පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ
සමස්ත සමාජයම දැඩි අවධානයකින් පසුවන මොහොතක, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගැනීම සහ ඒ ආශ්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දියත් කර ඇති විමර්ශන ක්‍රියාවලිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.
ඊයේ (23) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගරු මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ දිගහැරුණු නඩු විභාගය, හුදෙක් නෛතික ක්‍රියාවලියක් පමණක් නොව, විමර්ශන ආයතනවල වෘත්තීයභාවය, සාක්ෂි මත පදනම් නොවූ උපකල්පිත දේශපාලන ආඛ්‍යාන ගොඩනැගීම සහ සැකකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව කියන අමානුෂික වධහිංසා පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයන් මතු කළ අවස්ථාවක් විය.
මෙහිදී වඩාත්ම කම්පනයට කරුණ වූයේ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන, නීතීඥ බන්දුල ලේකම්ගේ (විශ්‍රාමික බ්‍රිගේඩියර්) ඇතුළු නීතිඥ මඩුල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිඛිත දේශනයේ අන්තර්ගත වූ අතිශය බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්වයි.
අමානුෂික වධහිංසාව: විමර්ශනයක්ද? නින්දිත පළිගැනීමක්ද?
සැකකරුවෙකු වුවද, නීතිය ඉදිරියේ වරදකරුවෙකු වන තුරු ඕනෑම පුරවැසියෙකුට හිමි මූලික මානව අයිතිවාසිකම් පවතින බව ශිෂ්ටසම්පන්න නීති පද්ධතියක මූලිකාංගයකි. නීතිඥ මඩුල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිඛිත දේශනය මගින් හෙළිදරව් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින සුරේෂ් සලේ ට අතිශය අමානුෂික සහ අවමන්සහගත වධහිංසාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.
ඔහුව රඳවා ඇත්තේ දිග සහ උස අඩි 6.5 ක් හා පළල අඩි 4.5 ක පමණ ප්‍රමාණයේ අතිශය කුඩා සිර කුටියක බවත්, නීතීඥ සහ පවුලේ උදවිය හමු වීමට අවස්ථාව ලබා දෙන්නේ සතියකට විනාඩි 20 ක පමණ කෙටි කාලයකට පමණක් බවත් එම ලිඛිත දේශනයේ දැක්වේ. ඊට අමතරව, අසල රැඳවුම් කුටියක සිටින රැඳවියෙකු මීයන්ගේ සපා කෑම් වලට ලක් වී ඇති බැවින් තෙවන සැකකරුටද රාත්‍රී කාලයේ නිදි වර්ජිතව සිටීමට සිදුව ඇති බව අධිකරණයට වාර්තා කෙරිණි.
"තෙවන සැකකරු අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු, රාත්‍රියේ නිලධාරීන් කිහිප දෙනෙක් ඔහුගේ සිර කුටියට ඇතුළු වී, ඔහුව ඉවතට රැගෙන ඔහු නිරුවත් කර, ශරීරය ඉදිරිපසට වන ලෙස අත් වලට අත්විලංගු දමා, එම නිළධාරීන්ට පිටුපා ඉදිරිපසට නැමීමට සලස්වා සියලුම අනෙක් රැදවියන් ඉදිරියේ ඔහුගේ ශරීරය පරීක්ෂා කිරීමක් සිදු කර ඔහුව කෲර, අමානුෂික හා නින්දිත සැලකීමකට ලක් කර ඇත."
මෙය හුදෙක් තොරතුරු ලබාගැනීමේ විමර්ශන ක්‍රමවේදයක් නොව, සැකකරුගේ මානසිකත්වය බිඳවැට්ටවීම සහ පෞරුෂය විනාශ කිරීම අරමුණු කරගත් පැහැදිලි වධහිංසාවකි. මේ තත්ත්වය හමුවේ, ගරු මහෙස්ත්‍රාත්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සුරේෂ් සලේ ව අධිකරණ මානසික වෛද්‍යවරයෙකු, පෝෂණවේදියෙකු සහ අක්ෂි රෝහල වෙත යොමු කරන ලෙස ලබා දුන් නියෝගය, විමර්ශන ආයතනවල අත්තනෝමතික හැසිරීමට එරෙහිව අධිකරණය දැක්වූ ප්‍රබල මැදිහත්වීමකි.
