පහත පළවන්නේ 2026 ජූනි 05 වන දින 'The Daily Morning' පුවත්පතේ බුද්ධික සමරවීර ගේ
"Clerical abuse in SL: Subject chief incumbents to child protection background checks" නමැති ලිපියේ සිංහල අනුවර්තනයයි. බෞද්ධ විහාරස්ථාන තුළ සිදුවන ළමා අපයෝජන, එහි මනෝවිද්‍යාත්මක බලපෑම සහ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයේ පවතින දුර්වලතා පිළිබඳව හිටපු භික්ෂුවක සහ වර්තමාන මනෝචිකිත්සකවරයෙකු වන ආචාර්ය චන්දන නාමල් රත්නායක සමඟ කළ සාකච්ඡාවක් මෙහි ඇතුළත් වේ.
- පන්සල් පද්ධතියේ ව්‍යුහය විසින්ම යම් යම් අවදානම් සහගත තත්ත්වයන් නිර්මාණය කර ඇත: ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිකම, පසුබිම් පරීක්ෂාවන් සිදු නොකිරීම සහ දුර්වල අභ්‍යන්තර වගවීම් යාන්ත්‍රණ මීට ඇතුළත් ය.
- විනය නීතිවලට අදාළ සමාලෝචන ක්‍රියාවලීන් තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
- තරුණ සාමණේර හිමිවරුන් අතර ලිංගික අත්හදා බැලීම් විශාල වශයෙන් සිදුවේ.
පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන සැලකෙන්නේ දරුවන්ට ආගමික අධ්‍යාපනය, විනය සහ අධ්‍යාත්මික මාර්ගෝපදේශ ලබා දෙන ස්ථාන ලෙසිනි. එසේත් නැතිනම් තම දරුවන්ට පහසුකම් සැපයිය නොහැකි දිළිඳු පවුල් සඳහා ඇති විකල්පයක් ලෙසිනි. පැවිදි ජීවිතය තුළින් තම දරුවන්ට අර්ථවත් සහ ගෞරවනීය ජීවන මාර්ගයක් ලැබෙනු ඇතැයි හෝ අවම වශයෙන් භෞතික දුෂ්කරතාවලින් හෝ සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන, දිවයිනේ සෑම ප්‍රදේශයකම පවුල් රැසක් තම දරුවන් කුඩා කලදීම පන්සල් වෙත භාර දෙති.
කෙසේ වෙතත්, ආගමික ආයතන තුළ ජීවත් වන දරුවන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ සුබසාධනය අධීක්ෂණය කිරීම සඳහා පවතින පද්ධතීන් පිළිබඳව සාකච්ඡා මතු කරමින්, විහාරස්ථාන තුළ සිදුවන ළමා ලිංගික අපයෝජන සිදුවීම් කලින් කලට මතුවෙමින් පවතී. මෙම ගැටලුව විටින් විට කරළියට පැමිණියද, බොහෝ වින්දිතයින් තම අත්දැකීම් පිළිබඳව කතා කිරීමට මැළිකමක් දක්වන අතර, මෙම ගැටලුව කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි යන්න පිළිබඳව විශ්වාසදායක තොරතුරු ඇත්තේ ඉතා අල්ප වශයෙනි.
ආචාර්ය චන්දන නාමල් රත්නායක වසර ගණනාවක් තිස්සේ තම පෞද්ගලික අත්දැකීම් මෙන්ම වෘත්තීය කටයුතු හරහාද මෙම ගැටලුව අධ්‍යයනය කර ඇත. මනෝචිකිත්සකවරයෙකු, අධ්‍යාපනඥයෙකු, පර්යේෂකයෙකු සහ පූජක ළමා අපයෝජනවලින් දිවි ගලවා ගත් අයෙකු වන ඔහු, කුඩා කලදීම පැවිදි දිවියට ඇතුළු වී පසුව උපැවිදි වූ අයෙකි. එතැන් පටන් ඔහු ආයතනික ළමා අපයෝජන පිළිබඳව පර්යේෂණ කර ඇති අතර, ආගමික පරිසරයන් තුළ ජීවත් වන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටී.
'ද මෝනිං' (The Daily Morning) සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු බෞද්ධ භික්ෂුවක ලෙස තම අත්දැකීම්, විහාරස්ථාන තුළ දරුවන් මුහුණ දෙන අභියෝග, අපයෝජනවල දිගුකාලීන මනෝවිද්‍යාත්මක බලපෑම, පවතින පද්ධතිවල දුර්වලතා සහ දරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය යැයි ඔහු විශ්වාස කරන වෙනස්කම් පිළිබඳව අදහස් දැක්වීය.
