පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යළිත් වරක් ජාතියේ අවධානයට ලක්ව ඇත්තේ උන්වහන්සේ
ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමඟය. චෝදනා සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳ විමර්ශන සිදුවන අතරතුර, යුක්තිය ඉටුවන ආකාරය පිළිබඳව සමාජය විමසිල්ලෙන් බලා සිටියි.
නීතියට ඉහළින් කිසිවකු නැති බව සත්‍යයක් වුවත්, යුක්තිය අව්‍යාජත්වයෙන් සහ සත්‍ය ගරුක භාවයෙන් ඉටුවන බව ජන විඥානයට පෙනී යා යුතුය. අපගේ විශ්වාසය ස්වාධීන අධිකරණය මත රැඳී තිබෙන බැවින්, ඉදිරි නීති කෘත්‍යයන් සිදුවන ආකාරය දෙස අපි බලා සිටිමු.
අප දන්නා රතන හිමියන් පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වූ සුවිශේෂී භික්ෂුවකි. උන්වහන්සේගේ සමස්ත ජීවිතයම දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම් සමඟ බැඳී ඇත. රැඩිකල්, කලහකාරී, මතභේදාත්මක භූමිකාවන් ගණනාවක් රඟ දැක්වූ උන්වහන්සේ නොසිතන අභියෝග බාරගත් චරිතයකි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ සිටම පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සහ බන්ධනාගාරය රතන හිමියන්ට නුපුරුදු තැන් නොවීය. 87-90 භීෂණ සමයේ දී එල්ල වූ ජීවිත තර්ජන, වධහිංසා සහ මැර ප්‍රහාර හමුවේ උන්වහන්සේ කිසිදා නොසැලී සිටියහ.
මාවිල්ආරු සටනේ ආරම්භක වෙඩිමුරය
2006 වර්ෂයේ ජූනි 20 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර පළාතේ සේරුනුවර ආසන්නයේ මාවිල්ආරු අමුණ වසා දැමීම, සමස්ත ජාතියම උභතෝකෝටිකයකට හිර කළේය. අක්කර 30,000කට අධික ප්‍රමාණයක ජීවත්වන 35,000කට වැඩි පවුල් ප්‍රමාණයක එදිනෙදා ජීවිතය ජල හිඟය නිසා අන්ත අසරණ විය. ගොවිතැන් බත් මුළුමනින්ම නතර වූ අතර, පීදෙමින් තිබූ කුඹුරු වියළී විනාශ විය. මේ තත්ත්වය හමුවේ රජය ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳීමට උත්සාහ කළද, එය අසාර්ථක විය.
මාවිල්ආරු අමුණ විවෘත කිරීම සඳහා ගම්වැසියන් විසින් ආරම්භ කරන ලද උපවාසයක් අතරතුර, දසනායක නම් මහත්මයෙකු මරණයට පත්වීමෙන්, එම සටනේ මුල්ම ජීවිත පූජාව සනිටුහන් විය. මේ මොහොතේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් සේරුනුවරට වැඩම කිරීම සටනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය.
උන්වහන්සේලාගේ පැමිණීමත් සමඟ ජාතික මට්ටමේ අවධානය මාවිල්ආරු වෙත යොමුවිය. මාධ්‍ය වාර්තා මගින් මෙය ප්‍රධාන පුවතක් බවට පත්විය. ජූනි 29 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිවරුන් පෙරමුණ ගෙන ගම්වාසීන් සමඟ අමුණ වෙත ගමන් ඇරඹුවේ, කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ලවීමේ අවදානමද නොතකමිනි. එකල පැවති සටන් විරාම ගිවිසුම බිඳ දමන්නට සිදුවන බව රජය වටහා ගත්තේ, රතන හිමියන්ගේ අධිෂ්ඨානය හමුවේය.
