වත්මන් ශීඝ්‍රගාමී, ගෝලීය වශයෙන් එකිනෙකාට සම්බන්ධ වූ ලෝකයක, නවීනත්වය පිටුපස හඹා යාම ඉතා පහසු ය.
එබැවින් අප නිරන්තරයෙන් ලොව නන් දෙසින් එන අදහස්, විලාසිතා ආදී විවිධ බලපෑම්වලින් වට වී සිටින්නෙමු. එලෙස නූතනත්වය වැළඳ ගැනීම ආකර්ෂණීය වුවත්, අප පැමිණි ගමන් මඟ ගැන මදක් නැවතී සිතා බැලීම ද ඉතා වැදගත් ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට, එම ගමනේ දී ලද බුදු දහමෙහි ගැඹුරු සහ දිගුකාලීන බලපෑම අමතක කළ නොහැකියි.
ඉන්දියන් සාගරයේ උණුසුම ලබන අපගේ දිවයිනෙහි ඉතිහාස කතාව සහශ්‍ර ගණනාවක් ඈතට දිව යයි. විශේෂයෙන්ම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ, අපගේ අනන්‍යතාව, අපගේ වටිනාකම් සහ සමාජයේ යහපැවැත්මට මගපෙන්වන නව පරිච්ඡේදයක් ලක්දිව ආරම්භ විය. බුදු දහම හුදෙක් ආගමක් පමණක් නොව; එය ශිෂ්ටාචාරයක් ගොඩනගන්නක් බවට එම කාල පරිච්ඡේදය මනා නිදසුනකි.
මඳක් සිතා බැලීමේදී පෙනී යන්නේ බුදු දහමෙහි මූලික හරයන් වන මෛත්‍රිය (metta), සතිය (sati), සීලය (sila), සහ ප්‍රඥාව (panna) ආගමික සංස්ථාව තුළ පමණක් රැඳී නොතිබූ බවයි. ඒවා අපගේ ජන ජීවිතයේ සෑම අංශයකටම කා වැදුණි. මනා නිදසුන අපගේ පුරාණ වාරි ශිෂ්ටාචාරයයි. එහිදී බෞද්ධ් දර්ශනයට අනුව ජලාශ ඉදිකිරීම හුදෙක් වාරිමාර්ග ගැන පමණක් නොව, සාමූහික යහපත සහ සම්පත්වලව වගකිවයුතු කළමනාකරණය පිළිබඳව ද අරමුණු කරගත්තක් විය. එම හරයන් අපගේ කලාව, වාස්තු විද්‍යාව, සාහිත්‍යය, සහ නීති පද්ධති පවා හැඩගස්වා, සාමය, සංහිඳියාව සහ අවිහිංසාව අගය කරන සමාජයක් මනාව පෝෂණය කළේ ය.
"ධර්ම ද්වීපය" යන සංකල්පය හුදෙක් කාව්‍යමය අදහසක් පමණක් නොව; එය අපගේ රජවරුන්ට සහ ප්‍රජාවන්ට මග පෙන්වූ සංකල්පයක් විය. ආගන්තුක සත්කාරය අපගේ ඇට මිදුලු තුලටම ගැඹුරටම කාවැදී ඇත්තේත්, අප ස්වභාවයෙන්ම විපතකදී අන් අයට උදව් කිරීමට ඉදිරිපත් වන්නේත්, අභියෝග හමුවේ වුවද නිහඬ නොසැලෙන බවක් ඇත්තේත් ඒ නිසාම ය. මේවා හුදෙක් සංස්කෘතික සිරිත් විරිත් නොව, පරම්පරා ගණනාවක් පුරා පැවත එන බෞද්ධ ඉගැන්වීම්වල දෝංකාරයන් ය.
අවධානය වෙනතකට යොමු කරන දේවලින් පිරුණු ලෝකයක, අද බොහෝ තරුණ තරුණියන්ට විශාල වෙනසක් ඇති කරන එක් බෞද්ධ ඉගැන්වීමක් ඇත. එනම් සතිය (mindfulness) පිළිබඳ සංකල්පයයි. බුදුරජාණන් වහන්සේගේ බලගතු දේශනා අතරින් එකක් වන සතිපට්ඨාන සූත්‍රය මඟින් මනස දියුණු කිරීමේ සෘජු මාර්ගය විස්තර කරයි. මෙය යථාර්ථයෙන් මිදීමක් නොවෙයි; එය යථාර්ථය සමඟ සම්පූර්ණයෙන්ම සම්බන්ධ වීමකි. සතිය පුරුදු කිරීමෙන් අපට අපගේ සිතුවිලි, හැඟීම් සහ සංවේදනයන් පිළිබඳ වඩාත් දැනුවත්ව සිටීමට උපකාරී වේ. රැකියා හෝ අධ්‍යාපන පරිසරයක් තුළ මෙය වඩා හොඳ අවධානයක්, අඩු ආතතියක් සහ සාර්ථක තීරණ ගැනීමකට මග පාදයි. අපගේ මනසට වර්තමානය සමඟ සිටීමට පුහුණු කිරීමෙන්, අතීතයේ හෝ අනාගතයේ රැඳී නොසිටිමින්, ඒවායින් මිදී අපගේ හැකියාවන් වැඩිදියුණු කරගෙන, වඩාත් සාර්ථක සහ ඵලදායී ජීවන රටාවකට මඟ පාදයි.
අද ශ්‍රී ලංකාව මුහුණ දෙන සංකීර්ණ අභියෝග ජය ගනිමින් අනාගතය දෙස බලන විට, මේ පුරාණ වටිනාකම් අතිශයින්ම අදාළ වන බව හැඟී යයි. අපගේ බෞද්ධ සංස්කෘතික මූලයන්ට ගරු කිරීම යනු අතීතයට දැඩිව ඇලී සිටීමක් නොව, අපගේ ජාතිය ගොඩනඟන ලද පදනම් අවබෝධ කර ගැනීමයි. එය සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමටත්, වඩාත් සුහදශීලී සමාජයක් ගොඩනැගීමටත් අපට මඟ පෙන්වන, අපගේ උරුමයේ මුල් බැස ඇති ප්‍රඥාව හඳුනා ගැනීමකි.
අලුයම දිස්වන දාගැබක මනරම් සුන්දරත්වය අගය කිරීම, පිරිත් සජ්ඣායනයේ සන්සුන් භාවය අත් විඳීම හෝ ආහාර වේලක් බෙදාගැනීමේ සතුට ආදී අත්දැකීම් අප හට එකී උරුමය පිළිබඳ දැනුම තව දුරටත් ලබා දෙයි.
එමනිසා, අප අපගේ අද්විතීය උරුමය පිළිබඳ ආඩම්බර විය යුතු ය. මේ මූලයන් ගවේෂණය කර, ඒවායේ වැදගත්කම අවබෝධ කර ගත යුතු ය. එමඟින් අපට වඩා හොඳ පුද්ගලයන් වීමටත්, ශක්තිමත්, දයානුකම්පිත උණුසුම් හදවත් ඇති ජනතාවක් සතුටින් වාසය කරන ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමටත් හැකියාව උදා වේ. අපගේ අතීතය හුදෙක් ඉතිහාසයක් පමණක් නොව; එය අපගේ අනාගතය දිරිමත් කිරීමට බලා සිටින ජීවමාන උරුමයක් බව අප අවසාන වශයෙන් සිහියට නගා ගත යුතු ය.
@ ආචාර්ය දමෙන්ද පෝරගේ
©️Foundation for Buddhist Brotherhood