මෙම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් පහත දැක්වේ:
බෞද්ධ භික්ෂුවක ලෙස ඔබේ අත්දැකීම් සහ මෙම ගැටලුව පිළිබඳ ඔබේ අවබෝධය හැඩගැස්වීමට එය බලපෑවේ කෙසේද යන්න පිළිබඳව අපට කියන්න?
මම 1991 දී වයස අවුරුදු 10 දී මගේ ගමේ පන්සලේ පැවිදි වුණා. පසුව මට දැනගන්නට ලැබුණේ, 2,300 වැනි මිහිඳු ජයන්ති සංවත්සරය නිමිත්තෙන් දරුවන් 10,000ක් පැවිදි කිරීමේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මාව පැවිදි කර ඇති බවයි. වයස අවුරුදු 15 වන විට මම පළාත් කිහිපයක විහාරස්ථාන හතරක ජීවත් වී සිටියා. ලිංගික අපයෝජන හේතුවෙන් මම පළමු පන්සලෙන් ඉවත් වුණා. ඊළඟ පන්සලෙත් ගැටලු මතු වුණා, වෙනත් තැනකට යන්න කලින් මම දෙවැනි විහාරස්ථානයේ රැඳී සිටියා. පන්සල් හතරේදීම මම අපයෝජනයට ලක් වුණා. මම 2012 දී පැවිදි ජීවිතයෙන් ඉවත් වුණා.
කෙසේ වෙතත්, වයස අවුරුදු 30 ක් පමණ වන තුරුම මට සිදු වූයේ කුමක්දැයි මට හරියටම අවබෝධ වුණේ නැහැ. මගේ පැවිදි ජීවිතයේ පළමු වසර පහ තුළ, දැන් මා 'ළමා ලිංගික අපයෝජන' ලෙස හඳුනා ගන්නා ක්‍රියාවන්ට මම මුහුණ දුන්නා. නමුත් ඒ කාලයේ ඒවා එසේ හඳුනා ගැනීමට තරම් වචන හෝ අවබෝධයක් මට තිබුණේ නැහැ. මම මගේ දෙමාපියන්ට කියන්න උත්සාහ කළා, නමුත් මම විස්තර කරන්නේ කුමක්දැයි ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල, වැඩිහිටි පිරිමියෙකුට කුඩා පිරිමි ළමයෙකු ලිංගිකව අපයෝජනය කළ හැකි බව බොහෝ දෙනෙකුට සිතාගන්නටවත් බැරි වුණා. පිරිමින් සහ කාන්තාවන් අතර සබඳතා ගැන පවා සාකච්ඡා කෙරුණේ ඉතා සීමිතවයි. මෙම අත්දැකීම් පැහැදිලි කිරීමට අවශ්‍ය වචන මාලාවක් තිබුණේ නැහැ, ඒ වගේම ඒ ගැන තිබුණු දැනුවත්කම ඉතා අඩුයි. පන්සලෙන් දෙවරක් පැන ආවාට පසුවයි යම් වැරැද්දක් ඇති බව මගේ දෙමාපියන්ට තේරුම් ගියේ. ඉන්පසුව ඔවුන් මාව ඒ පරිසරයෙන් ඉවත් කළා.
මම මනෝවිද්‍යාව හදාරා මනෝචිකිත්සකවරයෙකු සහ උපදේශකවරයෙකු ලෙස පුහුණුව ලැබූ විට, මගේ අත්දැකීම්වල සැබෑ ස්වභාවය මම හඳුනා ගන්නට පටන් ගත්තා. මේ වගේ සිදුවීම් බොහෝ දුරට සෑම සාමණේර හිමිනමකටම මුහුණ දීමට සිදුවෙනවා, සමහර විට ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගේ දැනුවත්කම ඇතිව, සමහර විට ඒ ගැන නොදැන. එම පරිසරය තුළ එය සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණු නිසා, මා මුහුණ දුන්නේ අපයෝජනයකට බව හඳුනා ගැනීමට මට දශක දෙකකට ආසන්න කාලයක් ගත වුණා. එම අත්දැකීම් වලට පෞද්ගලිකව මුහුණ දුන් අයෙකු ලෙස, ඒ ගැන කතා කිරීමට මට සම්පූර්ණ අයිතියක් තිබෙන බව මම විශ්වාස කරනවා.
ඔබේ පෞද්ගලික අත්දැකීමෙන් ඔබ්බට ගොස් මෙම ගැටලුව පිළිබඳව අධ්‍යයනය කිරීමට ඔබ පටන් ගත්තේ කවදාද?
