SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රංග දිසානායකගේ බාප්පාගේ නඩුවෙන් හෙළිවන ලාංකීය අධිකරණයේ සැබෑ ස්වරූපය!

 

 

ශ්‍රී ලංකාවේ යුක්තියේ දෙවඟනගේ දෑස් බැඳ ඇත්තේ අපක්ෂපාතීත්වය වෙනුවෙන් පමණක්ද?

නැතහොත් දශක ගණනාවක් පුරා ගෙවී යන කඳුළු සහ කාලය නොදකිනු පිණිසද? ලාංකීය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය දෙස බලන විට නැගෙන ප්‍රබලතම දේශපාලන සහ සමාජීය ගැටලුව එයයි. නීතිය කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද සමාන බව සැබෑවකි. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක වීමට ගතවන කාලය විසින් මිනිසෙකුගේ සමස්ත ජීවිතයම බිලිගන්නේ නම්, එහිදී ඉටුවන යුක්තිය කුමක්ද?

 

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ (CIABOC) වත්මන් අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම මහාධිකරණ විනිසුරුවරයෙකුද වන රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක ගේ පියාගේ බාල සොහොයුරා (බාප්පා) වන අබේවික්‍රම දිසානායක පියදාස නමැත්තාට එරෙහි නඩුව මෙකී ඛේදවාචකය කියවා ගැනීමට ඇති කදිම කැඩපතකි. රංග දිසානායක වැනි ප්‍රබල නීතිමය පසුබිමක් ඇති පවුලක සාමාජිකයෙකුට වුවද, ලාංකීය අධිකරණ පද්ධතියේ 'කාලය නමැති මර උගුලෙන්' ගැලවීමට නොහැකි වී ඇත.

 

 

සිදුවීම වාර්තා වන්නේ මීට දශක දෙකකටත් පෙර, එනම් 2003 වසරේදීය.

ගම්පහ දික්කන්ද වතුයායේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පියදාස, තම අනියම් සබඳතාවක් සම්බන්ධයෙන් දිගින් දිගටම කටකතා පැතිරවූ එම වතුයායේම සේවය කළ හපුආරච්චිගේ ජයසේන නමැත්තාව 2003 ජූලි 30 වන දින හදිසි කෝපය මත පිහියකින් ඇන ඝාතනය කළේය. අපරාධය සිදු වූ වහාම ඔහු ආයුධයද සහිතව පොලිසියට භාර විය. එහෙත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ (HC/20/2005) තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට වසර 21ක් ගත විය.

 

 

 

2024 ජනවාරි 05 වන දින ලබා දුන් එම තීන්දුවෙන්, වයස අවුරුදු 72ක වියපත් මිනිසෙකු බවට පත්ව සිටි චූදිතයාට වසර 14ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි. කෙසේ වෙතත්, මෑතකදී (2025 සැප්තැම්බර් 01) අභියාචනාධිකරණය විසින් (CA/HCC/0117/2024) එම දඬුවම වසර 04ක් දක්වා අඩු කරන ලදී. ඒ, අදාළ ඝාතනය පෙර සැලසුම් කළ එකක් නොවීමත්, අඛණ්ඩ ප්‍රකෝප කිරීම් හමුවේ වූවක් වීමත් (Grave and Sudden Provocation) මෙන්ම, වසර 21ක් පුරා ඔහු වින්ද මානසික පීඩනයත් සැලකිල්ලට ගනිමිනි.

 

 

මෙහිදී අප මතු කළ යුතු දාර්ශනික ගැටලුව වන්නේ මෙයයි. නීතිය විසින් දඬුවම් නියම කිරීමට පෙර, මේ මිනිසා වසර 21ක් පුරා ගෙවා ඇති 'මනෝවිද්‍යාත්මක දඬුවම' කුමක්ද?

 

In Discipline and Punish, Michel Foucault explores how the ...

 

ප්‍රංශ දාර්ශනික මිෂෙල් ෆූකෝ (Michel Foucault) සිය 'Discipline and Punish' (සුපරීක්ෂණය සහ දඬුවම) කෘතියේදී නූතන දඬුවම් ක්‍රමයේ ස්වභාවය විග්‍රහ කරමින් ප්‍රබල න්‍යායික අදහසක් මතු කරයි.

 

ෆූකෝට අනුව,

 

"පුද්ගලයෙකු සැබෑ අපරාධකරුවෙකු වන්නේ ඔහු එම අපරාධය සිදුකරන නිශ්චිත මොහොතේදී පමණි. ඉන්පසු එළඹෙන නිමේෂයේදී ඔහු ඒ පිළිබඳව පශ්චාත්තාප වන්නේ නම්, ආත්මීය වශයෙන් ඔහු තවදුරටත් අපරාධකරුවෙකු නොවන අතර ඔහු අහිංසකයෙකි."

