ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ
රඳවා සිටින, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවේදී සැබවින්ම වදහිංසාවලට භාජනය වී තිබේද නැද්ද යන්න විද්‍යාත්මකව පරීක්ෂා කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝග කළේ, සැකකරු පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් (Multidisciplinary Medical Board) වෙත ඉදිරිපත් කර වහාම වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසයි.
"කෲර වදහිංසා සිදු වූ බවට උසාවිය තීන්දු කර නැහැ"
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා විශේෂ කරුණක් අවධාරණය කළේය. සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මීට පෙර ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තාවේ "වදහිංසා" පිළිබඳ සඳහන් වුවද, සැකකරු කෲර වදහිංසාවලට ලක් වූ බවට මෙම අධිකරණයේ පූර්වගාමී විනිසුරුවරයා (කලින් සිටි මහේස්ත්‍රාත්වරයා) කිසිදු ස්ථාවර තීන්දුවක් හෝ නිගමනයක් ලබා දී නොමැති බව විනිසුරුවරයා මෙහිදී පැහැදිලි කළේය.
එබැවින් අධිකරණය පෙන්වා දුන්නේ දෙපාර්ශවයේම කරුණු දැක්වීම්වල සත්‍ය අසත්‍යතාවය වෘත්තීය මට්ටමකින් තහවුරු කරගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරන බවයි.
සලේගේ පාර්ශවය:
"මානුෂීය අයිතිවාසිකම් සහ මූලික හිමිකම් උල්ලංඡනය වීමක් සිදු කර ඇත."
CIDය පාර්ශ්වය (අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්):
"මෙය උසාවිය නොමඟ යැවීම සඳහා සිදු කරන රංගනයකි."
පරීක්ෂණය කළුබෝවිල රෝහලට!
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මෙම විශේෂ වෛද්‍ය පරීක්ෂණය සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත (කළුබෝවිල රෝහල) ඉදිරිපත් කළ යුතු වේ. කළුබෝවිල රෝහල යනු වත්මන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම රෝහලේ අධ්‍යක්ෂ ලෙස පරිපාලනය කෙරුණු රෝහලකි.
අධිකරණය විසින් පත් කරන ලද නව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය මෙසේය:
| විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් | සභාපති |
| විශේෂඥ වෛද්‍ය චිත්තාහරි අබේනායක | සාමාජික |
| විශේෂඥ වෛද්‍ය දසන්ති අක්මීන | සාමාජික |
| විශේෂඥ වෛද්‍ය දුලෙයිකා අමරසිංහ | සාමාජික |
| විශේෂඥ වෛද්‍ය වජිර ධර්මවර්ධන | සාමාජික |
මෙම මණ්ඩලයට පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ සැකකරු පූර්ණ කෘෘර වදහිංසාවට ලක්වී තිබේද, ඔහුගේ වත්මන් මානසික සෞඛ්‍ය තත්ත්වය සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් පවතීද යන්න අපක්ෂපාතීව විමර්ශනය කිරීමයි.
මෙහිදී පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය විසින් සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පුළුල් නිරීක්ෂණයක යෙදිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකි:
-
මානසික තත්ත්වය: දැනට පසුවන බව කියන "මධ්‍යස්ථ-දරුණු විශාදමය තත්ත්වය" (Moderate to Severe Depressive Episode).
-
පශ්චාත් කම්පන ආතතිය: පශ්චාත් කම්පන ආතති ආබාධය (PTSD) පිළිබඳ තක්සේරුව.
-
ශාරීරික අවදානම: ඔහු සිදු කරන මාරාන්තික උපවාසය (Fast-unto-death) හේතුවෙන් ශරීරයේ සිදු වන "මස්පිඬු දියවීමේ අවදානම" (Muscle Wasting).
මෙම විශේෂඥ වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත්වරයා, නඩුව නැවත විභාග කිරීම එළඹෙන ජූලි මස 01 වැනිදා දක්වා කල් තැබීය.
දේශපාලන පොර පිටියේ ඊළඟ සටන
මෙම නීතිමය ක්‍රියාවලියට සමගාමීව දේශපාලනමය වශයෙන්ද දැඩි උණුසුම් වටපිටාවක් නිර්මාණය වී ඇත. දැනට මෙම සිදුවීම දෙස පාර්ශවයන් බලන්නේ එකිනෙකට වෙනස් කෝණවලිනි.
විපක්ෂය සහ මානව හිමිකම් සංවිධාන
ඔවුන් පෙනී සිටින්නේ රැඳවියෙකුගේ ජීවත්වීමේ අයිතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය (වදහිංසාවලින් නිදහස් වීමේ අයිතිය) වෙනුවෙනි.
ආණ්ඩුව පාර්ශවය
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන්, දේශපාලන බලපෑම්වලින් තොරව සැබෑ සාක්ෂි (Grid දත්ත සහ හමුදා ඔත්තුකරුවන්ගේ කටඋත්තර) මත කෙරෙන විමර්ශනය සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරයි.
අධිකරණය විසින් ලබා දුන් මෙම ස්වාධීන නියෝගයත් සමඟ, සලේ දඩයම දේශපාලන නාටකයක්ද නැතහොත් සැබෑ අපරාධ විමර්ශනයක්ද යන්න තීරණය කිරීමේ බෝලය දැන් කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අතට පත්ව තිබේ. ජූලි 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් වන එම රහසිගත වෛද්‍ය වාර්තාව මෙරට ආරක්ෂක සහ දේශපාලන ක්ෂේත්‍රයේ ඊළඟ තීන්දුව ලියනු ඇතැයි දේශපාලන විචාරකයෝ විශ්වාස කරති.