මම උපදේශන සහ මනෝචිකිත්සක ක්ෂේත්‍රයේ වැඩ කිරීමට පටන් ගත් පසු, මගේ අවබෝධය විශාල වශයෙන් පුළුල් වුණා. 2017 දී, මම ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහභාගී වූ සම්මන්ත්‍රණ තුනක් සංවිධානය කළා. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා 400 නමක් පමණ සහභාගි වුණා. එම අවස්ථාවන්ට සමගාමීව, මම අවිධිමත් සමීක්ෂණයක් ද සිදු කළා. සිදුවන්නේ කුමක්දැයි නොදන්නා කෙනෙකු ලෙස නොවෙයි මම මේ ප්‍රශ්නයට ප්‍රවේශ වුණේ. මම අවුරුදු 20 කට ආසන්න කාලයක් ඒ අත්දැකීම් සමඟ ජීවත් වෙලා හිටියා. අපයෝජනයකට ලක් නොවූ සාමණේර නමක් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තක් වුණා. මෙහි ඇති අභියෝගය වන්නේ සාමණේර හිමිවරුන් ඉතා හුදෙකලා පරිසරයක ජීවත් වීමයි. ඔවුන්ට කතා කිරීමට කිසිවෙකුත් නැති තරම්. බොහෝ දෙනෙකුට තමන්ගේ දෙමාපියන්ට වත් කතා කිරීමට නොහැකි බවක් දැනෙනවා. අවිධිමත් සමීක්ෂණයේ සොයාගැනීම්වලින් මෙම යථාර්ථය පිළිබිඹු වුණා. ඊට සහභාගී වූ අයගෙන් අඩකට වඩා වැඩි පිරිසක් තමන් ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව වාර්තා කළා.
ලිංගිකත්වය සහ ලිංගික දුරාචාරය පිළිබඳව බෞද්ධ විනය නීතියෙන් කුමක් කියැවෙනවාද?
සාමණේර හිමිවරුන් සහ උපසම්පදා භික්ෂූන් අතර වැදගත් වෙනසක් තිබෙනවා. සාමණේර හිමිවරුන් සඳහා ලිංගිකත්වය පාලනය කරන විනය රාමුවක් නැහැ. විනය නීති ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාටයි. කාන්තාවක්, පිරිමියෙක් හෝ සතෙකු සමඟ ලිංගිකව එක්වීම පාරාජිකා අපරාධයක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එයින් මහණකම අහිමි වෙනවා. විනය නීති යටතේ කාන්තාවක් සමඟ තනිව කාලය ගත කිරීම පවා තහනම්. උපසම්පදා භික්ෂුවක් පෞද්ගලික කුටියක් තුළ කාන්තාවක් සමඟ තනිව නොසිටිය යුතුයි.
පැවිදි විනය ගැන කතා කිරීමේදී තවත් වැදගත් කරුණක් වන්නේ විනය කර්ම (disciplinary proceedings) යි. මම අවුරුදු අටක් හෝ නවයක් පමණ කාලයක් උපසම්පදා භික්ෂුවක් ලෙස ගත කළා. එම කාලය තුළ, මම විධිමත් විනය කර්ම සඳහා සහභාගී වුණේ දෙවරක් පමණයි. ඒ මම ඒවා මග හැරිය නිසා නොවෙයි. අද එම ක්‍රියාවලීන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. එවැනි කටයුතු සිදු කිරීමට නියමිත සීමා මාලක පවා බොහෝ විහාරස්ථානවල නැහැ. එවැනි පහසුකම් ඇති තැන්වල පවා භික්ෂූන් වහන්සේලා විනය සමාලෝචන පැවැත්වීම සඳහා රැස්වන්නේ නැහැ. සම්ප්‍රදායිකව, භික්ෂූන් වහන්සේලා මසකට සිව් වතාවක් රැස්වී විනය කඩවීම් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. උදාහරණයක් ලෙස, භික්ෂුවක් කාන්තාවකගේ අතින් ඇල්ලුවොත්, එය ශාසනයෙන් නෙරපා හැරීමට හේතු නොවුණත්, ඊට පාපොච්චාරණයක් සහ සුදුසු විනයානුකූල පියවරක් අවශ්‍ය වෙනවා. අද එවැනි ක්‍රමවේදයන් බොහෝ දුරට නැහැ. ඒ වගේම එවැනි දේ සිදුවෙනවාද යන්න සොයා බැලීමට ඵලදායී යාන්ත්‍රණයකුත් නැහැ.
ශ්‍රී ලංකාව තුළ පැවිදි ජීවිතය සහ මහණ කිරීම සමාජගත කර ඇති ආකාරය ඔබ දකින්නේ කෙසේද?
