SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

එළඹෙන මැයි 9 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹෙන “අලි-මිනිස් සාමය සඳහා දෙහි වැටක්” වැනි

පරිසර හිතකාමී, ප්‍රජාව සවිබල ගන්වන ව්‍යාපෘති අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීමේ ලා තබන ලද අතිශය ප්‍රගතිශීලී පියවරකි. ප්‍රචණ්ඩත්වය වෙනුවට ස්වභාවික බාධකයක් යොදාගැනීමත්, කාන්තාවන් ආර්ථිකව බලගැන්වීමත් මෙහිදී පැසසිය යුතු කාරණා වේ. එහෙත්, පුළුල් පාරිසරික සහ සමාජ-දේශපාලනික දෘෂ්ටිකෝණයකින් බලන කල මතු වන ප්‍රබල ගැටලුවක් තිබේ: මෙම ‘කොළ පැහැති’ විසඳුම් සැබැවින්ම ගැටුමට ඇති තිරසාර පිළිතුරුද?

 

 

පිළිතුර සෙවීමේදී අප ගැටුමේ මූලික හේතුව සහ අප එය කළමනාකරණය කිරීමට තෝරාගෙන ඇති පාර අතර පවතින අතිවිශාල නොගැලපීම (Gap) විවෘතව විශ්ලේෂණය කළ යුතුය.

 

 

ගැටුමේ මූලය සහ කළමනාකරණයේ මුලාව

 

අලි_වැට_5.jpeg

 

 

අලි-මිනිස් ගැටුම යනු අහම්බයක් හෝ ස්වභාවික ව්‍යසනයක් නොවේ. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද අර්බුදයකි. කැලෑ එළිපෙහෙළි කිරීම, අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හරහා අලිමංකඩ අවහිර කිරීම සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය මීට ප්‍රධාන හේතු වේ. වෙනත් වචනවලින් කිවහොත්, ගැටුමේ මූලය ඇත්තේ 'අලියා ගමට පැමිණීම' තුළ නොව, 'ගම සහ සංවර්ධනය අලියාගේ නිවහන ආක්‍රමණය කිරීම' තුළය.

 

නමුත්, දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ කළමනාකරණ උපාය මාර්ග ගොඩනැගී ඇත්තේ රෝග නිධානයට ප්‍රතිකාර කිරීමට නොව, රෝග ලක්ෂණ යටපත් කිරීමටය.‍

 

  • රෝග නිධානය: අලි ඇතුන්ගේ වාසස්ථාන සහ ආහාර මූලාශ්‍ර අහිමි වීම.

  • රෝග ලක්ෂණය: කුසගින්නේ සිටින අලියා ආහාර සොයා ගම් වැදීම.

 

 

අපගේ සියලුම කළමනාකරණ ක්‍රමවේදයන්—එය විදුලි වැටක්, අලි වෙඩිල්ලක්, අගලක් හෝ ජෛව වැටක් (Bio Fence) වේවා—ඉලක්ක කරන්නේ මෙම රෝග ලක්ෂණය පාලනය කිරීමටයි. ගැටුමේ සැබෑ හේතුව ආමන්ත්‍රණය නොකරන තාක් කල්, කිසිදු වැටකට දිගුකාලීන තිරසාරත්වයක් සහතික කළ නොහැක.

 

 WhatsApp_Image_2026-05-06_at_22.06.jpeg

 

සංකේතීය පර්යාය සහ යථාර්ථය අතර ඝට්ටනය

 

මෙම නොගැලපීම තේරුම් ගැනීම වඩාත් ගැඹුරු අරුතක් සපයයි. සමාජයක් ලෙස අප ජීවත් වන්නේ නීති, මායිම් සහ ව්‍යුහයන්ගෙන් සැදුම් ලත් 'සංකේතීය පර්යායක්' (Symbolic Order) තුළය. මිනිසා විසින් නිර්මාණය කරන ඕනෑම 'වැටක්' (එය විදුලි වැටක් හෝ දෙහි වැටක් වේවා) මෙම සංකේතීය ලෝකයේ සීමා මායිම් නියෝජනය කරයි. අප සිතන්නේ එම මායිමෙන් එහා පැත්තේ වනජීවීනුත්, මෙහා පැත්තේ මිනිසාත් සාමකාමීව ජීවත් වනු ඇති බවයි.

 

 

නමුත්, කුසගින්න, පිපාසය සහ තම සහජ භූමිය අහිමි වීමේ කටුක 'යථාර්ථය' (The Real) කිසිදු සංකේතීය මායිමකට යටත් නොවේ. මහා පරිමාණ සමාගම් සහ දේශපාලන අධිකාරිය විසින් සිදු කරන අවිධිමත් සංවර්ධනයේ අසීමිත 'අතිරික්ත වින්දනය' නොහොත් විනෝදය (Jouissance) හේතුවෙන් අලියාගේ ජීවන අවකාශය තවදුරටත් හැකිලී යමින් පවතී. මෙම ක්‍රියාවලිය විසින් පද්ධතිය තුළ ඇති කරන ලද දැවැන්ත 'අඩුව' (Lack)—එනම් වාසස්ථාන අහිමි වීම—හුදෙක් ගම වටා මායිමක් තැනීමෙන් පුරවාලිය නොහැක. යථාර්ථයේ කෲරත්වය අපගේ සංකේතීය වැටවල් කඩාගෙන පැමිණීම නොවැළැක්විය හැකිය.

