සෞඛ්‍ය අංශවල තීරණය අනුව ඩෙංගු රෝගය පැතිර යාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ
ගෙවතු වල වතුර රැඳෙන ස්ථාන, කානු වල වතුර බැස නොයාම, පාසල්, ටියුෂන් පන්ති සහ කාර්යාල පරිශ්‍රයන්හි වතුර එකතු වන කුණු ගොඩවල් වැනි තත්වයන්ය. ඒ අනුව, මෝඩ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි ඩෙංගු පැතිරෙන කාල සීමාවන් තුල සෑම වසරකම එවැනි ස්ථාන පිරිසිදු කිරීම නිරන්තරයෙන් සිදු වේ. නමුත් ඩෙංගු පැතිර යාම අඩු වන්නේ වැස්ස නැවතී සූර්යාලෝකය ලැබීමට පටන්ගනීමෙන් මිස මෙම කටයුතු නිසා නොවේ.
අපගේ ප්‍රශ්නය වන්නේ, එසේනම්, ඉහත සඳහන් කිසිවක් සිදු නොකළ, Covid-19 පැතිර ගිය 2020 වර්ෂයේ ඩෙංගු රෝග ව්‍යාප්තිය 83%කින් පහල ගියේ කෙසේද යන්නයි. එම වර්ෂයේදී පාසල්, කාර්යාල පරිශ්‍රයන්, ටියුෂන් පන්ති වැනි ස්ථාන කිසිවෙකු විසින් පිරිසිදු කලේ නැත. එකල එම ස්ථාන වසා දමා, අත්හැර දමා තිබුණි. එබැවින් වෙනදාටත් වඩා වතුර පිරී, මදුරුවන් හට ඕනෑ තරම් බිත්තර දැමීම සඳහා පරිසරය නිර්මාණය වූවා මිස අදාළ පරිසර තත්වය අඩු වූයේ නැත.
එසේනම්, එම කාල සීමාවේදී ඩෙංගු ව්‍යාප්තිය අවම වීමට හේතු වූයේ, ධාරකයා සහ වාහකයා අතර සබැඳිය බිඳ වැටීමයි.
ඩෙංගු වෛරසය පැතිරීම සඳහා ක්‍රියාවලියක් අවශ්‍ය වේ. එනම්, රෝගී මිනිසා - මදුරුවා - නිරෝගී මිනිසා යන දාමයයි.
මදුරුවා ලේ උරා බීමෙන් පසු බිත්තර සම්පූර්ණයෙන්ම පරිණත වීමට දින 2ත් 3ත් අතර කාලයක් ගතවේ. මෙම කාලය තුළ මදුරුවා එක තැනකට වී විවේකීව සිටියි. බිත්තර සකස් වූවාට පසුව ඌ ඒවා දැමීම සඳහා පිරිසිදු වතුර ඇති ස්ථානයක් සොයා පියඹා යයි.
2020 දී පාසල්, ටියුෂන් පන්ති සහ කාර්යාල වසා දැමූ විට, මදුරුවන් බිලියන ගණනින් බෝ වුණ ද (මිනිසුන් නොමැති තත්වයක් තුල මෙසේ බෝ වීම නවතී. පාසල් සහ ටියුෂන් පන්ති ඇතුළේ කොටු වී සිටි මදුරුවන්ට සති ගණනාවක් යනතුරු කිසිදු මිනිස් ලේ ආහාරයක් නොලැබුණු නිසා, උන්ගේ බිත්තර නිෂ්පාදනය සහ බෝවීමේ වේගය ස්වාභාවිකවම අඩාල වීම සිදු වේ) උන්ට දෂ්ට කිරීම සඳහා එම ස්ථාන වල "මිනිසුන්" සිටියේ නැත. එබැවින් මදුරුවා හට තම ශරීරය තුල වෛරසය ගොඩනගාගත නොහැක (එය මදුරුවා හට මිනිසෙකුගෙන්ම ලැබිය යුතුය). එබැවින් මිනිසුන් නොමැති ස්ථානයක කෙතරම් මදුරුවන් සිටිය ද උන් වෛරසය රහිත මදුරුවන් වේ.