බොහෝ භික්ෂූන් වහන්සේලා තමන්ව හඳුන්වා දෙන්නේ බුදුදහම සුරැකීම වෙනුවෙන් අසාමාන්‍ය කැපකිරීම් කරන පිරිසක් ලෙසයි. නමුත් මගේ අත්දැකීම ඊට වෙනස්. බුදුදහම බේරාගන්න කියලා කවුරුවත් මට කිව්වේ නැහැ. බුදුරදුන්ගේ දේශනාව ඉතා සෘජුයි. කෙනෙකුට පැවිදි ජීවිතයක් සඳහා කැපවිය නොහැකි නම්, ඔහු එයට ඇතුළත් නොවිය යුතුයි. කෙනෙක් උපසම්පදා භික්ෂුවක් වෙන්න තීරණය කළොත්, ඔහු අදාළ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් විය යුතුයි. ඔවුන්ට එසේ කිරීමට නොහැකි නම්, ඔවුන්ට ගිහි ජීවිතයට යන්න හෝ සාමණේර නමක් ලෙස රැඳී සිටින්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ දරුවෙකු පැවිදි කළ විට, ඔවුන්ට උගන්වන්නේ පැවිදිවීම ස්ථිර කැපවීමක් බවයි. ගෙදර යාම ගැන හිතන්න එපා කියලා ඔවුන්ට කියනවා. ඔවුන්ගෙන් සමහරෙකු චීවරය තුළ අවුරුදු 20ක් පමණ ගත කරන විට, ඔවුන්ට වෙනත් ජීවිතයක් ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ඒ පද්ධතිය මත යැපෙන්නට පුරුදු වී, ඒ තුළ ඇති සුදුසුකම් සහ රැකියා අවස්ථා හරහා ජීවිතය ගොඩනඟා ගැනීමට උත්සාහ කරනවා.
මනෝචිකිත්සකවරයෙකු ලෙස, ළමා ලිංගික අපයෝජනයට ලක්වූවන් කෙරෙහි ඇති කළ හැකි බලපෑම කුමක්ද?
එහි ප්‍රතිවිපාක පහසුවෙන් මැනිය නොහැකියි. දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් මනෝවිද්‍යාත්මක දුෂ්කරතා ඇති වෙනවා. සියදිවි නසාගැනීමේ අවදානමද වැඩි විය හැකියි. මානසික පීඩාව නිසා අධ්‍යාපනය, රැකියාව, සබඳතා සහ දෛනික ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමේ අවදානමක්ද පවතිනවා.
ළමා ලිංගික අපයෝජනයට ලක්වූවන් සම්බන්ධයෙන් පවතින ඇතැම් වැරදි මත පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?
බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපයෝජනයට ලක් වූ පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු අන් අයව අපයෝජනය කිරීමට වැඩි ඉඩක් ඇති බව. නමුත් අපයෝජනයට ලක්වන සෑම කෙනෙකුම අන් අයව අපයෝජනය කරන බවට නිශ්චිතව ඔප්පු කරන කිසිදු පර්යේෂණයක් නැහැ. කෙසේ වෙතත්, අපි පැවිදි පරිසරය දෙස බලන විට, එම අවදානම වැඩි කළ හැකි ඇතැම් සාධක තිබෙනවා. මම භික්ෂුවක් ලෙස සිටි කාලය තුළ නිරීක්ෂණය කළ එක් දෙයක් නම්, තරුණ සාමණේර හිමිවරුන් අතර ලිංගික අත්හදා බැලීම් විශාල වශයෙන් සිදුවන බවයි. බොහෝ සාමණේර හිමිවරුන් වැඩිවියට පත්වන්නේ පන්සල තුළදීයි. ඔවුන් අත්විඳින දේවල් ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ට දෙමාපියන් ළඟ නැහැ. ලිංගික වර්ධනය ගැන පැහැදිලි කිරීමට හෝ ප්‍රශ්නවලට පිළිතුරු දීමට කිසිවෙකු නැහැ. ඒ පරිසරය තුළ, අත්හදා බැලීම් සිදුවෙනවා. වයසින් වැඩි භික්ෂූන් විසින් තරුණ හිමිවරුන්ව අපයෝජනය කරන විට, එවැනි හැසිරීම් සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට පටන් ගැනීමේ අවදානමක් පවතිනවා.
එම දෘෂ්ටිකෝණයෙන් බලන විට, දරුවන් අපයෝජනය කරන ඇතැම් වැඩිහිටි භික්ෂූන් වහන්සේලා තමන් කුඩා සාමණේර අවදියේදී අපයෝජනයට ලක්වූවන් විය හැකියැයි උපකල්පනය කළ හැකියි. අපයෝජනයට ලක් වූ සෑම දරුවෙකුම අපයෝජකයෙකු බවට පත්වන බව මා කියන්නේ නැහැ. නමුත්, එම චක්‍රයට දායක විය හැකි පද්ධතිමය කොන්දේසි පැවිදි පරිසරය තුළ පවතිනවා. මෙය අසීරු ආචාරධාර්මික සහ මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක් ද නිර්මාණය කරනවා. වැඩිහිටි භික්ෂුවක් දරුවෙකු අපයෝජනය කර ඇති බව සොයා ගත්තොත්, නමුත් ඔහු කුඩා කාලයේදී අපයෝජනයට ලක්වී ඇත්නම්, සමාජය ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? ඔහු අපරාධකරුවෙක් වගේම වින්දිතයෙක්ද වෙනවා. මේවා සංකීර්ණ ප්‍රශ්න. ඒ නිසයි මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවට මේ විෂය සම්බන්ධයෙන් බරපතළ ජාතික කතිකාවතක් අවශ්‍ය බව.
දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද?
තායිලන්තය සහ මියන්මාරය වැනි රටවල් දෙස බැලුවහොත්, සාමණේර පැවිද්ද සාමාන්‍යයෙන් තාවකාලික එකක්. ශ්‍රී ලංකාව ඊට වෙනස්. මෙහි දරුවන් නිතරම ස්ථිර පදනමක් මත පැවිදි කරනු ලබනවා. බෞද්ධ සාහිත්‍යය තුළ ළමා කාලයේ පැවිදි වූ රාහුල, සෝපාක සහ සුනීත වැනි උදාහරණ අපට හමුවෙනවා. ඒ අවස්ථාවලින් ඔබ්බට බුදුන් ජීවමානව සිටි කාලයේ ළමා පැවිද්ද බහුලව පැවති බවට කිසිදු සාක්ෂියක් නැහැ.
වර්තමාන පද්ධතිය මට්ටම් කිහිපයකින්ම ගැටලු සහගතයි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් තබා ඇති රටක්. එම සම්මුතිය ළමා කාලයේදී දෙමාපිය රැකවරණයේ වැදගත්කම හඳුනාගෙන තිබෙනවා. ඒ අතරම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන, දරුවන් රැකබලා ගන්නා පුද්ගලයින් සඳහා පසුබිම් පරීක්ෂාවන් සහ අධීක්ෂණයන් අවශ්‍ය බවට නියම කරනවා. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන් පවා නියාමනයට යටත් වෙනවා. දරුවෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දිනකට පැය හතරක් හෝ පහක් පමණක් ගත කළ හැකි නමුත්, සාමණේර හිමිනමක් පන්සලක පූර්ණ කාලීනව ජීවත් වෙනවා. දරුවෙකු වසර ගණනාවක් විහාරාධිපතිවරයෙකුගේ අධිකාරිය යටතේ ගත කරන්නේ නම්, එම පුද්ගලයා පසුබිම් පරීක්ෂාවන්ට සහ ළමා ආරක්ෂණ අවශ්‍යතාවලට ලක් නොවිය යුතුද? එය අපේ පද්ධතියේ පවතින විශාල හිඩැසක්.
ආගමික ආයතන තුළ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වෙනත් රටවලින් උගත හැකි පාඩම් මොනවාද?
එක්සත් රාජධානිය වැනි රටවල් ආරක්ෂක පද්ධතීන් (safeguarding systems) සංවර්ධනය කර තිබෙනවා. පල්ලියක්, පන්සලක්, පාසලක්, පුණ්‍යායතනයක් හෝ ප්‍රජා සංවිධානයක් වේවා, දරුවන් එක්රැස් වන ඕනෑම සංවිධානයක ළමා ආරක්ෂණ නිලධාරියෙකු සිටිය යුතු බවට අපේක්ෂා කෙරෙනවා. උදාහරණයක් ලෙස, එංගලන්ත පල්ලිය තුළ (Church of England), පල්ලි සහ පාසල්වල නම් කරන ලද ආරක්ෂණ නිලධාරීන් පත් කර තිබෙනවා. ළමා ආරක්ෂණ බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වන සංවිධානවලට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. මා දන්නා තරමින් ශ්‍රී ලංකාවට එවැනි කිසිදු විධිවිධානයක් නැහැ. පන්සල්වලදී දරුවන් අපයෝජනය කළ බොහෝ දෙනෙක් දැනටමත් ඔවුන්ගේ සමාජයන් තුළ කටකතාවලට හෝ සැකයට ලක් වූ අයයි. කෙසේ වෙතත්, දරුවන් දිගටම ඔවුන්ගේ රැකවරණය යටතට පත් කෙරෙනවා. මෙම පද්ධතිය රඳා පවතින්නේ විශ්වාසය සහ ගෞරවය මතයි. අවාසනාවකට, එයින් දරුවන්ට සිදුවන හානිය අතිවිශාලයි.
දරුවෙකු සාමණේර නමක් ලෙස පැවිදි කිරීමේදී සම්බන්ධ වන නීතිමය ක්‍රියා පටිපාටි මොනවාද?
එය සැලකිය යුතු අඩුපාඩු පවතින තවත් අංශයක්. දරුවෙකු පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රැකවරණය යටතට පත් කරන්නේ නම්, අවශ්‍යතා රාශියක් තිබෙනවා. ග්‍රාම නිලධාරී, පොලිස් නිලධාරීන්, පාසල් බලධාරීන් සහ වෙනත් අයගෙන් වාර්තා අවශ්‍ය විය හැකියි. ඇත්ත වශයෙන්ම, දරුවෙකු පැවිදි කිරීම සහ දරුවෙකු ආයතනික රැකවරණයකට යොමු කිරීම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් නොවෙයි. මේ අවස්ථා දෙකේදීම දරුවෙකු ආයතනයකට භාරදීමක් සිදු වන්නේ. නමුත්, දරුවෙකු පැවිදි කරන විට, එම ආරක්ෂණ විධිවිධාන කිසිවක් ක්‍රියාත්මක වන්නේ නැති තරම්. සාමාන්‍යයෙන්, පාසලෙන් අස්වීමේ සහතිකය පිරිවෙනට මාරු කෙරෙනවා. ඉන්පසු දරුවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සාමණේර නමක් ලෙස ලියාපදිංචි කෙරෙනවා. ඉන් ඔබ්බට, කිසිදු අධීක්ෂණයක් නැති තරම්. දරුවාට නිසි නවාතැන්, ප්‍රමාණවත් ආහාර, සුදුසු අධීක්ෂණයක් හෝ ආරක්ෂිත ජීවන තත්ත්වයක් තිබේදැයි සොයා බැලීමට කිසිවෙකු පන්සලට පැමිණෙන්නේ නැහැ.
පැවිදි කිරීම සඳහා වන අවම වයස සම්බන්ධයෙන් නීති ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුද?
කපුටෙකුට ගලක් ගැසීමට තරම් වයසැති දරුවෙකු පැවිදි කළ හැකි බවට සාම්ප්‍රදායික කියමනක් තිබෙනවා. නමුත් අපි බුදුදහම වඩාත් සැලකිල්ලෙන් විමසා බැලුවහොත්, පැවිදි ජීවිතයට දුක පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ අධ්‍යාත්මික කැපවීමක් අවශ්‍ය බව අපට පෙනෙනවා. පුද්ගලයෙකු පැවිද්ද ඉල්ලා සිටින විට, ඔවුන් මූලික වශයෙන් මෙවැනි අරුතක් දෙන වචන ප්‍රකාශ කරනවා: "සංසාරයේ දුක නිමා කිරීම සඳහා මට පැවිද්ද ලබා දෙන්න." අවුරුදු අටක හෝ 10 ක දරුවෙකුට එහි තේරුම කුමක්දැයි අව්‍යාජව තේරුම් ගත හැකිද? මම එහෙම හිතන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීම, බැංකු කටයුතු සහ වෙනත් බොහෝ ක්‍රියාකාරකම් සඳහා අපි අවම වයසක් නියම කරන්නේ වැදගත් තීරණ ගැනීමේදී පරිණතභාවය වැදගත් බව අපි පිළිගන්නා නිසයි. පැවිදි කිරීම සම්බන්ධයෙනුත් එම මූලධර්මයම සලකා බැලිය යුතුයි. දරුවන් පන්සල් ජීවිතයට හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ට ආගමික කටයුතුවලට සහභාගි වෙන්න පුළුවන්. තාවකාලික පැවිද්ද විකල්පයක් ලෙස තිබිය යුතුයි. නමුත්, එවැනි ඕනෑම විධිවිධානයක් ආරක්ෂාව සහ දෙමාපියන්ගේ අධීක්ෂණය සහතික කරන රාමුවක් තුළ පැවතිය යුතුයි.
පන්සල් තුළ ලිංගික අපයෝජන සඳහා බලපාන සාධක මොනවාදැයි ඔබ විශ්වාස කරනවාද?
විහාරස්ථාන පද්ධතියේ ව්‍යුහය විසින්ම යම් යම් අවදානම් සහගත තත්ත්වයන් නිර්මාණය කරනවා. ප්‍රමාණවත් අධීක්ෂණයක් නැහැ. පසුබිම් පරීක්ෂාවන් නැහැ. අභ්‍යන්තර වගවීම් යාන්ත්‍රණ දුර්වලයි. සාමණේර හිමිවරුන් වැඩිවියට පත් වූ විට, එම අත්දැකීම් හරහා ඔවුන්ට මඟ පෙන්වීමට සාමාන්‍යයෙන් කිසිවෙකු නැහැ. ලිංගිකත්වය පිළිබඳව ඇත්තේ ඉතා සුළු සාකච්ඡාවක්. එහි ප්‍රතිඵලයක් ලෙස, ආතතීන් වර්ධනය වී අසමාන බල සබඳතා හරහා ඒවා ප්‍රකාශ වීමට පුළුවන්. වැඩිහිටි භික්ෂුවකට තරුණ භික්ෂුවක් කෙරෙහි අධිකාරියක් තිබෙනවා. ගෞරවනීය විහාරාධිපති නමකට ගමේ දුප්පත් පවුල් කෙරෙහි අධිකාරියක් තිබෙනවා. බලයේ අසමතුලිතතාවයක් පවතින සෑම විටම, අපයෝජනයකට ලක්වීමේ හැකියාවක් පවතිනවා.
