ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති වීදි විරෝධතාවක් අතරතුර, එරට
පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට ලිංගික අතවර කළ බවට මාධ්‍යවේදිනියන් තිදෙනෙකු බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ.
ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ තරුණ තරුණියන් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුගිය සෙනසුරාදා මෙම චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් නවදිල්ලි දිස්ත්‍රික් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, එය "සාධාරණ සහ අපක්ෂපාතී" පරීක්ෂණයක් සඳහා අපරාධ අංශය වෙත යොමු කර ඇති බවත් දිල්ලි පොලිසිය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර තිබුණි.
මේ අතර ඡන්දදායක නාමලේඛනවලට සිදුකරන ලද මහා පරිමාණ වෙනස්කම්වලට එරෙහිව ඥානේෂ් කුමාර්ට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඉරිදා දිනයේදීත් දහස් ගණනක් විරෝධතාකරුවන් දිල්ලි සහ මුම්බායි නගරවලට රැස් වූහ. මෙය විරෝධතා පැවති අඛණ්ඩ තුන්වන දිනයයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ මෙම ක්‍රියාවලියේ අරමුණ නාමලේඛනයේ ඇති ද්විත්ව සහ නුසුදුසු ඇතුළත් කිරීම් ඉවත් කිරීම පමණක් බවයි. මේ වන විටත් ඡන්දදායක ලැයිස්තුවෙන් නම් මිලියන 130ක් පමණ ඉවත් කර තිබේ.
මධ්‍යම දිල්ලියේ ජන්තර් මන්තර් (Jantar Mantar) විරෝධතා භූමියෙන් පුද්ගලයින්ව බිම දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිටත් අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී. අදාළ මාධ්‍යවේදිනියන් චෝදනා කර ඇත්තේ සමහර පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් තමන්ට ලිංගික අතවර සිදුකළ බවයි.
කාන්තාවන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි බියකින් පසුවන බවත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය "මේ සඳහා පිළිතුරු දිය යුතු" බවත් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇත.
"පොලිසිය මගේ කොණ්ඩෙන් අල්ලලා ඇදගෙන ගියා," යනුවෙන් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක මෙන්ම ක්‍රියාකාරිනියක වන ආනා සිං රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඇය වැඩිදුරටත් කියා සිටියේ පොලිසිය ඉතා "ම්ලේච්ඡ" අන්දමි
න් කටයුතු කරමින් සිටින බවයි.
මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරය පිළිබඳව තමන් "කම්පනයට සහ දැඩි කනස්සල්ලට" පත්වූ බව පවසමින්, පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ඉන්දීය මාධ්‍ය සමාජය (Press Club of India) ඉල්ලා සිටියි.
"ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මෙවැනි හැසිරීම් සාමාන්‍යකරණය කළ නොහැකියි. විවිධ ගැටලු මතු කිරීම සඳහා රැස්වන ජනතාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට බියකින් තොරව නිදහසේ වැඩ කිරීමට ඉඩ දිය යුතුයි," යනුවෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
විරෝධතාකරුවන් පවසන්නේ ඡන්දදායක නාමලේඛන සංශෝධනය කිරීම හරහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) අයුතු වාසියක් අත්වන බවයි. එහෙත් මැතිවරණ කොමිසම එය ප්‍රතික්ෂේප කරයි. අවසන් වරට මෙවැනි සංශෝධනයක් සිදු කර ඇත්තේ මීට වසර 25කට පමණ පෙර බැවින්, මියගිය, රට හැර ගිය හෝ නව ලිපිනයකට මාරු වී ස්ථාන කිහිපයක ලියාපදිංචි වී ඇති අය පිළිබඳව සොයාබලා ඡන්ද ලැයිස්තුව යාවත්කාලීන කළ යුතු බව කොමිසමේ අදහසයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය ආරම්භයේ සිටම දැඩි මතභේදයට තුඩු දී ඇත. විපක්ෂය චෝදනා කරන්නේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් කුමාර්, භාරතීය ජනතා පක්ෂයට වාසි සහගත වන අයුරින් ඡන්දදායක ලැයිස්තු වෙනස් කරන බවයි. භාරතීය ජනතා පක්ෂය සහ මැතිවරණ කොමිසම යන දෙපාර්ශ්වයම එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරති.
මෙම විරෝධතාකරුවන් අතර අන්තර්ජාලය හරහා උපහාසාත්මක ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී පසුව බලවත් පීඩන කණ්ඩායමක් බවට පත්වූ 'කොක්රෝච් ජනතා පක්ෂයේ' (Cockroach Janta Party - CJP) ආධාරකරුවන් ද සිටිති. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා සති ගණනාවක් පුරා ඔවුන් කළ විරෝධතාවලින් පසු එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වීමට සිදුවූ අතර, එය එම කණ්ඩායම පසුගිය ජූලි මාසයේදී වාර්තා කළ පළමු ප්‍රධාන ජයග්‍රහණය විය.
"ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්" පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක වාර්තාවකින් පසු CJP සංවිධානය මෙම නවතම විරෝධතාවය කැඳවා ඇත. එම වාර්තාවේ දැක්වුණේ, ඥානේෂ් කුමාර්ගේ සම-මැතිවරණ කොමසාරිස්වරුන් වන සුක්බීර් සිං සන්ධු සහ විවේක් ජෝෂි යන මහත්වරුන්ගේ දැනුවත්භාවයකින් තොරව නිකුත් කර ඇතැයි කියන තීරණ සහ නියෝග සම්බන්ධයෙන්, මාස 10ක් ඇතුළත අවම වශයෙන් 14 වතාවක්වත් ඔවුන් විධිමත් ලෙස විරෝධය පළ කර ඇති බවයි.
මෙම මතභේද බොහෝ දුරට පසුගිය වසරේ ආරම්භ වූ විශේෂ තීව්‍ර සංශෝධනය (Special Intensive Revision - SIR) ලෙස හැඳින්වෙන රටේ මැතිවරණ නාමලේඛනවල මතභේදාත්මක සංශෝධනය සම්බන්ධයෙන් බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම සිය ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් නිවේදනය කළේ, "විවිධ මත දැරීම" තීරණ ගැනීමේ ක්‍රියාවලියේ සාමාන්‍ය කොටසක් බවත්, සියලු තීරණ ඒකමතිකව ගත් බවත්ය. එහෙත් මෙම හෙළිදරව්ව මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර විපක්ෂ නායකයින් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම දිගින් දිගටම ඉල්ලා සිටිති.

