ගොඩනඟන ප්‍රධානතම කතිකාව වන්නේ 'Category V' යටතේ හදිසි ප්‍රසම්පාදන සිදු කිරීමට ඉහළින් ආ උපදෙස් සම්බන්ධයෙනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
...අලුත් ඇනවුම් දාන වෙලාවට කුමක්ද නොසලකා හරින්න කියන්නේ?
සාක්ෂිකරු:
ඒ වන විට අත ඇති තොග, පෙන්ඩින් ඇති තොග නොසලකා කටයුතු කරන්න කීවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
II යටතේ ඇති ලේඛනය ගැන ඔබට දී ඇති උපදෙස් සඳහන් කළ හැකිද?
සාක්ෂිකරු:
එසේය ස්වාමීනී, මෙතනදි හදිසි ප්‍රසම්පාදනයක් ලියාපදිංචිය නැති සැපයුම්කරුවන් හරහා කරන්න කිව්වා...
මෙම සාක්ෂිය ඔස්සේ පැමිණිල්ල අර්ථකථනය කිරීමට උත්සාහ කරන්නේ, ගබඩාවල හෝ පද්ධතියේ ඖෂධ තිබියදී ඒවා හිතාමතා "නොසලකා හැර", කෘත්‍රිම හිඟයක් මවා ලියාපදිංචිය නැති සැපයුම්කරුවන්ට වාසි ලබාදීමට අපරාධමය පූර්ව සැලසුමක් (Mens Rea) තිබූ බවයි.
එහෙත් මෙම තර්කය දෙස සමබරව බැලීමේදී, එකල රටේ පැවති බරපතළ විදේශ විනිමය අර්බුදය සහ සැබෑ ඖෂධ හිඟය අපට අමතක කළ නොහැක. පරිගණක පද්ධතියේ 'පෙන්ඩින් තොග' යැයි ඉලක්කම් පෙන්වුවද, ප්‍රායෝගිකව රෝහල්වල භෞතිකව ඖෂධ තිබුණේද යන්න විවෘත ප්‍රශ්නයකි. පැමිණිල්ලේ මෙම "පද්ධතිමය දත්ත" මත පදනම් වූ කතිකාවට දැවැන්තම සහ තීරණාත්මකම ප්‍රහාරය එල්ල වන්නේ මේ මොහොතේදීය.
විත්තියේ තීරණාත්මක ප්‍රහාරය: "ඇනවුම් තිබුණට ඉදිරියට ගිහින් නෑ"
පැමිණිල්ල විසින් දත්ත ලේඛන වැරදි ලෙස අර්ථකථනය කරමින් අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කරන බවට විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය. ඔහු පෙන්වා දෙන්නේ පද්ධතියේ පෙන්වන පැරණි ඇනවුම් කිසිදා ක්‍රියාත්මක නොවූ (Stagnant) ඒවා බවයි.
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ:
"එකම ඇනවුම බව පෙනී පෙනී මේ කියන්න උත්සාහ කරන්නේ 2023 ජනවාරි වනතුරු එකම ඇණවුමක් බව දැන දැන පැමිණිල්ලට ඇති අදහස ඉදිරිපත් කරනවා... 2022 සැප්තැම්බර් 22,500 ක් එන්න තියෙද්දි ජනවාරියෙත් 22,500 ක් එන්න තියනවා කියන්නයි හදන්නේ. 2022 ඕඩර් ලිස්ට් එක තිබුණට ඒක ඉදිරියට ගිහින් නැහැ. ප්‍රසම්පාදන කළ පසු ප්‍රසම්පාදන කමිටුව විසින් යළි මිලදී ගන්නා කරුණක් නැහැ. ගැනුම් ඇණවුමක් ඉදිරිපත් කර 2023 පර්චස් ඕඩර් එක හැදුවේ. ඒක පෙන්ඩින් ඕඩර්ස් නෙමෙයි. මේක කරුණු වැරදි ලෙස පෙන්වාදීමට උත්සාහ කිරීමක්."