 

 

එහෙත්, නූතන නීති පද්ධතිය පුද්ගලයාගේ මෙම අභ්‍යන්තර පරිවර්තනය පිළිගැනීමට සූදානම් නැත. ඒ වෙනුවට එය සිදු කරන්නේ, ඒ මොහොතේ සිදු වූ ක්‍රියාව මත පදනම්ව පුද්ගලයාට යාවජීව 'අපරාධකාරී' ලේබලයක් අලවමින් ඔහුගේ සමස්ත ජීවිතයම අර එක් අඳුරු මොහොතක සිරකර තැබීමයි.

 

 

ෆූකෝ වැඩිදුරටත් පවසන පරිදි "ආත්මය යනු ශරීරයේ සිරගෙයයි" (The soul is the prison of the body). අපරාධකරුවාගේ ශරීරය සිරමැදිරියකට යැවීමටත් පෙර, නිරන්තර වරදකාරීත්වය සහ සුපරීක්ෂණය හරහා නීතිය විසින් ඔහුගේ මනස සිරගත කරනු ලබයි. වසර 21ක් පුරා තීන්දුවක් අපේක්ෂාවෙන් සිටින මිනිසෙකු, සමාජය තුළ නිදහසේ ඇවිද ගියද, ඔහු සැබැවින්ම ජීවත් වන්නේ තමාගේම මනස නමැති සිරමැදිරියකය. ඔහු සෑම දිනකම අවදි වන්නේත්, නින්දට යන්නේත් දඬුවමේ සෙවනැල්ල යටය. වසර විස්සකට පසු අධිකරණය විසින් ඔහුට වසර 14ක හෝ 4ක දඬුවමක් නියම කරන විට, ඔහු සිය තරුණ වියද, ජීවිතයේ වටිනාම දශක දෙකක කාලයද පශ්චාත්තාපයෙන් දැවෙමින් මානසික සිරකරුවෙකු ලෙස ගෙවා අවසන්ය.

 

 Michel Foucault quote: The soul is the prison of the body. Sticker

 

රංග දිසානායකගේ බාප්පාගේ කතාව හුදෙකලා සිදුවීමක් නොවේ. එය දහස් ගණනක් වූ ලාංකිකයන්ගේ ඉරණමයි. අද වන විට බන්ධනාගාර තුළ සිරදඬුවම් නියම වූවන්ට වඩා ඈත කෙළවරක් නොපෙනෙන නඩු විභාගයන්හි තීන්දුවක් අපේක්ෂාවෙන් පසුවන පිරිස් රඳවා සිටීමෙන් පෙනී යන්නේ කුමක්ද? නඩු ගොඩගැසී, පද්ධතිය අඩපණ වී ඇති පසුබිමක, අධිකරණ ක්‍රියාවලිය විසින්ම මිනිසුන්ට නීතියේ සඳහන් නොවන අමතර 'කාලයේ දඬුවමක්' ලබා දෙමින් සිටී.

 

 

වයස අවුරුදු 72ක් වූ, ආයු අපේක්ෂාව අනුව ජීවිතයේ සැඳෑ සමයේ අවසන් අදියරේ සිටින මේ වයෝවෘද්ධ මිනිසාට නිදහසේ තම නිවසකදී මියයාමට අයිතියක් තිබිය යුතුය. මන්ද, නීතිය ක්‍රියාත්මක වීමට පෙර කාලය විසින් ඔහුගෙන් අය කරගත හැකි උපරිම වන්දිය අයකරගෙන අවසන් බැවිනි. ප්‍රමාද වූ යුක්තිය යනු අයුක්තියක් පමණක් නොව, එය රාජ්‍යය විසින් පුරවැසියා මත පටවනු ලබන වධහිංසාවකි. අප මේ කතා කරන්නේ එක් මිනිසෙකුගේ නඩු තීන්දුවක් ගැන පමණක් නොව, කඩිනම් ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු සමස්ත පද්ධතියකම ඛේදවාචකය ගැනය.

 

 

අද වන විට අධිකරණයන්හි නඩු කඳුගැසී ඇත. බන්ධනාගාර රැඳවියන්ගෙන් පිරී ඉතිරී ගොස්ය. නඩු ප්‍රමාදය සහ බන්ධනාගාර තදබදය මැද, සුළු වරදකට හෝ සැකපිට හිරේට යන මිනිසෙකු වසර ගණනාවකට පසු ඉන් එළියට එන්නේ කවරෙකු වීද? ඔහු යථා තත්ත්වයට පත් වූ පුරවැසියෙකු වෙනුවට වඩාත් දරුණු අපරාධකරුවෙකු වීමට ඇති ඉඩකඩ බොහෝය. මෙවන් පසුබිමක, අපට සැබවින්ම ආඩම්බර විය හැකි අධිකරණ පද්ධතියක් හෝ බන්ධනාගාර ක්‍රමවේදයක් තිබේද යන්න සමස්ත සමාජයම තමන්ගෙන්ම අසාගත යුතු දැවෙන ප්‍රශ්නයකි.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි