SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය යළි යළිත් මහා පරිමාණ ප්‍රසම්පාදන වංචාවේ ගොදුරක් බවට පත්වෙමින් තිබේ.

ඒ, නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා MV JOSCO YONGZHOU නැව මගින් රැගෙන විත් ඇති, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින බාල ගල් අඟුරු තොගය හේතුවෙනි.

 

 

මෙම බාල ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාවට එරෙහිව නැගුණු දැවැන්ත ජන විරෝධය හමුවේ විෂය භාර හිටපු අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය. එහෙත්, ඔහු දැන් නැවතත් එම අමාත්‍ය පුටුවට පැමිණීමේ දැඩි බලාපොරොත්තුවකින් පසුවන බව දේශපාලන කරළිය තුළ රහසක් නොවේ. ඒ වෙනුවෙන් මීඩියා කැම්පේන්ද ආරම්භ වෙමින් පවතී. කෙසේ වුවද ඔහුගේ විෂය පථය තුළ සිදුකළ මෙම අත්තනෝමතික බාරදීම් හා දූෂිත ගනුදෙනුවල බරපතල විපාක තවමත් රටටත් මහජනතාවටත් අත්විඳීමට සිදුවී ඇති බව වත්මන් අර්බුදයෙන් මනාව පැහැදිලි වේ.

 

 මැයි_26_ගල්_අඟුරු_තරංජොත්_ප්_රතික්ෂේප_කළ_යුතුයි-1.jpeg

මැයි_26_ගල්_අඟුරු_තරංජොත්_ප්_රතික්ෂේප_කළ_යුතුයි-2.jpeg

විමර්ශනය ඉතිහාසය හදාරද්දී බාල ගල්අඟුරු මාෆියාව නොනවත්වා ක්‍රියාත්මකයි...

රටේ බලශක්ති ක්ෂේත්‍රය මුළුමනින්ම අර්බුදයකට ඇද දමා ඇති මෙම මහා පරිමාණ ගල්අඟුරු මාෆියාවේ මෙහෙයුම් ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ, විමර්ශන කොතෙක් සිදු වුවද දේශපාලන රැකවරණය මැද එය නොනවත්වා ක්‍රියාත්මක වන බවයි.

 

ෆ්‍රී ලෝයර්ස් (නිදහස් නීතීඥයින්ගේ) සංවිධානය සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ මෑතක දී, ‘සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කළ යුතු බාල ප්‍රමිතියේ’ නැවක් මෙරටට පැමිණ ඇති පළමු අවස්ථාව Taranjot Resource (pvt) Ltd විසින් සිදු කළ මෙම ගනුදෙනුව බවයි.

 

එම සංවිධානය ජාතික විගණන කාර්යාලය විසින් 2026 අප්‍රේල් 2 දින සකස් කරනු ලැබූ විශේෂ වාර්තාවේ 6.6.3 වගන්තිය ඍජුවම උපුටා දක්වමින් මෙසේ අනාවරණය කරයි:

 

"ලියාපදිංචියට පෙර සපුරා තිබිය යුතු සමාගම විසින් අපේක්ෂා කරන ලද ප්‍රමිතියට හෝ ගල්අඟුරු සැපයීමට අපොහොසත් වී තිබුණු Taranjot Resource (pvt) Ltd සමඟ 2026 මාර්තු 30 දින ගිවිසුම්ගත වී තිබුණු බව නිරීක්ෂණය විය."

 

නිදහස් නීතීඥයින්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මීට පෙර ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් Trident Champhar Limited සමාගම පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසුවද , රජය සිදුකළ හදිසි මිලදී ගැනීම් යටතේ තවත් ටෙන්ඩරයක් මෙලෙස Taranjot Resource (pvt) Ltd වෙතම ප්‍රධානය කිරීමට කටයුතු කර තිබූ බවයි. මෙලෙස නුසුදුසු සහ ප්‍රමිතිය පැහැදිලිවම පැහැර හැර ඇති සමාගමකට ටෙන්ඩරය බාරදීම හිටපු අමාත්‍යවරයාගේ විෂය පථය තුළ සිදුවූ බරපතලම වරදකි. ඊට පෙර මෙරටට රැගෙන ආ ගල් අඟුරු නැව් 18ක්ම යම් යම් දඩ මුදල්වලට යටත් කරමින් මුදල් ගෙවා ගොඩබා තිබුණද , ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ‘තත්වයෙන් වඩාත්ම බාල’ නැව සැපයීමට තරම් ටැරන්ජොට් සමාගම අද වන විට සාහසික වී ඇත.