මෙමගින් විත්තිය මනාව තහවුරු කරන්නේ, පැමිණිල්ල කෘත්‍රිම යැයි පවසන හිඟය, ඇත්ත වශයෙන්ම 2022 දී ලබා දුන් ඇනවුම් භෞතිකව නොලැබීම නිසා ඇති වූ සැබෑ හිඟයක් බවයි. "පවතින තොග සහ ඇනවුම් නොසලකා හරින්න" යැයි එදා අමාත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇත්තේ, පද්ධතියේ පෙන්වන එම පැරණි ඇනවුම් කිසිදා රටට නොලැබෙන බවට බලධාරීන්ට ප්‍රායෝගිකව අවබෝධ වී තිබූ නිසා ද යන සාධාරණ නෛතික සැකය මෙහිදී ප්‍රබලව මතු වේ.
මෙම බරපතළ චෝදනාව හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සිය ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්නේ පහත අයුරිනි:
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
"...ප්‍රොන්ටෝ system එකට 2022 සැප්තැම්බර් 24 දාපු ඇනවුම තවම පෙන්වනවා. ඒක SPC සභාපතිට යැව්වා. මම කළේ ඒක සාක්ෂි ලෙස ඉදිරිපත් කළ එකයි. 2023 ජනවාරි 12 V ඕඩර් එකක් දාලා තියෙනවා තව 22,500 කට."
මෙහිදී විනිසුරුවරයාගේ මැදිහත්වීම අතිශය සමබර සහ වෘත්තීය ස්වභාවයක් ගනී.
විනිසුරුවරයා:
"...පැමිණිල්ල සඳහන් කරන්නේ විරෝධතාවක් වුවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවන බවය. තවද එම කරුණ හේතුවෙන් සාක්ෂි මඟින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන විරෝධය පදනම් කරගෙන මෙම 00 643 ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් වීමට විත්තියට හැකි බවය."
ජූනි 09 නඩු විභාගය පැහැදිලි කරන්නේ, පැමිණිල්ල සතුව අතිශය ප්‍රබල තොරතුරු (අමාත්‍යවරයාගේ/ඉහළ නිලධාරීන්ගේ ලිඛිත උපදෙස් සහ අතිරික්ත තොග දත්ත) පැවතියද, ඒවා තර්කානුකූලව ගොනු කිරීමේදී යම් පසුබෑමක් දක්නට ලැබෙන බවයි. එකම ඇනවුම දෙකක් ලෙස පෙන්වීමට උත්සාහ කළා යැයි විත්තිය නඟන චෝදනාව සුළුපටු නොවේ; එය සමස්ත නඩුවේම පැමිණිල්ලේ සාක්ෂිවල විශ්වසනීයත්වයට එල්ල වූ දැවැන්ත පහරකි.
සුදු කරපටි අපරාධ ඔප්පු කිරීමේදී පැමිණිල්ල මීට වඩා සිය දත්ත, ලේඛන සහ ප්‍රසම්පාදන චක්‍රය පිළිබඳව තාක්ෂණික වශයෙන් නිවැරදි සහ සූක්ෂම විය යුතුය. එසේ නොවුණහොත්, කොපමණ "දත්ත කන්දක්" අධිකරණයට ඉදිරිපත් කළද, විත්තියේ තියුණු නීති තර්ක හරහා සැබෑ අපරාධකරුවන්ට ගැලවී යාමට ඇති ඉඩකඩ මෙම නඩු විභාගය තුළින්ම නිර්මාණය වනු ඇත. මහජන මුදල් සහ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල සිය නෛතික උපායමාර්ගයෙහි පිලිවෙලක් සහ මුවහත් කර ගැනීමක් කර ගත යුතුව තිබේ.
සම්පූර්ණ නඩු වාර්තාව පහතින්...
නඩු වාර්තාව
2026/06/09
බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුව ඊයේ (9) යළි විභාගයට ඇරඹුණු අවස්ථාවේ මුද්‍රා තබා අධිකරණයේ තැන්පත් කරනු ලැබූ රස පරීක්ෂක ඇතුළු කමිටුවේ වාර්තාව යළි ප්‍රදර්ශනය කරමින් එහි ඇති පැ 293, 294, 297 1A1 සහ 297 2A3 යන ලේඛනයන්හි දත්ත පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විසින් සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේෂ් බණ්ඩාරගෙන් සිව්වන දිනටත් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 293 හී සඳහන් 00902 901 අංකය හිමි අයිතමය බලන්න. එහි මාසික අවශ්‍යතාව කොපමණද?