සිය නියෝගය නිකුත් කරමින්, අධිකරණ නියෝග අකුරටම ක්‍රියාත්මක විය යුතු බවට මහේස්ත්‍රාත්වරයා දැඩිව නියෝග කළේය. "යම් නියෝගයක් ක්‍රියාත්මක නොවී තිබුනොත් අධිකරණයට අපහාස කිරිම යටතේ පියවර ගන්නා බව," කී මහේස්ත්‍රාත්වරයා, 127 වගන්තිය යටතේ ප්‍රකාශ ලබාගැනීම විශ්වාසය මත පදනම් විය යුත්තක් බවත් අවධාරණය කළේය.
සාක්ෂි විරහිතව ගෙතූ "මහා ආඛ්‍යානය" සහ අධිකරණයේ අවවාදය
නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ගේ දේශනය සුවිශේෂී වන්නේ, එය ඍජු සාක්ෂි මත පදනම් වූ නෛතික කරුණු දැක්වීමකට වඩා, දේශපාලනික සහ උපකල්පිත 'මහා ආඛ්‍යානයක්' (Grand Narrative) ගොඩනැගීමේ පැහැදිලි උත්සාහයක් නිරූපණය කළ බැවිනි.
ඔහු 2015 දේශපාලන පෙරළියේ සිට, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම, ජෝසප් පරරාජසිංහම් ඝාතනය, වවුනතිව් සිද්ධිය, 2018 දින 52 ආණ්ඩුව, බුදුපිළිම කැඩීම සහ අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ සම්ප්‍රාප්තිය දක්වා වූ පුළුල් චිත්‍රයක් පාස්කු ප්‍රහාරයට ඈඳමින් න්‍යායික රාමුවක් ඉදිරිපත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂකවරයාගේ දේශපාලනික පක්ෂපාතීත්වය ලිඛිත දේශනය මගින් ප්‍රශ්න කර ඇති පසුබිමක, මෙවැනි දේශපාලනික ආඛ්‍යානයක් පැමිණිල්ල විසින් අධිකරණයට ගෙන ඒම විශේෂත්වයකි.
එහෙත්, අපරාධ යුක්ති විද්‍යාවේදී සහ සාක්ෂි ආඥා පනතට අනුව මෙවැනි චිත්‍රපටමය කතාන්දර වලට නෛතික වටිනාකමක් හිමිවන්නේ ඒවා ස්වාධීන සහ පාරිවේශනික සාක්ෂිවලින් තහවුරු වන්නේ නම් පමණි. ගරු මහෙස්ත්‍රාත්වරයා මෙම දුර්වලතාවය නිවැරදිවම ග්‍රහණය කර ගනිමින් නැඟූ ප්‍රශ්නය සහ ලබා දුන් අවවාදය සමස්ත නඩු විභාගයේම දිශානතිය තීරණය කළේය.
ගරු මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර:
"මේ විමර්ශනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. සියලු පාර්ශ්වයන්ට මේ කියන්නේ. මේක ක්‍රීඩාවක් නෙවෙයි. මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක්... සියල්ල අවසානයේ යුක්තිය ඉටුවීමට නම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. එය හිතේ තියාගෙන තමයි අධිකරණය සෑම ප්‍රකාශයක් දිහාම බලන්නෙ. එතනින් පල්ලෙහා තියෙන මතවාද අධිකරණය සැකයෙන් තමයි බලන්නෙ. ඒවායේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් ඔප්පුකරන්න බැරි කිසිවකින් අවසාන ප්‍රතිඵලයක් නෑ. අන්තිම ප්‍රතිඵලය වින්දිතයින්ගේ අපේක්ෂාව කඩවීම පමණයි සිදුවන්නේ."
