SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලෝකයේ දියුණුතම, විනයගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ජපානය ජාත්‍යන්තරය හමුවේ පෙනී සිටින්නේ අභිමානයෙනි.

එහෙත්, එම දිදුලන ප්‍රතිරූපයට යටින් පවතින අඳුරු, අමානුෂීය සහ කෲර නීතිමය භාවිතාවන් පිළිබඳ කටුක සත්‍යය යළිත් වරක් කරළියට පැමිණ තිබේ. ඒ, ජපානයේ ඉබාරකි පළාතේ සුචියුරා (Tsuchiura) පොලිස් ස්ථානයේ මාස තුනකට අධික කාලයක් රඳවාගෙන සිටි විචක්ෂණ නමැති 22 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවාගේ අභිරහස් මරණයත් සමඟය.

 

 

මෙම ඛේදවාචකය හුදෙක් තනි පුද්ගල මරණයක් පමණක් නොව, ජපානයේ ඊනියා "යුක්තියේ පද්ධතිය" තුළ විදේශිකයන් මුහුණ දෙන අසරණභාවය සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.

 japan_5.jpeg

japan_4.jpeg

 

චෝදනා නැත; ඇප නැත: මාස තුනක 'සිරගත කිරීම'

සිද්ධිය සැකවින් විමසා බැලීමේදී පෙනී යන්නේ, ඉකුත් පෙබරවාරි 22 වැනිදා සුචියුරා නගරයේ වෙළෙඳසලකින් බඩු සොරාගත් බවට එල්ල වූ සැකයක් මත විචක්ෂණ සහ තවත් තරුණියක පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. වැදගත්ම කරුණ නම්, අධිකරණය හමුවේ එම චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම නිසා නඩුව දිනෙන් දින කල් ගොස් තිබීමයි.

 

චෝදනා තහවුරු වී නොමැති, උපකල්පිත සැකකරුවෙකු මාස තුනක් වැනි දීර්ඝ කාලයක් පොලිස් කූඩුවක (Dai-san Keisatsukan) රඳවා තැබීම ශිෂ්ට සම්පන්න සමාජයක අනුමත කළ හැක්කක් නොවේ. ජපානයේ පවතින "ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ අධිකරණ ක්‍රමය" (Hostage Justice System) ලෙස ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්වන ක්‍රමවේදය මෙහිදී ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය. සැකකරුවන්ගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගන්නා තෙක් ඔවුන්ට ඇප නොදී, නීතිඥ සහාය සීමා කරමින් දීර්ඝකාලීනව රඳවා තැබීම මෙම ක්‍රමයේ ස්වභාවයයි.

 

"මුන් ඒවා ගණන් ගන්නෙ නෑ": ම්ලේච්ඡ නොසැලකිල්ල

මියගිය සිසුවා සිය සහෝදරිය වන සත්‍යානි ශාක්‍යා වෙත අවසන් වරට කල ප්‍රකාශයන්ගෙන් හෙළි වන්නේ ජපන් පොලිසියේ ඇති අතිශය ම්ලේච්ඡ සහ අමානුෂීය මුහුණුවරයි. ශරීර සෞඛ්‍යය පිරිහෙමින්, ඔළුවේ සහ පපුවේ දැඩි වේදනාවකින් පෙළෙමින් සිටි විචක්ෂණ, ඒ බව පොලිසියට පැවසූවද ඔවුන් එය "ගණන් නොගත්" බව පවසා ඇත.

 

"මුන් ඒවා ගණන් ගන්නෙ නෑ. කී පාරක් කිව්වද" යනුවෙන් මියයාමට පෙර එම තරුණයා පවසා ඇති වදන්, ජපන් පොලිසියේ වගකිවයුත්තන්ගේ හෘද සාක්ෂියට එල්ල කරන මාරාන්තික පහරකි.

