ෆ්ලයිඩුබායි ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින
එහි සහායක නියමුවා, අදාළ යානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පිහිටි බෙන් ගූරියන් (Ben Gurion) ගුවන් තොටුපළට හෝ එහි පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වට්ටවා විනාශ කිරීමට සැලසුම් කර තිබූ බව ඇමෙරිකානු සහ ඊශ්‍රායල වාර්තා අනාවරණය කරයි.
මෙම ඕමාන් ජාතිකයා කිසිදු කණ්ඩායමකට අයත් නොවන ‘තනිව ක්‍රියාත්මක වූ’ අන්තවාදියෙකු බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ FZ1073 දරණ ගුවන් යානය තුළ පසුගිය බදාදා මෙම සහායක නියමුවා "ත්‍රස්තවාදී ක්‍රියාවක්" සිදු කිරීමට උත්සාහ කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු ගුවන් නියමු කුටියේ තිබූ හදිසි පොරොවකින් ප්‍රධාන නියමුවාට පහර දී තුවාල කර ඇති අතර, පසුව මගීන් විසින් ඔවහුව මෙල්ල කරගෙන ඇත. යානයේ ගමන් ගත් තවත් කාර්ය මණ්ඩලයක් විසින් පසුව යානය සුරක්ෂිතව සෞදි අරාබියට ගොඩබස්වා තිබේ.
මෙම සහායක නියමුවා "ඉස්ලාමීය රැඩිකල් මතවාදයන්ට" ගොදුරු වූවෙකු බවත්, ප්‍රධාන නියමුවා, මගීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය එක්ව "9/11 වැනි මහා ව්‍යසනයක්" වළක්වා ගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කලින් සැලසුමත් වෙනස් කරලා
හමාම් අල්-හම්මාමි නමින් හඳුනාගෙන ඇති මෙම සහායක නියමුවාගෙන් එක්සත් අරාබි එමීර් බලධාරීන් මේ වනවිට තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, ඒ පිළිබඳව ඊශ්‍රායල නියෝජිතයින් ද දැනුවත් කර තිබේ.
පරීක්ෂණ පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ, කපිතාන් ස්මිත් මච්චාර් ට පහර දීමෙන් පසු, සාමාන්‍ය පරිදි යානය ඊශ්‍රායල ගුවන් කලාපයට පියාසර කරවා බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ගොඩබෑමේ අවසරය ලබා ගැනීමට තමා සැලසුම් කළ බව සැකකරු විමර්ශකයින්ට පවසා ඇති බවයි.
අනතුරුව, මගීන් 180 කට වැඩි පිරිසක් රැගත් එම බෝයිං 737 MAX යානය, 2001 සැප්තැම්බර් 11 වන දින අල්-කයිඩා සංවිධානය ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයේ මාදිලියට අනුරූපව ගුවන් තොටුපළට හෝ මධ්‍යම ටෙල් අවිව් හි පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වට්ටවා විනාශ කිරීමට ඔහු සැලසුම් කර තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔහු කිසියම් රැඩිකල් සංවිධානයක් හෝ විදේශීය රජයක් වෙනුවෙන් නොව තනිවම මෙම සැලසුම දියත් කර ඇති බවට බොහෝදුරට විශ්වාස කළ හැකිය.
මීට පෙරද ටෙල් අවිව් බලා ගිය ගුවන් යානයක් පැහැරගෙන මෙලෙසම විනාශ කිරීමට තමා සැලසුම් කළ නමුත්, එම යානයේ තමා දන්නා හඳුනන අයෙකු සිටි නිසා එම අදහස අත්හැර දැමූ බව ද ඔහු විමර්ශකයින් හමුවේ හෙළි කර ඇත.
ආරක්ෂක දුර්වලතා ගැන දැඩි ප්‍රශ්න කිරීම්
ඊශ්‍රායල ජාතිකයින්ගෙන් පිරුණු ටෙල් අවිව් බලා පියාසර කළ ගුවන් යානයක් පැදවීමට මෙවැනි පුද්ගලයෙකු ෆ්ලයිඩුබායි සමාගමට බඳවා ගත්තේ කෙසේද සහ ඔහුට ඒ සඳහා අවසර ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී ඇත.
කලාපීය නිලධාරීන් පවසන පරිදි, ඔහුගේ අන්තවාදී අදහස් පිළිබඳව මතු වූ ගැටලු හේතුවෙන් ඕමාන් ජාතික ගුවන් සේවය වන 'Oman Air' විසින් ඔහුට ගුවන් ගමන් වල නිරත වීම තහනම් කර, පරිපාලන අංශයේ රැකියාවකට යොමු කර තිබී ඇත. රැඩිකල්කරණයට ලක්වීමේ සලකුණු හඳුනාගත හැකි පුළුල් පසුබිම් පරීක්ෂාවකින් තොරව, සාමාන්‍ය ආරක්ෂක පරීක්ෂාවන් පමණක් සිදු කර ෆ්ලයිඩුබායි සමාගම විසින් පසුව ඔවහුව සේවයට බඳවාගෙන තිබේ.