 

තාක්ෂණික සාක්ෂි: ගල්අඟුරු වෙනුවට රටට ලැබුණු අළු තොගය

දකුණු අප්‍රිකාවේ Richards Bay Coal Terminal වරායෙන් 2026 අප්‍රේල් 28 සහ 29 දෙදින මෙරට බලා යාත්‍රා කළ MV JOSCO YONGZHOU නැවට බිටුමිනස් වර්ගයේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 59,766 ක් පටවා ඇත. Bureau Veritas Inspectorate Laboratories මගින් 2026 අප්‍රේල් 30 දින ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂ සුජන්ත රත්නායක වෙත යොමු කර ඇති නිල පැටවුම් වරාය වාර්තාවට (Load Port Report) අනුව එහි අළු ප්‍රතිශතය (Ash Content) ඒකක 16.8 ක් ලෙස සටහන්ව තිබේ.

 

 

නිදහස් නීතීඥයින්ගේ සංගමය පෙන්වා දෙන්නේ ලංකා ගල්අඟුරු සමාගමේ නිල ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටසෙහි (LCC Reject Values for Coal) ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ අළු ප්‍රතිශතය 16% ඉක්මවන්නේ නම් එම ගල්අඟුරු තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ඒ අනුව, මෙම නැවෙහි ගල් අඟුරු වෙනුවට වැඩිපුරම පවතින්නේ අළු වන අතර , දඩ ගැසීමකින් පසුව හෝ මෙය මිලදී ගැනීමට ලංකා රජයට කිසිදු නෛතික අවකාශයක් නොමැති බව ඔවුන් තහවුරු කරයි.

 

 

බිලියන 20ක මූල්‍ය විනාශය සහ 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයේ චෝදනා හා යෝජනා

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ලබා මිලදී ගැනීම හේතුවෙන් මේ වන විට රජයට සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 20 කට වඩා වැඩි බව විවිධ පාර්ශව විසින් කරුණු දක්වා ඇත. එමෙන්ම, බාල ගල් අඟුරු සැපයූ සමාගම්වලට ගෙවීම් නොකර සිටීමට දැනටමත් රජය කෝටි 960ක මුදලක් රඳවාගෙන තිබෙන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ද පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබිණි.

 

මේ අරාජික තත්ත්වය හමුවේ නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ (මාධ්‍ය විමසීම්) යන අයගේ අත්සනින් යුතුව ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ (Free Lawyers) විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනය මගින් රජයට සහ වගකිවයුතු ආයතන වෙත දැඩි චෝදනා එල්ල කරමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරයි:

 

  1. ගොඩබෑම සහ මුදල් ගෙවීම් වහාම නැවැත්වීම: දැනට නොරොච්චෝලට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙම නැව ගොඩබෑම සිදු නොකළ යුතු බවත් , යම් හෙයකින් මෙම ගල්අඟුරු ගොඩබානු ලැබුවද රජයේ මුදල් රෙගුලාසි අනුව මීට කිසිදු ගෙවීමක් කිරීමට ගල්අඟුරු සමාගමට නෛතික හැකියාවක් නොමැති බවත් සංවිධානය අවධාරණය කරයි.

  2. ස්ථානීය සහ විධිමත් විමර්ශන ඇරඹීම: ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය සහ තාක්ෂණික කමිටු මගින් වහාම විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුය. එමෙන්ම, ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු කමිටු සහ විගණන කාර්යාලය මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ යුතු අතර, ගල්අඟුරු කොමිෂන් සභාව වහාම මේ පිළිබඳ විමසිය යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි.

  3. Taranjot සමාගමේ ගිවිසුම අහෝසි කිරීම (Termination): දිගින් දිගටම මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු (අළු) රැගෙන එමින් ජාතික ධනය මංකොල්ලකන Taranjot Resource (pvt) Ltd සමාගම සමඟ ඇති ගිවිසුම වහාම අහෝසි කර (Terminate) ඔවුන් කළු ලැයිස්තුගත කළ යුතු බවට නිදහස් නීතීඥයින්ගේ සංගමය යෝජනා කර සිටී.

 

 

තමන් කළ වැරදි වසාගනිමින්, ජනතා විරෝධය හෑල්ලුවට ලක් කරමින් යළිත් අමාත්‍ය ධුරයන්ට පත්වීමට මාන බලන්නේ නම් එවන් දේශපාලන අභිලාෂයන්ට වැට බැඳිය හැක්කේ, නිදහස් නීතීඥයින්ගේ සංගමය පෙන්වා දෙන පරිදි මෙම දූෂිත සමාගම්වලට එරෙහිව දැඩි තීන්දු ගැනීමෙන් පමණි. එබැවින්, ජාතික සම්පත් සුරැකීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ විනිවිදභාවය වෙනුවෙන් මෙම දූෂිත ගනුදෙනුවලට එරෙහිව සමස්ත සමාජයම එක පෙළට නැගී සිටිය යුතුය.

 

නවතම ලිපි