SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

"ගෝලීය අවදානම් වලට මුහුණ දෙන්නේ කෙසේද?" යන කාලීන සහ තීරණාත්මක තේමාව ඔස්සේ සංවිධානය කෙරෙන

'Reset Now' කතිකාවතේ තුන්වන සාකච්ඡාව එළඹෙන අප්‍රේල් 24 වැනි සිකුරාදා පස්වරු 4.00 සිට 6.00 දක්වා කොළඹ නිපොන් හෝටලයේදී (Hotel Nippon) පැවැත්වීමට නියමිත බව මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු සංවිධායක කමිටුව නිවේදනය කර ඇත.

 

 

වර්තමාන ලෝකය මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාත, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අර්බුද, සැපයුම් දාම බිඳවැටීම් සහ තාක්ෂණික කඩාවැටීම් වැනි බහුවිධ ගෝලීය අවදානම් (Polycrisis) හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් අනුගමනය කළ යුතු උපායමාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. හුදෙක් ගැටලු සාකච්ඡා කිරීමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික විසඳුම් සෙවීම අරමුණු කරගත් මෙම වේදිකාව, වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ අතිශය වැදගත් පියවරක් වනු ඇත. කෙසේ වෙතත්, මෙම කතිකාවත හරහා ද රටේ ප්‍රධාන අර්බුද සඳහා අවසන් විසඳුම ලෙස "ගෝලීය වෙළඳපොළ ඉලක්ක කර ගැනීම" යන සුපුරුදු ආර්ථික තර්කයම නැවත වරක් කරළියට ගෙන එනු ඇද්දැයි විචාරකයින් තුළ සාධාරණ කියවීමක් පවතී.

 

 

ගෝලීය අවදානම්: යථාර්ථය සහ පූර්ව සූදානම


අද වන විට ලෝකයේ කිසිදු රටකට තනිව හෝ හුදකලාව පැවතිය නොහැකි තරමට ගෝලීය ආර්ථික හා සමාජීය ජාලාවන් එකිනෙක බද්ධ වී ඇති බව 'Re-Set' සංවිධානයේ මූලික තර්කයයි. කොවිඩ් වසංගතය, රුසියානු-යුක්රේන යුද්ධය හෝ මැදපෙරදිග අර්බුද හේතුවෙන් ගෝලීය සැපයුම් දාම බිඳවැටෙන විට, එහි සෘජු සහ වේදනාත්මක බලපෑම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාගේ මුළුතැන්ගෙටද දැනේ. මෙවැනි තත්ත්වයන් හමුවේ අප සතු පූර්ව සූදානම කොතරම් දුර්වලද යන්න පසුගිය කාලයේ අප මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය මනාවට පෙන්වා දුන්නේය.

 

තාර්කිකව බලන කල, ගෝලීය අවදානම් වලින් බේරීමට රටවටා තාප්ප බැඳීම කිසිසේත්ම ප්‍රායෝගික නැත. කළ හැක්කේ එම අවදානම් හමුවේ කඩා නොවැටී සිටීමට තරම් කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව (Resilience) ජාතික මට්ටමින් ගොඩනගා ගැනීමයි.

 

 

ප්‍රතිපත්තිමය 'Reset' කිරීම: න්‍යායෙන් ඔබ්බට ගිය ප්‍රායෝගිකත්වය

ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා දශක ගණනාවක් තිස්සේ අප අනුගමනය කළ සම්ප්‍රදායික ප්‍රතිපත්ති තවදුරටත් වලංගු නොවේ. 'Reset Now' සංකල්පයෙන් ගම්‍ය වන්නේද මෙම පැරණි රාමුවෙන් මිදී අලුතින් සිතීමේ අවශ්‍යතාවයි. එහෙත් එම අලුතින් සිතීම හුදෙක් එක් දිශානතියකට පමණක් කොටු නොවිය යුතුය.

 

මෙම සාකච්ඡාවට පාදක වන ප්‍රධාන කාරණා කිහිපයක් පහත පරිදි විචාරාත්මකව විශ්ලේෂණය කළ හැක:

 

ආර්ථික විවිධාංගීකරණය:

අප තවමත් ඇඟලුම්, තේ වැනි සීමිත අපනයන කිහිපයක් සහ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මත පමණක් යැපීම බරපතල අවදානමකි. ගෝලීය වෙළඳපොළේ කුඩා කඩාවැටීමක් පවා අපගේ ආර්ථිකය අඩපණ කරන්නේ එබැවිනි. අපනයන කූඩය (Export basket) පුළුල් කිරීම සහ දැනුම මත පදනම් වූ ආර්ථිකයකට ගමන් කිරීම අත්‍යවශ්‍ය වේ. එහෙත් එය හුදෙක් බාහිර වෙළඳපොළ මතම යැපෙන ආර්ථිකයක් නොවිය යුතු අතර, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමද ඊට සමගාමීව සිදුවිය යුතුය.

 

 

තාක්ෂණික අනුගතවීම සහ සයිබර් සුරක්ෂිතතාව:

කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණයන් ලෝකය වේගයෙන් වෙනස් කරමින් පවතී. ඩිජිටල්කරණයට සමගාමීව මතුවන සයිබර් ප්‍රහාර වැනි අවදානම් සඳහා ජාතික මට්ටමේ ආරක්ෂිත යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම හදිසි අවශ්‍යතාවකි.

 

 

දේශගුණික විපර්යාස සහ ආහාර සුරක්ෂිතතාව (ද්විත්ව ප්‍රවේශය):

අසාමාන්‍ය නියං සහ ගංවතුර තත්ත්වයන් කෘෂිකර්මාන්තයට දැඩි තර්ජනයක් වී ඇත. සාම්ප්‍රදායික ගොවිතැනෙන් ඔබ්බට ගොස් දේශගුණයට ඔරොත්තු දෙන (Climate-resilient) නවීන කෘෂි තාක්ෂණයන් වෙත යොමුවීම ජාතික අවශ්‍යතාවයකි. කෙසේ වුවත්, තාක්ෂණය මත පමණක් විශ්වාසය තැබීම ප්‍රමාණවත් නොවේ. යම් පමණකට හෝ යැපුම් කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතියක් ගෘහ මට්ටමින් නැවත ඇරඹිය හැකි නම්, එළැඹෙන ගෝලීය ආහාර අර්බුද සහ දුර්භික්ෂයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ස්වයංපෝෂිත පවුල් ඒකක රට තුළ බිහිවනු ඇත. මෙය සැබෑ ආහාර සුරක්ෂිතතාවයේ පදනමයි.

 

 

භූ-දේශපාලනික තුලනය:

ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටීම නිසා ශ්‍රී ලංකාවට ආර්ථික වාසි මෙන්ම දැවැන්ත භූ-දේශපාලනික බලපෑම්ද එල්ල වේ. කලාපීය සහ ගෝලීය බලවතුන් අතර ගැටුම් වලට මැදි නොවි, නොබැඳි සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව පවත්වා ගැනීම ඉදිරි දශකය තුළ අප මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයයි.

 

 

පරිභෝජනවාදී ආකෘතිය සහ දෘෂ්ටිවාදී අභියෝග:

ඉහත කී කුමන තාක්ෂණික හෝ ප්‍රතිපත්තිමය විසඳුම් සකස් කරගත්තද, අපට සුදුසු සහ දරාගත හැකි පරිභෝජනවාදී පිළිවෙතක් (Consumption pattern) අනුගමනය නොකර, ගෝලීය වෙළඳපොළේ ලාභ රේට්ටු තර කරන තරඟයේ හුදු ඉත්තෙක් බවට අප පත්වුවහොත් සිදුවන විනාශය වළක්වාලිය නොහැක. එසේ වුවහොත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ලිබරල්කරණය සහ විවෘත බව යනාදී වශයෙන් වෙළඳපොළ වර්ධනයට මනාව ගැළපෙන පරිදි ගොඩනගා ඇති ඊනියා දෘෂ්ටිවාදයන්හි (Ideologies) ගොදුරක් බවට අප පත්වීම නොවැළැක්විය හැකිය. එබැවින් 'Re-Set' සංවිධානය වැනි කතිකාවන් තුළ හුදෙක් නිෂ්පාදනය සහ සැපයුම ගැන පමණක් නොව, අපගේ සමාජයේ මුල්බැසගන්නා අහිතකර පරිභෝජන රටාවන් සහ ඊට පසුබිම් වන දෘෂ්ටිවාදී බලපෑම් පිළිබඳව ද පුළුල් සාකච්ඡාවක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුව තිබේ.

 


'Reset Now' සාකච්ඡා මණ්ඩපය, අර්බුදකාරී මොහොතක බුද්ධිමය සංවාදයක් සඳහා කදිම අවකාශයක් නිර්මාණය කරයි. එහෙත් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් 'ගෝලීයකරණය' නමැති ඖෂධයම සියලු රෝග සඳහා නිර්දේශ කිරීම මත නොව, දේශීය යථාර්ථයට සහ ජන ජිවිතයට ගැලපෙන, ඔරොත්තු දෙන (Resilient) සහ ප්‍රායෝගික ප්‍රතිපත්තිමය විසඳුම් නිර්භීතව සමාජගත කිරීම මතය. අලුතින් සිතීම යනු, පැරණි න්‍යායන්ම නව මුහුණුවරකින් ඉදිරිපත් කරමින් ගෝලීය ධනවාදයේ ගොදුරක් වීම නොව, ගෝලීය අවදානම් හමුවේ දේශීය අනන්‍යතාවය, ස්වයංපෝෂිතභාවය සහ සැබෑ සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරන ප්‍රායෝගික 'Reset' කිරීමකි.

 

නවතම ලිපි