 

රැඳවුම් භාරයේ සිටින අයෙකුගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම පාලකයින් සතු වුවද, විදේශිකයෙකු වීම නිසාම ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර පවා අහිමි කර ඇති බව පෙනේ. මෙය වක්‍රව සිදුකළ ඝාතනයක් මිස අන් යමක්ද?

 
japan_2.jpeg

japan_3.jpeg

 

යුක්තිය වැළලීමට දැරූ උත්සාහය සහ ජපන් මාධ්‍යවල නිහඬතාවය

විචක්ෂණගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදරිය සිදුකළ පැමිණිල්ල බාරගැනීම ජපන් පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එමෙන්ම මළසිරුර ලංකාවට එවීම පැහැර හරිමින් තවමත් මෝචරියක තැන්පත් කර තැබීම පිටුපස ඇත්තේ බරපතළ සැකයකි. මරණයට හේතුව වසන් කිරීමට හෝ සාක්ෂි විනාශ කිරීමට පොලිසිය උත්සාහ කරන්නේද යන්න මින් සැක මතු වේ.

 

මීට පෙර 2021 වසරේදී ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේදී "විෂ්මා සඳමාලි" නමැති ලාංකික තරුණියද මෙලෙසම වෛද්‍ය නොසැලකිල්ල හේතුවෙන් මියගියාය. එදා ඇතිවූ ජාත්‍යන්තර බලපෑම හමුවේ ජපන් රජය කණගාටුව ප්‍රකාශ කළද, ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව විචක්ෂණගේ මරණයෙන් සනාථ වේ.

 japan_1.jpeg

ජපන් මාධ්‍ය පවා මෙවැනි සිදුවීම් වාර්තා කරන්නේ අතිශය සීමිත සහ පක්ෂග්‍රාහී ස්වරූපයකිනි. බොහෝවිට විදේශිකයා 'වැරදිකරුවෙකු' ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරනවා මිස, තමන්ගේම රටේ පද්ධතියේ ඇති කෲරත්වය ප්‍රශ්න කිරීමට ඔවුන් මැලි වෙති.

 

ශ්‍රී ලංකා රජයේ සහ තානාපති කාර්යාලයේ වගකීම

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ සහ ශ්‍රමිකයන්ගේ ජීවිතවලට රැකවරණය දීම තානාපති කාර්යාලවල මූලිකම වගකීමකි. නීතිඥ සහාය ලබාදීමට එහා ගොස්, තම පුරවැසියෙකු මාස තුනක් තිස්සේ චෝදනාවලින් තොරව රඳවාගෙන සිටින විට ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ප්‍රශ්න කිරීමට තානාපති කාර්යාලය අපොහොසත් වූයේ ඇයිද යන්න ගැටලුවකි. විචක්ෂණගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ලංකා රජය වහාම මැදිහත් විය යුතුය.

 

 

දියුණු යටිතල පහසුකම් හෝ ආර්ථික සමෘද්ධිය තිබූ පමණින් රටක් "ශිෂ්ට සම්පන්න" වන්නේ නැත. ශිෂ්ට සම්පන්න බව මැනිය හැක්කේ එම රටේ වෙසෙන වඩාත්ම අසරණ මිනිසාට (ඔහු විදේශිකයෙකු වුවද) සලකන ආකාරයෙනි. 22 හැවිරිදි විචක්ෂණගේ සිහිනයන් ජපන් පොලිස් කූඩුවක් තුළ සදහටම වැළලී ගියේ, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත ලොවටම ප්‍රදර්ශනය කරමිනි. මෙම ම්ලේච්ඡ භාවිතාවන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම ශ්‍රී ලාංකේය සමාජයද එක්ව හඬ නැඟිය යුතුව ඇත. නැතහොත්, හෙට දිනයේ ජපානයට යන තවත් අහිංසක දරුවෙකුට මෙම ඉරණම අත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 

#නිරෝමි සුබ්‍රමනියම් 

නවතම ලිපි