ඉන් පැහැදිලි වන අනෙක් කාරණය වන්නේ ඩෙංගු රෝගය නිවාස වලින් පැතිරීම ඉතා අවම බවය.
ඒ අනුව සුපිරි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වන්නේ නිවාස නොවන බව පැහැදිලිය. නමුත් නාගරික නිවාස සංකීර්ණ සහ මුඩුක්කු ද සුපිරි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වේ. 2020 සමය ගැන පැහැදිලි අධ්‍යයනයක් සිදු කලේ නම් වටහාගත හැක්කේ ව්‍යාප්තිය සිදු වූ ප්‍රදේශ නාගරික ප්‍රදේශ බවය.
ඩෙංගු මදුරුවා යනු එක වරක් ලේ බී බඩ පිරුණු වහාම අක්‍රිය වන සතෙකු නොවේ. ඌ එක බිත්තර වාරයක් සඳහා මිනිසුන් කිහිප දෙනෙකු මාරුවෙන් මාරුවට දෂ්ට කරනු ලැබේ. එක ඩෙංගු රෝගී ළමයෙක් පාසලකට හෝ ටියුෂන් පන්තියකට පැමිණියහොත්, ඒ ළමයා පන්තියේ වාඩි වී සිටින පැය කිහිපයට ළමයා දෂ්ට කරන මදුරුවා, ඊට පසු එම පන්තියේම තවත් ළමුන් 10ක් 15ක් ලෙහෙසියෙන්ම දෂ්ට කරනු ලැබේ.
බිත්තර මේරු පසු මදුරුවා ළඟම ඇති පිරිසිදු වතුර සොයා පියඹා යයි (මීටර් 50-100ක් වැනි කෙටි සීමාවක). කුඩාවට වතුර රැඳෙන එවැනි ස්ථාන ඉහත සඳහන් කල සුපිරි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන තුල සහ ආශ්‍රිතව ඕනෑ තරම් පවතී (විශේෂයෙන්ම විශාල ගොඩනැගිලි තුල). නමුත් ඒවා කිසිවෙකුගේ ඇස නොගැටේ. එනම්, ඩෙංගු මර්දන විශේෂඥයින් මෙවැනි ස්ථාන පරීක්ෂා කල ද ඔවුනට ඒවා නොපෙනේ.
එම නිසා, පිටතින් බලන විට ඉතා පිරිසිදුවට පෙනෙන, වත්ත සම්පූර්ණයෙන්ම සුද්ද කර ඇති සුපිරි පාසලක් හෝ කාර්යාලයක් ඇතුළතින්ම ඩෙංගු වෛරසය මහා පරිමාණයෙන් බෙදාහරින "මාරක උගුලක්" බවට පත්වන්නේ මෙන්න මේ කියන ව්‍යුහාත්මක තත්වය හේතුවෙනි. වැස්ස ක්‍රමයෙන් පහව ගොස් රස්නය වැඩි වීමත් සමග ඩෙංගු ව්‍යාප්තිය අඩු වන්නේ එවැනි ස්ථාන වල වතුර සිඳී යන බැවින් මිස ඩෙංගු මර්දන උපදේශකයින්ගේ ක්‍රියාවන් නිසා නොවේ.
එබැවින් ප්‍රධාන වශයෙන් කල යුතුව ඇත්තේ ධාරකයා සහ වාහකයා අතර සබැඳිය (රෝගී මිනිසා - මදුරුවා - නිරෝගී මිනිසා) කඩා දැමීමයි. නමුත් ඩෙංගු මර්දනයේදී සිදු නොවන්නේ ද එයයි.
ඩෙංගු සම්ප්‍රේෂණ දාමය බිඳීමට නම් කළ යුත්තේ මදුරුවාට "වෛරසය සහිත රෝගී මිනිසාව" හමුවීමට ඇති ඉඩකඩ සහ "වෛරසය සහිත මදුරුවාට නිරෝගී මිනිසාව" හමුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති කිරීමයි. නමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයකි.
සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වන්නේ කෙනෙකුට ඩෙංගු හැදුණු පසුවයි. රෝගියෙකු රෝහල්ගත වූ පසු, ඒ නිවේදනය PHIට ලැබී, ඔවුන් රෝගියාගේ නිවසට ගොස් දුම් ගැසීම සිදුකරන විට මදුරුවා වෛරසය රැගෙන අවසන් වී ඇති අතර ඌ ළඟම සිටිනා තව කිහිප දෙනෙකුට දෂ්ට කර අවසන්ය. එතැනදී දාමය බිඳීමක් සිදුවන්නේ නැත.
දරුවෙකුට හෝ කාර්යාල සේවකයෙකුට තද උණ වැළඳී තිබියදීත් පැරසිටමෝල් පානය කර ඔවුන් සාමාන්‍ය පරිදි පාසලට හෝ කාර්යාලයට පැමිණෙයි. එහිදී ඔවුන්ව දවල් කාලයේ මදුරුවන් සපන අතර, ඒ හරහා මුළු පරිශ්‍රයටම වෛරසය බෙදාහැරීම සිදුවේ. රෝගියාව මදුරු දැලක් ඇතුළේ තබා ආරක්ෂා කිරීමක් කොහෙත්ම සිදුවන්නේ නැත. ඒ සඳහා කිසිඳු උපදෙස් දීමක් ද නොමැත.
මදුරු දෂ්ටනය වලකා ගැනීම සඳහා ආලේපන වෙළඳ පොලේ තිබේ. පැඟිරි තෙල් (පැඟිරි තෙල් ඇඳුම් වල අලේප කිරීමෙන් පවා මදුරු විකර්ෂණය සිදු වේ) ඒ සඳහා සුදුසුම ආලේපනයකි. නමුත් එවැනි භාවිතයක් මිනිසුන් තුල නොමැත. ඒ සඳහා උපදෙස් දීමක් ද නොමැත.
වසංගතයක් පාලනය කිරීමට නම් මදුරුවා බිහිවන හැම වතුර බිඳුවක්ම සෙවීමට වඩා ප්‍රායෝගික වන්නේ, මදුරුවා සිටින පරිසරය තුළ මිනිසා ආරක්ෂා කරගැනීමයි. ව්‍යුහාත්මකව නතර කළ නොහැකි වතුර රැඳෙන තැන් පස්සේ පන්නමින්, ප්‍රධානම දාමය වන "මිනිසා-මදුරු සබැඳිය" අමතක කර දමා තිබේ.
සෞඛ්‍ය උපදේශකයින් තවමත් විශාල ශ්‍රමයක් සහ කාලයක් වැය කරන්නේ ගෙවල්වල කොස් කොළ අස් කිරීම, ටින් තැඹිලි කෝම්බ සෙවීම වැනි බාහිර ශෝබන සංදර්ශන සඳහාය (එයට ඔවුන් වඩා කැමති වන්නේ තමන් දන්නා, උගත්, අනුන් වෙනුවෙන් කැප වී සේවය කරන සහ අනුන්ගේ වරද පෙන්වා දෙන හොඳ මිනිසුන් බවට පත්වීමේ ආකෘතියක් මෙම ඩෙංගු මර්දන වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක වීම හේතුවෙනි) නමුත් දිවා කාලයේ මිනිසුන් දහස් ගණනින් ගැවසෙන සුපිරි සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන තුළ මදුරුවා සහ මිනිසා අතර ඇති වන සෘජු ගැටීම අවම කිරීමට කිසිදු ක්‍රමවේදයක් (උදා: පාසල් ළමුන්ට මදුරු විකර්ෂක/Repellents භාවිතය අනිවාර්ය කිරීම වැනි) ක්‍රියාත්මක කරන්නේ නැත.
ආණ්ඩුව වෙනස් වී තිබුන ද ඩෙංගු සම්බන්ධ පැරණි ප්‍රභූ සංදර්ශන එලෙසින්ම ක්‍රියාත්මක වේ.
@ 'ස්පාටකස් ලිපි' පිටුවෙන් උපුටාගන්නා ලදී

