පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර බන්ධනාගාරය තුළදී
ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා කෙරෙහි සිය අවධානය යොමු කරමින්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් විසින් මෙම ලිපිය යොමු කරමින් අවධාරණය කර ඇත්තේ, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර, උන්වහන්සේට සිවුරෙන්ම පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
සංඝ සභාවේ නිවේදනය
උන්වහන්සේගේ හිමිකම් සහ ශාසනික නීති රීති පැහැදිලි කරමින් සංඝ සභාව බන්ධනාගාරයට යැවූ ලිපියෙහි මෙසේ සඳහන් වේ.

"ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක් ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා වී නොමැත. ශාසනික වශයෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමකි."
එමෙන්ම, අධිකරණය මගින් ලබාදී ඇති තීන්දුව හෝ අධිකරණයේ උත්තරීතරභාවය පිළිබඳව කිසිදු විරෝධයක් තමන් වහන්සේලා නොදක්වන බවද අනුනායක හිමියන් මෙහිදී පෙන්වා දී ඇත. එහෙත්, හුදෙක් බන්ධනාගාරය තුළදී උන්වහන්සේගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පමණක් සිය දැඩි අවධානය යොමුව ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