ආගමික ආයතන තුළ සිදුවන අපයෝජන වැළැක්වීමට දැනට පවතින යාන්ත්‍රණයන් මොනවාද? තවදුරටත් හඳුන්වා දිය යුත්තේ මොනවාද?
දැනට ඵලදායී ළමා ආරක්ෂණ පද්ධතියක් නැහැ. ජාත්‍යන්තරව පිළිගත් සම්මතය වන්නේ දරුවන් එක්රැස් වන ඕනෑම ස්ථානයක නම් කරන ලද ළමා ආරක්ෂණ නිලධාරීන් සහ පැහැදිලි පැමිණිලි කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු බවයි. දරුවන්ට උපකාර ඉල්ලා සිටිය හැකි ස්වාධීන මාර්ග සඳහා ප්‍රවේශය තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආගමික ආයතන තුළ එම ක්‍රමවේදයන් නැහැ. සමහර අවස්ථාවලදී සාමණේර නමක් අපයෝජනයක් පිළිබඳව පැමිණිලි කළ විට, විමර්ශකයින් ඒ ගැන සන්නිවේදනය කරන්නේ චෝදනාවලට සම්බන්ධ විය හැකි ජ්‍යෙෂ්ඨ භික්ෂුව හරහාමයි. එවැනි තත්ත්වයන් යටතේ සැබවින්ම ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම කළ නොහැක්කක්.
අපරාධ විමර්ශන සහ අධිකරණ ක්‍රියාදාමයන්හිදී පූජ්‍ය පක්ෂයේ සාමාජිකයින්ට විශේෂ සැලකිල්ලක් ලැබෙන බවට චෝදනා පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මෙය එක්තරා දුරකට බලය සහ සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයෙන් ආගම සම්පූර්ණයෙන්ම වෙන් කර නැහැ. මෑතකදී ජනාධිපතිවරයා මෙම ගැටලු ගැන කතා කළ රාජ්‍ය වෙසක් උත්සවයේදී පවා ඊට අදහස් දැක්වූ එක් භික්ෂූන් වහන්සේ නමකටම අපයෝජන චෝදනා එල්ල වී තිබුණා. ගැටලුවේ ගැඹුර ඉන් මනාව නිදර්ශනය වෙනවා. ප්‍රශ්නය පද්ධතිය පුරා පැතිරිලා. ඊට බරපතළ මැදිහත්වීමක් අවශ්‍යයි. නීතිය සැමට එක සේ අදාළ විය යුතුයි. තායිලන්තය වැනි රටවල බරපතළ වරදකට චෝදනා ලැබූ භික්ෂුවකට වහාම සිවුරු හැරීමට සිදු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ චෝදනා ලැබූ භික්ෂූන් වහන්සේලා අධිකරණයේ පෙනී සිටින්නෙත්, සිරගෙදරට යන්නෙත් සිවුරු පිටින්මයි.
ශ්‍රී ලංකාව තුළ විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම මෙම ගැටලුවලට දායක වී තිබේද?
මෙය සාමණේර හිමිවරුන්ට පමණක් සීමා වූ ගැටලුවක් නොවෙයි. එය සියලුම දරුවන්ට බලපානවා. නුසුදුසු හැසිරීම් සහ අපයෝජනය විස්තර කිරීමට දරුවන්ට වචන සහ අවබෝධය අවශ්‍යයි. නිසි ලිංගික අධ්‍යාපනයක් හරහා ඔවුන් ඒ භාෂාව ලබා ගන්නවා. ඒක නැති වුණාම තමන්ට සිදුවන්නේ කුමක්ද කියා ඔවුන්ට තේරුම් ගන්නවත් බැරි වෙන්න පුළුවන්. මම කුඩා කාලයේදී මගේ අත්දැකීම් දෙමාපියන්ට පැහැදිලි කිරීමට මට නොහැකි වුණා. මම කියන්න හැදුවේ මොකක්ද කියලා තේරුම් ගන්න ඔවුන්ටත් බැරි වුණා. ඊට ප්‍රධාන හේතුවක් වුණේ ලිංගික අධ්‍යාපනය සහ දැනුවත්භාවය නොමැතිකමයි.