සාක්ෂිකරු: 15,000 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහි ජාතික තලයේ තොග කොපමණ තිබී ඇතිද?
සාක්ෂිකරු: සැප්තැම්බර් 24 දා වන විට 4,278ක් සහ 26 වැනිදා වන විට 4,243 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ආයතන අතර හුවමාරුවේදී සමහර අවස්ථාවල සුළු වශයෙන් මේ අංක වෙනස් විය හැකි බව ඔබ කීවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැප්තැම්බර් 29 වන විට ප්‍රසම්පාදනයට පියවර ගන්නට පෙර තිබුණු තත්ත්වය කියන්න.
සාක්ෂිකරු: 30 වැනිදා වන විට 61,323 ක් තිබුණා. ඒ තොග ලැබීමෙන් විය යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මාස කීයකට එය ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු: මාස හතරකට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 01 200 201 අංකය බලන්න.
සාක්ෂිකරු: එහි මාසික අවශ්‍යතාවය 2,500 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022/09/24 හා 09/26 වන විට ජාතික තලයේ කොපමණ තිබුණද?
සාක්ෂිකරු: 24 වැනිදා වන විට 1,470 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇනවුම් ලැබීමෙන් පසු කොපමණ තිබුණද?
සාක්ෂිකරු: 30 වන විට 6,470 වෙලා තිබෙනවා තොග ලැබීම නිසා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය තව මාස කීයකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු: තවත් මාස දෙකහමාරකට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 293 හි 12 වන අයිතමය බලන්න. 00 201 103 අංකය ඇති එම ඖෂධයේ මාසික අවශ්‍යතාවය කොපමණද?
සාක්ෂිකරු: 1,500 ක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මාසික අවශ්‍යතාවය බැලුවම එම ප්‍රමාණය කොපමණ කලකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු: මාස හතරකට.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 01 200 201 අංකය බලන්න.
සාක්ෂිකරු: එහි මාසික අවශ්‍යතාවය 2,500 ක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 24 වන විට කොපමණ ප්‍රමාණයක් ජාතික තලයේ තිබුණාද?
සාක්ෂිකරු: 1,470 යි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇනවුම් ලැයිස්තු ඉදිරිපත් කළ දිනවල තිබුණේ කෙසේද?
සාක්ෂිකරු: 30 වැනිදා වන විට 6,470 වෙලා තොගයක් ලැබී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය මාස කීයකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු: එය මාස දෙකහමාරකට ප්‍රමාණවත්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 12 වන අයිතමය බලන්න එහි මාසික අවශ්‍යතාවය කොපමණද?
සාක්ෂිකරු: 1,500 යි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට ජාතික තලයේ තිබූ ප්‍රමාණය බලන්න.
සාක්ෂිකරු: 24 වන විට 2,299 ක්, 26 වන විට 2,249 ක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ තොගයට ඔක්තෝම්බර් වෙනකොට මොකද වෙලා තිබුණේ? බලන්න ඔක්තෝම්බර් 27 වැනිදා.
සාක්ෂිකරු: 27 වන විට 6,758 ක් වෙලා. එය මාස හතරකට ප්‍රමාණවත්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 293 හි 00 207 901 හි ඖෂධ බලන්න.
සාක්ෂිකරු: ඒකක 175,000 මාසික අවශ්‍යතාවයක් තිබෙනවා ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 24 හා 26 වැනිදා වන විට එහි ජාතික තලයේ කොපමණ තිබුණේද?
සාක්ෂිකරු: 24 වැනිදා 406,460 ක් හා 26 වැනිදා 390,760 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇනවුම දමද්දී කොපමණ කලකට තොග තිබී තිබෙනවාද?
සාක්ෂිකරු: මාස දෙකහමාරකට පමණ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇණවුම දමන්නේ සැප්තැම්බර් අවසානයේ. දෙසැම්බර් මුල වනතුරු තොග තිබී තිබෙනවා. 293 හි 00 502 001 එනම් 27 වන අංකයේ ඇති ඖෂධයේ මාසික අවශ්‍යතාවය කොපමණද?
සාක්ෂිකරු: 15,000 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම අයිතමයට අදාළව 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට ඇති තොග ප්‍රමාණය කොපමණද?