තවද, "පාරිවේශනීය සාක්ෂි මත නඩුව ගොනු කරන්නේ නම් එක් එක් රැහැන් එක් වී ශක්තිමත් කඹයක් හැදෙන ලෙස එකතු විය යුතුයි... සියළු පාර්ශ්වයන් කරුණු දැක්වීමේදී ඔප්පු නොකළ කරුණු ඔප්පු කළේ යැයි සිතා කරුණු දැක්වීමෙන් වැළකිය යුතුයි," යනුවෙන් කළ අවධාරණය, පදනම් විරහිත ආඛ්‍යාන ගොඩනැගීමට එරෙහිව අධිකරණයෙන් එල්ල වූ දැඩි ප්‍රහාරයකි.
අධිකරණයේදී දිගහැරුණු සංවාදය
නඩු විභාගයේදී නීතිඥවරුන් සහ පැමිණිල්ල අතර ඇති වූ තියුණු සංවාදය පහත පරිදි වේ:
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා (දෙවන සැකකරු වෙනුවෙන්):
"ස්වාමීනී, මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් පසුගිය නඩු දිනයේදී ඔබතුමා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අප්‍රේල් 21 ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරුණු ඇති බවට බැලූ බැල්මට පෙනි යන්නේ නැති බවට ඔබ තුමා පෙර නඩු දිනයේදී නියෝගයක් නිකුත් කර තිබෙනවා... මා ඉතා කම්පනයට ලක් වුණා. මේ වන විට ඔබතුමාගේ පරීක්ෂක නිලධාරීන් අට මාසයක් තිස්සේ වාර්තා සපයා තිබෙනවා... දැන් ඇවිත් කියනවා නම් සාක්ෂියක් සොයාගන්න උත්සාහ කරනවා කියලා මම කම්පා වෙනවා. වසර 5ක් නීතිපති උපදෙස්වලට යයි. එක්කො මාව මරා දාන්න. නැත්නම් මාව නිදහස් කරන්න... පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක වචනයක් තියෙනව නම් මම මෙතනින් යන්නම්. අඩු තරමේ දුන්නු එක සාක්ෂියක් නෑ."
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා:
"ස්වාමීනි මේ විමර්ශකයන්ගේ මතවාද නෙවෙයි. මේ සියල්ල සම්බන්ධයෙන් ප්‍රකාශ 105ක් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. වවුනතිව් ප්‍රහාරකයා සම්බන්ධයෙන් ප්‍රකාශ 25ක් ලබාදී තිබෙනවා... ගෆූර් කියන පුද්ගලයා තමයි පසුකාලීනව පාස්කු ප්‍රහාරයට නායකත්වය දෙන්නෙ. මේ ක්‍රියාවලිය ඉතාමත් සංවිධානාත්මකව සහරාන් හෂීම් ඇතුළු පුද්ගලයන්ව අනාවරණය වෙන්න තිබුණු අවස්ථා මඟහරිමින් දැනුවත්වම යටපත්කරන්න මෙහෙයුමක් තිබුණා... දෙමටගොඩ මහවිල උද්‍යානයේ බෝම්බ ප්‍රහාරයෙන් ස්වයං ඝාතක බෝම්බකාරිය වන ෆාතිමා ජිෆ්රි සමඟ පළමු සැකකරු ජිගිල් පාස් දුරකතන සංවාද පවත්වා තිබෙනවා."
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා ඍජුවම ප්‍රශ්න කළේය:
මහේස්ත්‍රාත්වරයා:
"මේ සිද්ධීන් අතර සම්බන්ධයක් නැතිව විමර්ශකයන්ගේ මතවාද හැරෙන්න ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවද?"