 

 

එසේනම්, ‘දෙහි වැට’ වැනි ප්‍රවේශයන් නිෂ්ඵලද?

 

අලි_වැට_2.jpeg

 

 

කිසිසේත්ම නැත. රාජ්‍ය මට්ටමේ දැවැන්ත ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවන තුරු, ග්‍රාමීය ජනතාවට තම ජීවිත සහ වගාවන් ආරක්ෂා කර ගැනීමට ක්ෂණික සහ ප්‍රායෝගික යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. ඒ සඳහා 'දෙහි වැට' වැනි සංකල්ප අත්‍යවශ්‍ය වන්නේ හේතු කිහිපයක් නිසාවෙනි:

 

  1. ප්‍රචණ්ඩත්වයෙන් වියුක්ත වීම: අලි වෙඩි සහ හක්කපටස් වැනි අමානුෂික ක්‍රම වෙනුවට, සතාටත් මිනිසාටත් හානියක් නොවන ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම.

  2. සහජීවනයට ඇති මානසික සූදානම: අලියා යනු 'මරා දැමිය යුතු සතුරෙකු' යන මානසිකත්වයෙන් මිදී, ස්වභාවික බාධක හරහා ගැටුම මඟහරවා ගැනීමේ මනෝභාවයක් (Psychological shift) ප්‍රජාව තුළ ඇති කිරීම.

  3. ප්‍රායෝගික ආර්ථික වාසි: නඩත්තු කිරීමට අධික පිරිවැයක් යන, නිතර කැඩී බිඳී යන විදුලි වැටවල් වෙනුවට, ආර්ථික වටිනාකමක් ජනනය කරන (Income-generating) ස්වයං-නඩත්තු වන පද්ධතියක් ගොඩනැගීම.

 

සැබෑ තිරසරභාවය කරා යන මාවත

 

අලි_වැට_4.jpeg

 

අනුරාධපුරයෙන් ඇරඹෙන දෙහි වැට ව්‍යාපෘතිය අලි-මිනිස් ගැටුම සමනය කිරීමේ විශිෂ්ට උත්ප්‍රේරකයක් වුවද, එය 'එකම සහ අවසන්' විසඳුම ලෙස අර්ථකථනය කිරීම අනතුරුදායකය. එය ගැටුම් කළමනාකරණයේ (Conflict Management) එක් සාර්ථක මෙවලමක් පමණි. ගැටුම් නිරාකරණය (Conflict Resolution) සඳහා ඊට වඩා විශාල පියවර අවශ්‍ය වේ.

 

සැබෑ තිරසරභාවය ඇතිවන්නේ මෙම 'කොළ පැහැති' ප්‍රාදේශීය විසඳුම්, පහත දැක්වෙන සාර්ව-මට්ටමේ (Macro-level) ජාතික ප්‍රතිපත්ති සමඟ සමපාත වූ දාට පමණි:

 

  • ඉතිරිව ඇති වන ගහනය සහ අලිමංකඩවල් දැඩි නීති මගින් ආරක්ෂා කිරීම.

  • දූෂිත දේශපාලන-ව්‍යාපාරික මැදිහත්වීම් මත සිදුවන ඉඩම් කොල්ලය නැවැත්වීම.

  • ජාතික භූමි පරිහරණ සැලැස්මක් (National Land Use Policy) දැඩිව ක්‍රියාත්මක කිරීම.

 

 

අවසාන වශයෙන්, දෙහි වැටකින් අප කරන්නේ ගමට එන අලියා ආපසු හැරවීමයි. නමුත් අලියාට ආපසු හැරී යාමට කැලයක් ඉතිරි කර නොමැති නම්, කුමන හෝ දිනෙක කුසගින්න නැමති යථාර්ථය විසින් සියලු වැටවල් බිඳ දමනු ඇත. එබැවින්, ගමේ මායිමට 'සාමයේ දෙහි වැටක්' බඳින අතරම, අලියාගේ කැලය කොල්ලකන ක්‍රමවේදයට එරෙහිවත් අප ප්‍රබල මායිමක් ගොඩනැගිය යුතුව ඇත. නැතහොත් මෙයත් රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධානයක වාර්ෂික අරමුදල ලබාගැනීමේ, වෙන්කිරීමේ හා වියදම් කිරීමේ පින්තූර උත්සවයක තවත් එකක් පමණක් වනු ඇත. සැබෑ සහජීවනය උදා වනු ඇත්තේ එවිටය.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි