කරු පරණවිතාන විසින් රචිත "සසුන සහ රාජ්‍යය" ලිපිය, ශ්‍රී ලංකාවේ නෛතික අනාගමිකභාවය සහ ඓතිහාසික-සංස්කෘතික යථාර්ථය අතර පවතින දෝලනය ගැඹුරින් ප්‍රශ්න කරන්නකි.
අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධ වත්මන් ආන්දෝලනාත්මක සිදුවීම පෙරදැරි කරගනිමින්, ශාසනික විනය පිරිහීම හමුවේ වත්මන් රජය මුහුණ දී ඇති ද්විත්ව දේශපාලන අර්බුදය මෙහිදී මනාව විග්‍රහ කෙරේ. ලිහිල් සංවිධාන ව්‍යුහයක් සහිත භික්ෂු සමාජයට පමණක් තනිව ශාසන විනය රැකිය නොහැකි බැවින්, එදා අතහැර දැමූ "ථෙරවාද භික්ෂු කථිකාවත් පණත" වැනි නීතිමය හා ආයතනික රාමුවක් වහාම ස්ථාපිත කිරීමට රජය මැදිහත් විය යුතු බවත්, සසුනේ පරිහාණිය අවසානයේ රාජ්‍යයේම පරිහාණිය සනිටුහන් කරන බවත් පෙන්වා දෙන මෙම ලිපිය, කාලෝචිත මෙන්ම ප්‍රගතිශීලී දේශපාලන-සංස්කෘතික කියවීමකි.

"සසුන සහ රාජ්‍යය"
නෛතික වශයෙන් ගත් කල ලංකාවේ රාජ්‍ය ආගමක් නැත. බුද්ධාගම පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකට වගන්ති තිබියදීම ලංකාවේ ශ්‍රේෂ්ටාධිකරණය (ශබ්ද දූෂණ නඩුව-සරත් සිල්වා, ව්‍යවස්ථා සංශා්ධන-ශිරාණි තිලකවර්ධන සහ ආයුර්වේද පනත - ත්‍රිපුද්ගල) පෙන්වා දී තිබෙන්නේ ලංකාව අනාගමික රාජ්‍යයක් බවය.
එහෙත් මේ නෛතික පසුබිමට වඩා බලවත් ඓතිහාසික සාධකයක් ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවේ එනම්, "බුද්ධ ශාසනය පිරිහෙන විට ලංකා රාජ්‍යය පිරිහේ" යන්නය. එය හුදෙක් ව්‍යවස්ථාවකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. රාජ්‍යයයෙන් ආගම වෙන් කළ යුතුයැයි විශ්වාස කරන නිරාගමික ලෞකිකවාදීන් කෙතරම් අසතුටට පත්විය හැකි වුවද ඉහත උපුටා දැක්වු වැකිය බහුතර ජනයා සිංහල බෞද්ධයන් වූ ශ්‍රී ලංකා රාජ්‍යය සම්බන්ධයෙන් යථාර්ථයකි.
බුද්ධශාසනයේ උන්නතිය වෙනුවෙන් මැදිහත් නොවී ලංකාවේ රාජ්‍යය ස්ථාවරව පවත්වාගත හැකි නොවේ. මෙය කවර ලෞකිකවාදී අදහස් දරණ ආණ්ඩුවක් බලයට පත්වුවද මුහුණ දීමට සිදුවන යථාර්ථයකි. හින්දුත්ව අදහස සම්බන්ධයෙන් ඉන්දියාවේ තත්වයද මෙයට තරමක් සමානය.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ සිදුවීම ශාසන පරිහාණියේ දරුණු බව දැඩිව ඉස්මතු කරතිබෙන සිදුවීමකි.මේ නායක හිමිනමට එල්ලවී තිබෙන චෝදනාව ඉතාමත් බරපතලය. සාමාන්‍ය භික්ෂුවකට නොව ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක වැජඹුන උන්වහන්සේට එල්ලවී තිබෙන චෝදනාව සමාජයේ හෘද සාක්ෂිය බරපතළ ලෙස තුවාලකර තිබෙන චෝදනාවකි. එහෙයින් මේ නායක හිමි සම්බන්ධ නඩු විභාගය සිදුවන ආකාරය සහ එහි තීන්දුව කුමක් වුවත් එම තීරණය සමාජ හෘද සාක්ෂිය රිදුම් දෙන්නක් බව සැකයක් නැත.