සාක්ෂිකරු: 24 වැනිදාට ඒකක 29,792 ක්, 26 වැනිදාට ඒකක 28,791 තිබිලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ජාතික තලයේ අවශ්‍යතාවය කොපමණ දුරට පිරිමැසෙනවාද?
සාක්ෂිකරු: මාස දෙකක් පමණ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2023 පෙබරවාරි 2 දා බලන්න.
සාක්ෂිකරු: ඒකක 147,879 ක් තිබිලා. එය මාස දහයකට ප්‍රමාණවත් තොගයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: සැප්තැම්බර් 20 බලද්දි නොවැම්බර් 20 වැනිදා දක්වා තොග තිබුණා. තව මාස දහයකට ඇනවූම් ලැබිලා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 00 801 201 අංකය ඇති 46 අයිතමය මාසික අවශ්‍යතාවය කොපමණද?
සාක්ෂිකරු: 250,000 පමණ වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 24 හා 26 වන විට කොපමණ තිබී තිබෙනවාද?
සාක්ෂිකරු: ඒකක 727,045 ක් තිබිලා ස්වාමීනී. මාස දෙකකට පමණ සෑහෙන ප්‍රමාණයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 47 අයිතමයේ මාසික අවශ්‍යතාවය 8,500 ක් පමණ නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 24 හා 26 වෙද්දි කොපමණ තිබිලාද?
සාක්ෂිකරු: 23,836 ක් ස්වාමීනී. එය මාස තුනකට ප්‍රමාණවත් ප්‍රමාණයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 48 වන අයිතමය බලන්න. එය මසකට ලක්ෂ 3ක අවශ්‍යතාවයක්.
සාක්ෂිකරු: එහි තොග සැප්තැම්බර් 24 වන විට ජාතික මට්ටමේ 122,900 ක් තිබිලා. එනම් සති දෙකකට ප්‍රමාණවත් ප්‍රමාණයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම අයිතමයට අදාලව ඔක්තෝම්බරයේදී දත්ත බලන්න.
සාක්ෂිකරු: 122,000 තිබූ තොගය ඔක්තෝම්බර් මාසයේදී 5,152,500 ක් වෙලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 00 403 101 අංකය ඇති ඖෂධය බලන්න.
සාක්ෂිකරු: එහි මාසික අවශ්‍යතාවය 275,000 ක්. සැප්තැම්බර් 24 වෙද්දි 7,671,090 ක් තිබිලා. එනම් මාස දෙකකට ප්‍රමාණවත් තොග.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: නොවැම්බර් වෙද්දි එහි තත්ත්වය කුමක්ද?
සාක්ෂිකරු: 2022 නොවැම්බර් 28 වෙද්දි පෙන්ඩින් ඕඩර්ස් ලැබිලා තියෙනවා. 11/27 වෙද්දි මිලියන 2.3 ක් වෙලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 61 වන ස්ථානයේ ඇති 01 204 802 ට ඔබේ අවධානය යොමු කරන්න.
සාක්ෂිකරු: එහි මාසික අවශ්‍යතාව 1,032 ක්. සැප්තැම්බර් 24 වනදා වන විට 5,128 ක් ලෙස සටහන්ව තිබෙනවා ස්වාමීනී. එය මාස දෙකකට ප්‍රමාණවත්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලැයිස්තුවේ 01 207 901 අංකය දරන, 67 වෙන ස්ථානයේ ඇති අයිතමයට ඔබේ අවධානය යොමු කරන්න. එහි මාසික අවශ්‍යතාවය 5,167 ක්. මෙහි මාසික වටිනාකම 5,167 ක්.
(අධිකරණයේ වෙනත් පාර්ශ්වයක මැදිහත්වීමක්) සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. එහි ගෙවා 7,410 ක් තිබෙනවා. ඒ අනුව දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණියා. ඒකෙ සටහන මේ ගොනුවේ එකඟතාවය යටතේ ගොනු කර තිබෙනවා.
විනිසුරු: 01 වන කරුණු ගොනුවෙහි, 69 වන පිටුවෙහි වන ප්‍රතිපාදන බැලුවාම.
