මුදල් සංසරණය සහ ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොමැති පුද්ගලයින් විසින්
සිදුකරනු ලබන නොමග යවන සුළු ප්‍රකාශ සහ විග්‍රහයන් කෙරෙහි නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, විශේෂයෙන්ම මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම වැනි සංකීර්ණ ආර්ථික කරුණු පිළිබඳව අදහස් දැක්වීම නිසි තාක්ෂණික හා ආර්ථික දැනුමකින් යුතුව පමණක් සිදු කළ යුත්තක් බවයි. එහෙත්, මේ දිනවල කිසිදු විෂයබද්ධ දැනුමක් නොමැති පුද්ගලයන් විසින් සමාජය තුළ ප්‍රචාරය කරනු ලබන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුව ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි. එමනිසා, එවැනි පුද්ගලයින්ගේ ප්‍රකාශ ගණන් නොගන්නා ලෙස මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.
ඉන්දීය ආර්ථික උපදේශකයින්ගේ හදිසි පැමිණීම
මේ අතරතුර, රජයට සම්බන්ධ විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ රජය තවත් විශේෂ පියවරක් ගැනීමට සූදානම් වන බවයි.
ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රුපියල කඩාවැටීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වයට සහාය වීම සහ ඒ පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා ඉන්දීය ජාතික ආර්ථික උපදේශකයින් දෙදෙනෙකු හදිසියේම දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම ආර්ථික උපදේශකයින්ගේ පැමිණීම, රුපියලේ අගය ස්ථාවර කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලබන කඩිනම් පියවරක් ලෙස සැලකේ.