එහෙයින් මේ අධිකරණ විමර්ශනය අගති විරහිතව සිදුකිරීම සඳහා යුක්තිය පසිඳලන අධිකරණයට දිය යුතු සහය විනිවිද පෙනෙන අයුරින් සිදුකිරීම රජයේ වගකීමය.
දැනටමත් රජයට චෝදනා දෙකක් එල්ලවී ඇත. පළමුවන චෝදනාව එල්ල වන්නේ රජය බලයට පත්කීරීමට වෙහෙස මහන්සිවුන, විශේෂයෙන් මෙවන් රජයක් පිහිටුවීම වෙනුවෙන් සමාජය තුළ හිතකර මතවාදයක් නිර්මාණය කළ පාර්ශ්ව වෙතිනි.
ඔවුන්ගේ චෝදනාව වන්නේ රජය වින්දිතයා අමතක කර බලවන්තයාගේ පැත්ත ගෙන ඇති බවත් චෝදනාලාභී හිමිනමට වාසි සහගත ලෙස කටයුතු කරමින් තමන් ලද ජනවරමට පිටුපාමින් තිබෙන බවත්ය. අනෙකුත් පාර්ශ්වයක් පවසන්නේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ආණ්ඩුවක් බවත් බුද්ධශාසනයට හානිවන හැම සිද්ධියක්ම උලුප්පා ඉස්මතු කරමින් ආණ්ඩුව සුළුතර ආගම් හමුවේ දීන වන්නටත් බහුතර ආගම හමුවේ නිරාගමිබවක් ආරූඪ කරගනිමින් බහුතර ජනයාගේ සංස්කෘතියට පහර දෙමින් සිට්න බවත්ය.
ආණ්ඩුව මේ චෝදනාව දෙකින් එකකටවත් සාර්ථකව පිළිතුරු දී නැති බැවින් මේ චෝදනා දෙකම ඇසුරින් නව දේශපාලන ආඛ්‍යාන ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ.
ශාසනයේ විනය පිරිහීම බුදුන්වහන්සේගේ කාලයේ සිටම පැවතෙන කලින් කලට ඉස්මතු වන සිදුවීමකි. එසේම ශාසන පරිහාණිය දුරුකර සසුනේ උන්නතිය වෙනුවෙන්ද කලින් කලට භික්ෂු සමාජය තුළින් මෙන්ම රාජ්‍යය තුළින්ද විවිධ පියවර ගෙන තිබේ. මේ එළඹී ඇත්තේ බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් භික්ෂුන් වහන්සේ මෙන්ම රජයද පුරෝගාමීව මැදිහත් විය යුතු මොහොතකි.

ශාසන පරිහාණිය වළක්වා ගැනීම භික්ෂූන් වහන්සේට තනිවම කළ හැකි කටයුත්තක් නොවේ. සිංහල බුදු සසුන තවමත් සංවිධානය වී තිබෙන්නේ දැඩි මධ්‍යගත ආකෘතියකින් මෙහෙය විය නොහැකි ලිහිල් ආයතන පද්ධතියක් ලෙසය. එහෙයින් එම ලිහිල් භාවයේ බාධාව ජයගත හැකි ආයතනයක මැදිහත්වීම අත්‍යවශ්‍යය.එම ආයතනය රාජ්‍යයි.
