රතනහිමි පේරාදෙනියෙන් දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ලත්,
න්‍යායික ශික්ෂණයක් සහිත බරසාර පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන සිටියෙමි.
හෙතෙම අති දක්ෂ සංවිධායකයෙකි. අනූව දශකයේ මුල කොළඹ සරසවියේ ශිෂ්‍ය දේශපාලන කටයුතුවල නිරත වූ අපිට ඉහලින් සිට උපදෙස් දුන්නේ රතනත්, චම්පිකත්, අශෝක අබේගුණවර්ධනත්ය. මා ශිෂ්‍ය දේශපාලනයට මැදිහත්වුවද මගේ වැඩි නැමියාව තිබුනේ අප සම්බන්ධ වී සිටි චම්පික හා රතන නායකත්වය දුන් "ජනතා මිතුරෝ" ව්‍යාපාරයේ උන්නතිය දෙසටය.
රැඩිකල් වාම දේශපාලනය කෙරෙහි බැඳුනු අනුරාගයෙන් සිටි අප "ජවිපෙ" අදෘශ්‍යමානව තිබුණු සන්දර්භයක "ජනතා මිතුරෝ " වෙත ආකර්ශනය විය. මාක්ස් විරෝධය හැරුණු විට අනිකුත් ක්ෂේත්‍රවලදී "ජනතා මිතුරෝ" වනාහි "ජවිපෙ" කාබන් කොපියක්ම විය. ගැඹුරු න්‍යායික ශික්ෂණයක් නොමැති අපහට ජනතා මිතුරෝ ආකර්ෂණීය වීම අරුමයක් නෙවෙයි.
එකල රාහුල අයියාගේ දෙමටගොඩ පන්සලේ කාමරය, අපට චම්පික,රතන,අශෝක හමුවන ස්ථානය විය. එහිදී ඔවුන්ගෙන් උපදෙස් රැගෙන එන අපට සරසවිය තුල ඒවා %100 ක්‍රියාත්මක කල නොහැකිවූ විට කුණු බැනුම් අසාගන්නට සිදුවිය.
සරත්චන්ද්‍රයන්ගේ අවමගුල අප සරසවිය තුල සංවිධානය කරමින් සිටින විට "ධර්මිෂ්ඨ සමාජය කෘතිය මා අතට දුන් රතන හිමියෝ එහි යම් යම් පාඨ තෝරාගෙන පෝස්ටර් හා කටවුට්වල යොදන්නට උපදෙස් දුන්නා මතකය. නිෂාන්ත කහවිටගේ ප්‍රබල පින්සලෙන් මැවෙන සරත්චන්ද්‍රයන්ගෙ රුවට යටින් ධර්මිෂ්ඨ සමාජය, මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදුදා කෘතිවල ආකර්ශනීය කොටස් තෝරා අලවන ලදි.
එය රතනහිමිගේ ප්‍රශංසාව මාවෙත හිමිවීමට බලපෑවේය. 97 වසරේ නුවර නගරයේ පැවති ප්‍රදර්ශනයක් සඳහා මමත් නිශාන්ත වර්ණසිංහත් වටපුළුවේ පන්සලකට පෝස්ටර් ඇන්දා මතකය. රතන හිමියෝ නිතර එතනට යමින් එමින් අපට උපදෙස් දුනි. දිනක් පෝස්ටර් කඩදාසි හොයමින් එහිමියන් හා මම නුවර වීදිපුරා සැරිසැරුවා මතකය.
රතන හිමියන්ට 2000 වසරෙන් පසු සිදුවූයේ චම්පික ප්‍රමුඛ බොහෝ "පැරණි ජනතා මිතුරන්ට සිදුවූ දෙයම ය. මුල් යුගයේ ධනේෂ්වර සංවර්ධන ආකෘතියට මාරාන්තිකව එරෙහිවූ මෙම මිනිසුන් ඉතා නීච ලෙස පසුකාලීනව එහිම ගිලීයනු පෙනින. බුදු දහමේත්, "ජනතා මිතුරෝ"දහමේත් තිබූ අල්ප පරිභෝජනය දෙසා වදාල ඔවුන් එහිම ගිලී ගත්තාහුය.
රාහුලගේ කාමරයේ තිබී මා විසින් සොරාගත් රතන හිමිට අයත් "බර්ටන්ඩ් රසල් හා සමකාලීන දර්ශනය" නැමති පොත පමනක් රතන හිමි සමග කල දේශපාලනයෙන් මාහට ඉතිරිවිය.