පාරිභෝගිකයා ගෙවන මුදලට සරිලන බරින් යුත් පාන් ගෙඩියක් ඔවුන්ට හිමිවන්නේද යන්න
අද වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. නියමිත බරට වඩා අඩු පාන් අලෙවි කිරීම සහ මිල ගණන් මෙන්ම බර නිසි පරිදි ප්‍රදර්ශනය නොකිරීමේ නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල දිවයින පුරා දැවැන්ත බේකරි සහ වෙළෙඳසැල් වැටලීම් මාලාවක් දියත් කර ඇත.
මෑතකදී සිදුකළ විශේෂ මෙහෙයුමක දත්ත විමසා බැලීමේදී මෙම තත්ත්වයේ බරපතළකම මනාව පැහැදිලි වේ. පරීක්ෂාවට ලක් කළ වෙළෙඳසැල් සහ බේකරි 107ක් (මීට බේකරි 71ක් ඇතුළත් ය) අතුරින් ස්ථාන 35කම නියමිත බරට වඩා අඩු පාන් අලෙවි කර ඇති බව තහවුරු විය. එපමණක් නොව, ආයතන 85ක් පාන්වල බර ප්‍රදර්ශනය කිරීම පැහැර හැර ඇති අතර, තවත් ආයතන 55ක් මිල ප්‍රදර්ශනය කර නොතිබීම තුළින් පෙනී යන්නේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණයයි.
මෙය හුදකලා සිදුවීමක් නොවන බව පසුගිය දත්ත මගින් ද තහවුරු වේ. සැප්තැම්බර් 1 සිට 3 දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී ද ස්ථාන 118ක් (බේකරි 81ක් ඇතුළුව) පරීක්ෂා කෙරුණු අතර, එහිදී ද බර අඩු පාන් අලෙවි කළ අවස්ථා 54ක් අනාවරණය විය. ඒ අනුව මෙම මෙහෙයුම් දෙකෙහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස ස්ථාන 225ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, බර අඩු පාන් අලෙවි කළ අවස්ථා 89ක් සොයාගෙන ඇත. මෙයින් ගම්‍ය වන්නේ පාරිභෝගික සූරාකෑම වෙළෙඳපොළ තුළ කෙතරම් සුලභ වී ඇත්ද යන්නයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, අදාළ අඩු බර පාන් නිෂ්පාදනය කළ මුල් බේකරි දක්වාම පසු විපරම් විමර්ශන සිදු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබීම කාලෝචිත පියවරකි. වරදකරුවන්ට එරෙහිව කඩිනම් නිවැරදි කිරීමේ පියවර ගැනීමට බල කිරීම සහ ප්‍රමාණවත් සාක්ෂි ඇති අවස්ථාවලදී අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හරහා නීතිමය පියවර ගැනීම අනිවාර්ය වේ. පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරන වෙළෙඳුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, මෙම වැටලීම් සහ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අධිකාරිය දැඩිව අවධාරණය කරයි.