පාර්ශ්වය (පා): එහි මුළු වටිනාකම 1,500,000 ක්. 2022 දෙසැම්බර් 24 වෙනි දින 15 ලක්ෂයක එකඟතාවයකට පැමිණියා, එය ඔප්පුවකට/ගිවිසුමකට ගෙනාවා.
විනිසුරු: 2023 ජනවාරි 31 ට ප්‍රථමයෙන් ගෙවිය යුතුයි.
පාර්ශ්වය (පා): 400,000 ක් තිබෙනවා, එය ගෙවා අවසන් කරන්න පුළුවන්.
විනිසුරු: ඔව් ඉහත 80% අයිතිය දුන් ලේඛනයේ 75% ක අයිතියක් ලබාදී තිබෙනවා මාසික වටිනාකම නොගෙවීම නිසා.
පාර්ශ්වය (පා): මාසිකව ගෙවන්න පොරොන්දු වුණා. බැංකුවට ගෙවිය යුතු මුදල පියවීමට ඒකෙන් 80,000 ක් පමණ තිබෙනවා. එය මාස 5 කින් ගෙවා නිමකරන්නම්.
(නැවත ප්‍රධාන සාක්ෂි විභාගය) නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 81 වන ස්ථානයේ ඇති ඖෂධය බලන්න.
සාක්ෂිකරු: එහි අගය වෙනස් වෙලා නැහැ. මාසික අගය 1,500 ක් වෙලා තියෙද්දි ජාතික තොගය ලෙස 15,000 තිබෙනවා. එහි මාසික අවශ්‍යතාව අනුව අඩුවී යා යුතු වුවත් එකම මට්ටමක තිබෙනවා. 2023 මාර්තු වෙද්දි 30,506 ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. තොග පැමිණීම නිසා කල්ඉකුත් වූ හෝ තත්ත්වයෙන් බාල ඖෂධ තොගයක් මෙහි පවතින බව පෙනෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 00 800 404 අංකය ඇති ඖෂධයේ මාසික අගය 1,250 ක් ලෙස සටහන්ව පවතිනවා. ඇනවුම් කළ සැප්තැම්බර් අවසානයේ කොපමණ පැවතියාද?
සාක්ෂිකරු: 2,287 ක්. එනම් මාස දෙකකට පමණ තොග තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: දෙසැම්බර් වෙද්දි මොකද වෙලා තියෙන්නේ?
සාක්ෂිකරු: දෙසැම්බර් 12 වන විට ඒකක 6,029 ක් වී තිබෙනවා.
මේ අන්දමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ ඇති ඖෂධ වලින් 50 කට අධික සංඛ්‍යාවක් නම් කරමින් ඒවා පිළිබඳ සාක්ෂි ලබා ගත්තාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕල්ටනේටිව් SR (Alternative SR) කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු: වට්ටෝරු සමාලෝචන කමිටුවේ අනුමත ඖෂධ ප්‍රසම්පාදනය සඳහා ඖෂධ සංස්ථාවට ලබා දෙන සමහර නිෂ්පාදන මිලි ලීටර් 5 - 10 වගේ ප්‍රමාණ වලින් තිබෙනවා. සමහර අවස්ථාවල පිරිවිතර පවතින්නේ මිලි ලීටර් 5 සඳහා. එහෙත් මිලි 5 සඳහා ලන්සු නොලැබුණොත් මි.ලී 10 පමණක් ඉදිරිපත් වී ඇතොත් ඒවා මිලදී ගන්නවා. එතකොට අපට අවශ්‍ය මි. ලී 5 වෙනුවට මි.ලී 10 ගන්න වෙන්නේ. ඒවා අනුමත කරගෙන ඇනවුම් ලබාදීම ඕල්ටනේටිව් SR ලෙස හඳුන්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මෙම වෙනස් පරිමාව සමහරවිට ඖෂධ සමාලෝචන කමිටුව අනුමත කර නැහැ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එවැනි අවස්ථාවක ඇණවුම ලබාදෙන්නේ කොහොමද?
සාක්ෂිකරු: ඇස්තමේන්තු ලබාගත් වට්ටෝරු සමාලෝචන කමිටුව අනුමත කළ එකට නැති තොග ගණනය කොට සකස් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එවැනි ඖෂධ කොපමණ තියෙනවද?
සාක්ෂිකරු: 10 ක් පමණ තියෙනවා ස්වාමීනී. පද්ධතියේ (System) ඒකට අනුමැතිය දෙන අවස්ථා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ආයතනික වශයෙන් ඊට අවස්ථාව ලබා දී ඇත්තේ කෙසේද?
සාක්ෂිකරු: පද්ධතියට ඒ සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. තොග පාලන නිලධාරීන්ට ඕඩර් ලිස්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. SPC එකට ඇනවූම යවන්න ඕන.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අධ්‍යක්ෂවරයාට, තොග පාලන නිලධාරි, තොග පාලක වෙන්ව එය බැලිය හැකිද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම තොග සකසන්නේ ඕල්ටනේටිව් SR යටතේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඕල්ටනේටිව් SR යටතේ මිලදීගෙන ඇති මි.ලී 5 ඖෂධය 137 වන ස්ථානයේ පවතින මි.ලී 3 වෙනුවට ගත් එකක්ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී, 137 හි තිබෙනවා අනුමත SR මි.ලී 3 වෙනුවට මි. ලී 5 ඇතුළත් කරගන්න අවස්ථාව.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පැ 293 හි අංක 138 හි SR අංකය ද, 188 යටතේ ඇති SR දෙක ගැනද ඔබට පැහැදිලි කළ හැකි වන්නේ ඉහත පැහැදිලි කිරීම් අනුවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. මීතයිල් පෙනිඩේට් ඖෂධය තිබුණේ අන්තරායකර ඖෂධ කැටගරිය යටතේ. පසුව එය වෙනස් වී පාලක ඖෂධ ලැයිස්තුවට ආවා. එතනදි අන්තරායකර ඖෂධ වලින් මිදුණත් යම් කාලයක් ඒ යටතේ තිබුණා. පාලක ඖෂධ පද්ධතියට ආවා. නව තොග අංකය යටතේ දැන් ලැබෙනවා. ඒ නිසා එහි තොග පෙන්වන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ 182 ලැයිස්තුව සැකසූ දිනයේම 2022 සැප්තැම්බර් 26 දිනට තවත් රාජකාරියක් කළා නේද?
සාක්ෂිකරු: ඔව්. අයිතම ප්‍රමාණය කීයද? SPC යවනවද කියන එක සහ මාසයකට අඩු ඖෂධ ඇති ඒවාත් ශල්‍ය අවශ්‍යතා සහ රසායනාගාර අඩු ඒවාත් ලැයිස්තුගත කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කවුද ඔබට කිව්වේ?
සාක්ෂිකරු: චන්දන විජේසිංහ වෛද්‍ය තුමා.
(මේ අවස්ථාවේ කැබිනට් පත්‍රිකාවට අමුණා ඇති ඉංග්‍රීසි පරිවර්තනය පැ 163 ලෙස නම් කිරීමට නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය උත්සහ කළ අවස්ථාවේ එම ඇමුණුම නම් කිරීම පිළිබඳව විත්තියේ නීතිඥවරු විරෝධය පළ කළහ.)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 58 ගොනුවේ 34 පිටුවේ ඇති ලේඛනය හඳුනා ගන්න.
සාක්ෂිකරු: මේ ලේඛනය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ. ඉදිරිපත් කරන්න 2022/09/22 ලිපිය අනුව SPC යවන්න සකස් කළ එකක්. මාසයකට ප්‍රමාණවත් නොවන ඖෂධ දාන්න එවූ ලැයිස්තුව තමයි මේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 260 ලේඛනය අනුව අයිතම 182 ක් සහිත ලේඛනය හැදුවේ එහි සාරාංශයක් තිබේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022 සැප්තැම්බර් 22 පැ 270 ලේඛනයේ උපදෙස් ලැබුණේද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මෙය හදිසි ප්‍රසම්පාදන සඳහා ඉදිරිපත් කර තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඔබ චන්දන විජේසිංහ වෛද්‍යවරයාගේ අත්සන දැක තිබේද?
සාක්ෂිකරු: ඔව් වැඩ බලන අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළා. එහි මාස දහයක් පමණ ඔහු සේවය කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඉන්පසු කවුද ආවේ?
සාක්ෂිකරු: වෛද්‍ය සුදර්ශන.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔහු කොපමණ කල් සිටියාද?
සාක්ෂිකරු: මාස දෙකක් පමණ. ඉන්පසු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා විදේශගතව සිට යළි පැමිණියා. ඔහු නැවත වැඩ භාරගත්තා.
(යළිත් එම කැබිනට් පත්‍රිකාවේ ඉංග්‍රීසි පරිවර්තනය පැ 163 ලෙස නම් කිරීම පිළිබඳව 8 වන චූදිතගේ නීතිඥ විරෝධය පළ කරයි. ඒ අනුව එහි සිංහල පිටපත පැ 304 ලෙස නම් කරනු ලබයි)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔබ පෙර කිව්වා තොග හිඟය හඳුනාගත් බව.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 71 ගොනුවේ 2022/11/01 ලෙස ඇති ලිපිය කෙරෙහි අවධානය යොමු කරන්න. මේ ලිපිය ඔබට හඳුනාගත හැකිද? මේක කොතනට ආ ලියුමක්ද?
සාක්ෂිකරු: තොග පාලන අංශයට හේරත් මහතා විසින් එවන ලද එකක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2022/11/01 දිනයේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, තොග පාලන අංශයේ සිටින අධ්‍යක්ෂවරු වෙතද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: දකුණු පස ඇති අත් අකුරු කාගෙද?
සාක්ෂිකරු: සොලමන්ස් මහත්මියගේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මෙම පැ 305 යටතේ රෝම ඉලක්කම් I හා II යටතේ ඇති අමාත්‍ය මණ්ඩල සංදේශ ගැන පුද්ගලිකව දන්නවාද?
සාක්ෂිකරු: නැත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: II යටතේ ඇති ලේඛනය ගැන ඔබට දී ඇති උපදෙස් සඳහන් කළ හැකිද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී, මෙතනදි හදිසි ප්‍රසම්පාදනයක් ලියාපදිංචිය නැති සැපයුම්කරුවන් හරහා කරන්න කිව්වා. අතිරේක ලේකම් වෙත අමාත්‍යතුමාගෙන් ලැබුණු බව එම ලිපිය තුළ සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මම අහන්නේ II ගැන නොව 2 ගැනයි.
සාක්ෂිකරු: එහි කියා ඇත්තේ SPC එකට V කේතය යටතේ ඇනවුම් ලබාදීම ගැනයි. මාස තුනක් සඳහා අවශ්‍ය ප්‍රමාණ ඇනවුම් ක්‍රියාත්මක කරන ලෙස කියා තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයීම් අංශය විසින් ඖෂධ 184 කට අදාළව අභිලාෂ කැඳවන ප්‍රසම්පාදන ගැන දැනුවත්ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: රෝම ඉලක්කම් II යටතේ කැබිනට් පත්‍රිකාවක් දමන්න ගත් තීරණය ගැන දැනුවත්ද?
සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මේ ලිපියේ ඇති අංක 2ට යන්න. 1 යටතේ ඇනවුම් ක්‍රියේට් කරන්න තියෙනවා. ඔබ අධිකරණයට සාක්ෂි දුන්න අන්දමින් SPC ඇනවුම් ගැන දැනුවත්ව සිටිනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 303 යටතේ ඔබ සාක්ෂි දුන්නා. 2022 නොවැම්බර් 01 වන විට V කැටගරියේ ඇනවුම් ද තිබුණේ 303 ක්.
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය ලිපියක් "හෝ" කියා තැනක තිබෙනවා.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ පරීක්ෂා කළ ලේඛනය හා 305 යටතේ ඇති ලේඛනයේ යොමු අංකය සමානද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබලාට 7 චූදිත උපදෙස් දීල තිබුණද V කැටගරිය යටතේ, නැත්නම් EO 1 වලට යටත්ව ඇනවුම් දමන්න කියා. අලුත් ඇනවුම් දාන වෙලාවට කුමක්ද නොසලකා හරින්න කියන්නේ?
සාක්ෂිකරු: ඒ වන විට අත ඇති තොග, පෙන්ඩින් ඇති තොග නොසලකා කටයුතු කරන්න කීවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහෙම නැත්නම් SPC V ඕඩර්ස් වලට යවන ඇනවුම් MSD V කියලා යවන්න කිව්වද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: මම අහන්නේ MSD ලෝකල් සප්ලයර්ස් කියලා නේද කිව්වේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඒ යටතේ දාගන්න කිව්වනේ V කැටගරි එකක්.