දෙපසින්ම ඇති වූ දැඩි පීඩනය හමුවේ, මහින්ද රාජපක්ෂ රජය අකමැත්තෙන් හෝ මාවිල්ආරු අමුණ විවෘත කිරීම සඳහා යුදමය විසඳුමක් වෙත යොමුවීමට තීරණය කළේය. ත්‍රස්තවාදීන් ප්‍රථමයෙන් සටන් විරාමය උල්ලංඝනය කර තිබූ බැවින්, රජයට පිළිතුරු දීමට අවස්ථාව ලැබිණි. 2006 අගෝස්තු 10 වැනිදා රාත්‍රී 8.00 වන විට මාවිල්ආරු අමුණ හමුදාව විසින් විවෘත කරන ලදී. එය හුදෙක් ජල ප්‍රවාහයක් මුදා හැරීමක් නොව, සමස්ත රටටම මහා පන්නරයක් දුන් මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් විය. වියළී ගිය පොළොව තෙත්වූ අතර, ගස්වැල්වලට යළි ජීවය ලැබුණි. ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ, ලංකා හමුදාවන්ට ස්තුති කරමින් බැනර් පවා ප්‍රදර්ශනය විය.
මෙම ජයග්‍රහණය, රජයට සහ හමුදාවන්ට විශාල ආත්ම ශක්තියක් ලබා දුන් අතර, අවසානයේදී එය නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූ දැවැන්ත මානුෂීය මෙහෙයුමක ආරම්භක පියවර විය.
දශක දෙකක ආන්දෝලනාත්මක භූමිකාව
රතන හිමියන්ගේ දේශපාලන භූමිකාව 2009 යුද ජයග්‍රහණය දක්වා සුවිශේෂී විය. "ජාතික සංඝ සභාව", "ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය" වැනි විවිධ සංවිධාන හරහා රට බෙදන යෝජනාවලට එරෙහිව ජනමතය හැඩගැස්වීමට උන්වහන්සේ විශාල දායකත්වයක් සැපයූහ. 2004 දී භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කිරීමේ ප්‍රධාන මෙහෙයුම් සාධකය වූයේ ද උන්වහන්සේය.
2010 සිට 2025 දක්වා කාලය තුළ රතන හිමියන්ගේ දේශපාලන ගමන් මග බෙහෙවින්ම ආන්දෝලනාත්මක විය. එහි හොඳ, නරක, කළු සහ සුදු දෙකම පැවතුනි. පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සහ "පූර්ණ කාබනික ගොවිතැන" වැනි ප්‍රතිපත්තිමය තීරණ, රටේ ආර්ථිකයට සහ සමාජයට අහිතකර ලෙස බලපෑ බව විචාරකයෝ පෙන්වා දෙති. එම තීරණ පිටුපස සිටි උපදේශකයන්ද මේ සඳහා වගකිවයුතු බව ඔවුහු පවසති.
"අතන මෙතන රතන " යනුවෙන් ඇතැමෙක් උන්වහන්සේට අවමන් කළත්, උන්වහන්සේ රට මුහුණ දුන් මරණ බිය තුරන් කිරීමට තම තරුණ ජීවිතයෙන් විශාල කාලයක් කැප කළහ.වෛද්‍ය සාෆිට එරෙහිව සිදුකළ ජාතිවාදී වියරුව නොවන්නට මේ රටේ දේශපාලනයේ නියුතු කීර්තිමත් භික්ෂුවක් බවට අතුරලියේ රතන හිමි බැබලෙනවා නිසැකය.
එබැවින්, මත ගැටුම් පැවතියද, උන්වහන්සේ ඉටු කළ ඓතිහාසික ජාතික කාර්යභාරය වෙනුවෙන් හිමිවිය යුතු ගෞරවය සහ කෘතවේදීත්වය පුද කළ යුතුය.
අවසාන වශයෙන්, වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන දේශපාලන පළිගැනීම් සහ මර්දනය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන සැමගේම අවධානය යොමු විය යුතුය. එසේ නොවුණහොත්, ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හානි වීමට ඉඩ ඇත. රතන හිමියන් පිළිබඳ මෙම නීතිමය ක්‍රියාදාමය දෙස අප බලා සිටිනුයේ, යුක්තිය සාධාරණව ඉටුවේද යන්න පිළිබඳව වූ බලාපොරොත්තුවෙනි.
@ බන්දුජීව ඒකනායක