ශ්‍රී ලංකාව තුළ පවතින එක් දුෂ්කරතාවක් වන්නේ ලිංගික අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයන්ට බෞද්ධ භික්ෂූන්ගේ ඇතැම් කොටස් ඇතුළු ආගමික කණ්ඩායම්වලින් නිතරම ප්‍රතිරෝධයක් එල්ල වීමයි. සමහර භික්ෂූන් වහන්සේලා කුඩා කාලයේදීම පැවිදි ජීවිතයට ඇතුළු වූ අය වන අතර මෙම විෂයයන් ගැන ඔවුන්ට ඇත්තේ ඉතා අඩු නිරාවරණයක්. තවත් අය මේවා තේරුම් ගත්තත් මහජන අධ්‍යාපනයට විරුද්ධ වෙනවා. හේතුව කුමක් වුණත්, එහි ප්‍රතිඵලය වන්නේ දරුවන්ව ආරක්ෂා කිරීමට උපකාරී වන තොරතුරු ඔවුන්ට අහිමි වීමයි. අනෙක් කරුණ වන්නේ සංවේදීතාවයේ (empathy) පවතින හිඩැසයි. භික්ෂූන් වහන්සේලා මෛත්‍රිය සහ කරුණාව මූර්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, බොහෝ භික්ෂූන් වහන්සේලා එම ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වන්නේ නැහැ.
දෙමාපියන්ට සහ සමාජයට ඇති වගකීම් මොනවාද?
දරුවෙකු පැවිදි ජීවිතයට ඇතුළු වීමට කැමති නම්, පවුලේ අය පන්සල, එහි විහාරාධිපති, පරිසරය සහ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින පද්ධතීන් පිළිබඳව හොඳින් විමසා බැලිය යුතුයි. සමහර දරුවන්ට ඇත්තටම භික්ෂූන් වහන්සේලා වීමට අවශ්‍යයි. ඔවුන් එය තෝරා ගන්නේ නම් එම මාර්ගය අනුගමනය කිරීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි. කෙසේ වෙතත්, දෙමාපියන් තම වගකීම නිසි ලෙස ඉටු කළ යුතුයි. දරුවන් පන්සලට යැවීමට පෙර දෙමාපියන් කිසි දිනෙක පන්සලට නොපැමිණි සාමණේර හිමිවරුන් මට මුණගැසී තිබෙනවා. සමහර විට දරුවන් ඥාතීන් මාර්ගයෙන් භාර දෙන අතර, මාස ගණනාවකට පසු පැවිදි කිරීමේ උත්සවයේදී පමණයි දෙමාපියන් පන්සල දකින්නේ. මේ තත්ත්වයන්ට දුප්පත් පවුල් විශේෂයෙන් ගොදුරු වෙනවා.
වෛද්‍ය සහ නීති වෘත්තිකයන් මෙවැනි නඩු වලට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?
එය නිශ්චිත සිදුවීම මත රඳා පවතිනවා. දරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් වෛද්‍යවරුන්ට සහ අනෙකුත් වෘත්තිකයන්ට තිබෙනවා. කෙසේ වෙතත්, අභියෝග මතු විය හැකියි. උදාහරණයක් ලෙස, නඩුවක් විමර්ශනය කරන වෛද්‍යවරයා අදාළ විහාරස්ථානයට විශාල වශයෙන් ආධාර කරන දායකයෙක් නම් කුමක් සිදුවේද? ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන්ම ස්වාධීනව සිටිය හැකිද? අනෙක් අතට, වෛද්‍යවරයා වෙනත් ආගමික ප්‍රජාවකට අයත් නම්, සමහරු සොයාගැනීම් ප්‍රශ්න කර ඔහුට හෝ ඇයට බුදුදහමට හෝ භික්ෂූන්ට පහර දෙන බවට චෝදනා කළ හැකියි. වෘත්තීය ප්‍රමිතීන් එතරම් වැදගත් වන්නේ මේ නිසයි. නිලධාරීන් තම තත්ත්වය නොසලකා සාක්ෂි සහ ස්ථාපිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව කටයුතු කළ යුතුයි. ඒ අතරම, අපයෝජනයෙන් දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් කිසි දිනෙක නීති පද්ධතියට ඇතුළු නොවන බව අපි මතක තබා ගත යුතුයි. මාව අපයෝජනය කළ අය අදටත් ජීවතුන් අතර ඉන්නවා, ඒ වගේම තනතුරු හොබවනවා.
- මෙම තීරුවේ පළ කර ඇති අදහස් සහ මතයන් සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයාගේ වන අතර, එයින් අනිවාර්යයෙන්ම මෙම ප්‍රකාශනයේ අදහස් පිළිඹිබු නොවේ.
(මුල් ලිපිය - ද මෝනිං පුවත්පතේ බුද්ධික සමරවීර විසින් කළ සම්මුඛ සාකච්ඡාවකි).

