මෙරට රාජ්‍ය පරිපාලන ව්‍යුහය, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය, අද වන විට
බරපතළ ඛේදවාචකයකට මුහුණ දී සිටී. ඒ අන් කිසිවක් නොව, පරිපාලකයන් තීරණ ගැනීමේ වගකීමෙන් පලා යමින් 'චක්‍රලේඛ' නමැති කඩදාසි පළිහ පිටුපස සැඟවීමයි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වන චක්‍රලේඛවල ආකෘතිය සහ අකුරු ඒකාකාරීව කොපි කරමින්, ප්‍රායෝගික මහපොළොවේ කිසිදු රාජකාරියක් ඉටු නොකරන නිලධාරීවාදයක් පද්ධතිය තුළ මුල් බැසගෙන ඇත.
මෙවන් පසුබිමක, සම්ප්‍රදායික යාන්ත්‍රික අධ්‍යාපනය සහ චක්‍රලේඛ මත යැපෙන මානසිකත්වය ප්‍රශ්න කරමින්, දරුවන් වෙනුවෙන් නිර්මාණශීලී භාවිතාවන් ක්‍රියාවට නැංවූ අපූර්ව රාජ්‍ය නිලධාරියෙකු පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ “ගුරු ප්‍රතිභා ප්‍රභා 2026” ඇගයීම් උළෙලේදී දකුණු පළාතේ, හම්බන්තොට අධ්‍යාපන කලාපයේ විශිෂ්ටතම විදුහල්පතිවරයා (Principal of the Year) ලෙස ඇගයීමට ලක්වූ හම්බන්තොට ඉක්රා ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එම්. ඉසෙඩ්. එම්. ඉර්ෆාන් විසින් පරිපාලනමය ක්‍රියාකලාපය, සමස්ත රාජ්‍ය සේවයටම සපයන්නේ ප්‍රබල ආදර්ශයකි.

සම්ප්‍රදායික අධ්‍යාපනයේ යාන්ත්‍රික බව සහ විදුහල්පතිවරයාගේ නිර්මාණශීලී මැදිහත්වීම
සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය විසින් අද වන විට දරුවා හුදෙක් විභාග සමත් වන, කටපාඩම් කරන යන්ත්‍රයක් බවට පත් කර ඇත. සමාජ සංවේදීතාවක් නොමැති, පොතපතට පමණක් සිරවූ ඊනියා අධ්‍යාපනික ආකෘතියක් තුළින් පූර්ණ මිනිසෙකු නිර්මාණය කළ නොහැක. ඉර්ෆාන් විදුහල්පතිවරයාගේ පරිපාලනය තුළ දක්නට ලැබෙන ප්‍රබලතම ලක්ෂණය වන්නේ මේ සම්ප්‍රදායික රාමුවට එරෙහිව ඔහු යෙදූ නිර්මාණශීලී භාවිතාවන් ය.
විශේෂයෙන්ම, විභාග ප්‍රතිශත ඉහළ නංවාගෙන ජනප්‍රිය වීමේ තරගයක යෙදෙන පාසල් සංස්කෘතියක් තුළ, සමාජයෙන් කොන් වීමේ අවදානමක් ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දකුණු පළාතේ දෙමළ මාධ්‍ය විශේෂ අධ්‍යාපන ඒකකයක් තම පාසල තුළ ස්ථාපිත කිරීමට ඔහු පියවර ගත්තේය. මෙය චක්‍රලේඛයකින් බලකරන තෙක් සිටිය යුතු කටයුත්තක් නොව, අධ්‍යාපන පරිපාලකයෙකු සතු මානුෂීය වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමකි.
භෞතික සම්පත් ඌනතාවට එරෙහිව ප්‍රජා සහභාගීත්වය යොදාගැනීම
“අමාත්‍යාංශයෙන් මුදල් ලැබී නැහැ”, “ප්‍රතිපාදන වෙන්කර නැහැ” යන්න අද බොහෝ නිලධාරීන්ගේ නිත්‍ය නිදහසට කරුණකි. එහෙත්, රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රමාදයන් හමුවේ දරුවන්ගේ අනාගතය ප්‍රමාද කළ නොහැකි බව ඉර්ෆාන් මහතා අවබෝධ කරගෙන සිටියේය. ඒ අනුව, සම්ප්‍රදායික මූල්‍ය ප්‍රතිපාදන මතම යැපෙනවා වෙනුවට, දෙමාපියන් සහ ප්‍රදේශයේ ප්‍රජාව පාසල වටා ගොඩනගමින් පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔහු සමත් විය.
ග්‍රාමීය දරුවන්ට ඉංග්‍රීසි භාෂාව අසීරුය යන යල්පැනගිය මතය බිඳ දමමින්, හම්බන්තොට කලාපයේ හොඳම ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරය (English Activity Room) නිර්මාණය කිරීම මෙන්ම, පන්ති කාමරයේ කොන්ක්‍රීට් බිත්තිවලින් ඔබ්බට ගොස් කෘෂිකාර්මික හා පාරිසරික ක්‍රියාකාරකම් වෙත දරුවන් යොමු කිරීම, එම නිර්මාණශීලී නායකත්වයේ පැහැදිලි ප්‍රතිඵලයන් ය. මේ සියලු විෂය සමගාමී ක්‍රියාකාරකම් මධ්‍යයේ වුවද, දකුණු පළාතේ දෙමළ මාධ්‍ය හොඳම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵලය තම පාසලට හිමිකර දීමට ඔහු සමත් වූයේ සම්ප්‍රදායික සහ නව්‍ය අධ්‍යාපන ප්‍රවේශයන් මනාව සමතුලිත කරමිනි.
පරිපාලන නිලධාරීවාදයට පණිවිඩයක්
1996 වසරේ සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹා, දශක තුනකට ආසන්න කාලයක් පද්ධතිය තුළ පරිචයක් ලබා ඇති ඉර්ෆාන් මහතාගේ මෙම ගමන්මග, වත්මන් රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙන්ම පරිපාලකයින්ට ද වැදගත් පාඩමක් කියා දෙයි. ඒ, 'චක්‍රලේඛය' යනු කාර්යාලයේ අල්මාරියක ගොනු කර තැබිය යුතු හෝ වගකීම් මගහැරීමට භාවිතා කරන නෛතික ලියවිල්ලක් පමණක් නොවන බවත්, අරමුණ අවංක නම් සහ දරුවන් කෙරෙහි සැබෑ කැපවීමක් තිබේ නම්, පවතින නීති රාමු තුළ වුවද අතිශය නිර්මාණශීලී සහ මානුෂීය මෙහෙවරක් ඉටු කළ හැකි බවත්ය.
"2026 වසරේ විශිෂ්ටතම විදුහල්පතිවරයා" සම්මානය යනු, හුදෙක් එක් පුද්ගලයෙකුගේ රාජකාරිය ඇගයීමක් පමණක් නොව, ගතානුගතික, චක්‍රලේඛ මත යැපෙන ලාංකේය අධ්‍යාපන පරිපාලන යාන්ත්‍රණයට, මහපොළොවේ යථාර්ථය වෙනස් කළ හැකි සැබෑ 'නායකත්වයක්' යනු කුමක්දැයි ලබා දුන් ප්‍රබල පිළිතුරකි.