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලියුමේ පසුපස ඇති පළමු ඡේදය බලන්න. එහි අන්සොලිටඩ් අයිතම ගැන සඳහන්. එය 3 ඡේදයට වැඩිමනක් උපදෙස් දීමක්ද?
සාක්ෂිකරු: ඔව්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අවසන් ඡේදයේ ඊට අමතරව සඳහන් කර ඇත්තේ කුමක්ද?
සාක්ෂිකරු: පරිගණක පද්ධතිය හරහා ඕඩරය සකසා Hard copy එකක් දෙන්න කියලයි.
(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කරගෙන යද්දී වැරදි පදනමක් මත ප්‍රශ්න කරන බවට යලිත් විත්ති පාර්ශ්වයේ නීතිඥවරු චෝදනා කළහ.) විත්තියේ නීතිඥ අසේල සේරසිංහ: පැ 291 හි 2023/MSD/R/D/643 කියන අංකය යටතේ පැ 325 කියා මිනිට් සටහන් පෙන්වමින් ඇනවුම් ලෙස ප්‍රශ්න කරනවා. 299 ලේඛනයේ පැ 308 හි මිනිට් එකම පැ 172 ගොනුවේදීත් පෙන්වන්නේ. එකම ඇනවුම බව පෙනී පෙනී මේ කියන්න උත්සාහ කරන්නේ 2023 ජනවාරි වනතුරු එකම ඇණවුමක් බව දැන දැන පැමිණිල්ලට ඇති අදහස ඉදිරිපත් කරනවා. මෙය නඩුවේ හරයටම යන දෙයක්. 2022 සැප්තැම්බර් 22,500 ක් එන්න තියෙද්දි ජනවාරියෙත් 22,500 ක් එන්න තියනවා කියන්නයි හදන්නේ.
2022 ඕඩර් ලිස්ට් එක තිබුණට ඒක ඉදිරියට ගිහින් නැහැ. ප්‍රසම්පාදන කළ පසු ප්‍රසම්පාදන කමිටුව විසින් යළි මිලදී ගන්නා කරුණක් නැහැ. ගැනුම් ඇණවුමක් ඉදිරිපත් කර 2023 පර්චස් ඕඩර් එක හැදුවේ. ඒක පෙන්ඩින් ඕඩර්ස් නෙමෙයි. මේක කරුණු වැරදි ලෙස පෙන්වාදීමට උත්සාහ කිරීමක්. එම ප්‍රශ්නය යොමු කිරීමම වැරදියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 3 වන චූදිත තැනැත්තිය 22,500 ක් ඇතුල් කර තිබෙනවා. මම ඒක ඉදිරිපත් කළා. 2 චූදිත වෙනුවෙන් කියනවා පැ 173 ට අනුරූපව හදපු එකක් කියලා. ප්‍රොන්ටෝ system එකට 2022 සැප්තැම්බර් 24 දාපු ඇනවුම තවම පෙන්වනවා. ඒක SPC සභාපතිට යැව්වා. මම කළේ ඒක සාක්ෂි ලෙස ඉදිරිපත් කළ එකයි. 2023 ජනවාරි 12 V ඕඩර් එකක් දාලා තියෙනවා තව 22,500 කට.
නීතිඥ: මගේ උගත් මිතුරිය එක ඇණවුමක් දෙකක් කරන්න හදනවා.
විනිසුරුවරයා: මෙම විත්තිය මඟින් අධිකරණයට පෙන්වා දෙන්නේ 00 643 ඇණවුම පැ 308 I ට ඇතුලත් කිරීම වැරදි සහගත බවයි. පැමිණිල්ල සඳහන් කරන්නේ විරෝධතාවක් වුවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවන බවය. තවද එම කරුණ හේතුවෙන් සාක්ෂි මඟින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන විරෝධය පදනම් කරගෙන මෙම 00 643 ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් වීමට විත්තියට හැකි බවය.
නඩුව වැඩිදුර විභාගය ජුනි 10 දිනට කල් තැබිණි. තවදුරටත් එම සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිතය.