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2018-2019 දේශපාලන පසුබිම ගැන දිගු විස්තරයක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සම්ප්‍රාප්තිය සහ සුරේෂ් සලේ ගේ පත්වීම විවේචනය කළේය.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා:
> "මේ කරුණූ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කම්පාවෙනවා ස්වාමීනි. ජනාධිපතිවරයා යටතේ සිටින බුද්ධි අංශය රජයට පක්ෂපාති නැහැ කීම පුදුමයක්... සලේව බුද්ධි අංශයට ගෙනාවා කියලා කිව්වනෙ. ඒ ජනාධිපතිවරයා යටතේ ජාතික ආරක්ෂාව තියෙන නිසා. ඒත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් සීඅයිඩීයේ ගෙනත් වාඩි කළේ. ගෝඨාභය සලේ ගෙනාවා කිව්වාම මේක කියන හරි නැද්ද? සීඅයිඩී එකට ශානි ගෙනාවෙත් එහෙම තමා."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර -
"මා පත්ව ආවේ නීත්‍යානුකූල ක්‍රමවේදයකින්"
නීතිඥ අසිත් සිරිවර්ධන මහතා (තෙවන සැකකරු සුරේෂ් සලේ වෙනුවෙන්):
"ස්වාමීනි මාගේ සේවාදායකයා හමුවෙන්න පෝය දවසේ ගියාම හමුවෙන්න දෙන්නෙ නැහැ. අධ්‍යක්ෂකවරයා හමුවෙන්න කියනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඔබතුමාට උඩින් ඔහු කටයුතු කරන්නෙ... දිලීප පීරිස් මහතා වගකීමෙන් වැරැදි කරුණු ඉදිරිපත් කළා. උපාලි තෙන්නකෝන් ඝාතනය වුණේ නැහැ. කීත්නොයාට පහරදීමක් සිදු කරේ. මගේ සේවාදායකයා 2006 සිට 12 සිට විදේශයේ සිටියේ... රුචිර නවීන කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා තමයි සාරාගේ 1, 2 ඩී.එන්. ඒ. පරීක්ෂා කළේ. ඔහුට බළපෑම් කළා කියල සාක්ෂි තියෙනවාද? අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදුන්න ලේඛනයක් සිරිල් ගාමිණී පියතුමා ඉදිරිපත් කරල තියෙනවා... දේශපාලන සරණාගත භාවය ලබාගැනීමට ඔහු ශ්‍රී ලංකාව ඉතාමත් පහත් තත්ත්වයට පත්කරල තියෙනවා. ඔහු කවදාවත් ලංකාවට එන්නේ නැහැ."
නිගමනය:
යුක්තියට එරෙහි මාධ්‍ය සංදර්ශන
මෙම නඩු විභාගය පැහැදිලිවම පෙන්වා දෙන්නේ අපරාධ විමර්ශනයක තිබිය යුතු වෘත්තීයභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මාධ්‍ය සංදර්ශනයක් හෝ දේශපාලන පළිගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කරගැනීමට කිසිදු පාර්ශ්වයකට අධිකරණය ඉඩ ලබා නොදිය යුතුය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගොඩනඟන මහා කුමන්ත්‍රණ න්‍යායන් පිළිබඳ ආඛ්‍යානය නවකතාවකට ඇතුලත් කරලීමට තරම් කෙතරම් ආකර්ෂණීය වුවද, ඒවා සාධාරණ සැකයෙන් තොරව, ස්වාධීන පාරිවේශනික සාක්ෂි මගින් අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, එයින් සිදුවන්නේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වින්දිතයින්ට යළි යළිත් අසාධාරණයක් වීම පමණි. අනෙක් අතට, සැකකරුවන්ගෙන් කටඋත්තර ලබාගැනීම සඳහා අමානුෂික සහ තුච්ඡ වධහිංසා ක්‍රමවේද භාවිතා කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මාරාන්තික ප්‍රහාරයකි.
ගරු මහෙස්ත්‍රාත්වරයාගේ මැදිහත්වීම තුලින් ගම්‍ය වන්නේ, අධිකරණය හමුවේ ඇත්තේ හුදෙක් උපකල්පන මත පදනම් වූ චෝදනා පත්‍රයක් නොව, ස්වාධීන සාක්ෂි මත ගොඩනැඟුණු නෛතික කඹයක් අපේක්ෂා කරන යුක්තිගරුක ක්‍රියාවලියක් බවයි. නඩුව ලබන 20 වැනිදා තෙක් කල් තැබුණු අතර (සැකකරුවන් මැයි 06 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි), ඉදිරියේදී විමර්ශකයින් ස්වකීය 'ආඛ්‍යානයන්ට' එහා ගිය සත්‍ය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරනු ඇත්ද යන්න සමස්ත ජාතියම බලා සිටී.
# සමාරා පරණවිතාන