රටේ පොදු නීතියටත් ශාසන නීතියටත් දෙකටම යටත් ඒ දෙකට ගරුකරන භික්ෂුන් වහන්සේ නමක් බිහිකරගැනීමට රජය අනිවාරයෙන්ම මැදිහත් ව්ය යුුතුය. එම හැකියාව ඇත්තේ රජයට පමණි.මෙය තමන්ට අයත් කටයුත්තක් නොවන්නේ යැයි රජයක් පහසුවෙන් අතපිස දමාගත හැකි වුවද ශාසන පරිහාණිය නිසා සිදුවන රාජ්‍යය පරිහාණිය දේශපාලන පරිහාණියක් ලෙස මතුවන විට එම දේශපාලන ප්‍රශ්නයට පිළිතුරු නොසොයා රජයකට පැවතිය නොහැකිය.
ශාසනයේ උන්නතිය වෙනුවෙන් රජය මැදිහත් වීමට උත්සාහග ගත් මෑත කාලීන එක් වැදගත් අවස්ථාවක් වන්නේ ථෙරවාද භික්ෂු කථිකාවත් පණත් කෙටුම්පතයි. එය භික්ෂූන්ගේ විනය පිරිහිීම පිළිබඳ ගැටලුව විසඳීම අද පවතින තත්වයට වඩා පැහැදිලිවම සාධනීයව ඉදිරියට ගෙන ගිය ක්‍රියාමාර්ග යෝජනා කළ පනත් කෙටුම්පතකි. එහි සමහර තාක්ෂණික දෝෂ තිබු බව ඇත්තකි. එහෙත් එයට රටේ බහුතර භික්ෂූන් වහන්සේ සහයෝගය තිබෙන බව පැහැදිලිවම පෙනෙනන්ට තිබුණි.
විරුද්ධ වුයේ බලවත් භික්ෂු පාර්ශ්ව කිහිපයක් පමණි. විශාලම අඩුපාඩුව වුයේ එවැනි ඉදිරිගාමී පණත් කෙටුම් පතක් සමිබන්ධයෙන් අවශ්‍ය භික්ෂු සහයෝගය ලබා ගැනීම සඳහා පිළිගත හැකි මැදිහත් කරුවකු එම රජය තුළ නොසිටීමය. දේශපාලන විරෝධතා මතුවෙද්දි එය ඉදිරියට ගෙන යාමට තරම් ධෛර්යයක් යහපාලන ආණ්ඩුවේ නායකත්වයට නොතිබිණි. එම පණත් කෙටුම්පත නිර්මාණය කළ විජේදදාස රාපක්ෂ මහතාද විරෝධතා හමුවේ හුදෙකලා වී පනත් කෙටුම්පත අත්හැර දමන ලදී.
නමුත් මේ වන විට තත්වය එදාටත් වඩා බෙහෙවින් උඩුදුවා ඇත. මේ සංකීර්ණ ගැටලුව වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය යන ඉල්ලීම භික්ෂූන් වෙතද රජය වෙතද ඉතා දැඩිව යොමුවෙමින් තිබේ..එදා විරුද්ධ වුවන්ද අද මෙවැන්නක් අවශ්‍යය යැයි හඬ නගන්නට පටන් ගෙන ඇත.
එහෙයින්, තමන් දරමින් සිටින ඒකාකෘතික මතවාද වලින් බිමට බැස, රාජ්‍යයේත් ශාසනයේත් උන්නතිය වෙනුවෙන් භික්ෂු කථිකා පණත් වැනි නීතියක් හා එයට අදාල ආයතන පද්ධතියක් ගොඩ නැගීමට රජය කටයුතු කළ යුතුව තිබේ.
පසු සටහන
කරු පරණවිතාන විසින් ඉහත ලිපිය පළ කිරීමෙන් පසුව ශාසන ශෝධන ධර්මසංගායනාවක් සඳහා මැදිහත් වන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ වෙත යවා තිබෙන ලිපියත් ජනාධිපති අනුර දිසානායක ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා කර තිබෙන යෝජනාවක් පිළිබඳ ප්රවෘත්තියත් දැකගැනීමට ලද බවත් එම කාරණා දෙකම ඔහුගේ ලිපියේ මුලික අදහසට එකඟ බවත් දක්වා ඇත.

