ෆෙඩ්රික් එංගල්ස් ඉදිරිපත් කළ අන්දමට සමාජ ආර්ථික අසමානාත්මතාවය ඇති වීමට මූල හේතුවක් වන්නේ ඉඩම් සඳහා ඇති පුද්ගලික අයිතිවාසිකමයි.
ගාසා තීරයේ යුධ ගිනි ඇවිලෙන්නේද , ඉන්දීයාව සහ පකිස්ථානය එකිනෙකටා විරුද්ධව අවි අමෝරා ගන්නේද , රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන්නේ මෙන්ම තිස්වසරක් තිස්සේ අප බැට කෑ උතුරු නැගෙනහිර යුද්ධයට හේතු වුයේද මානව ඉතිහාසය ආරම්භයේ පටන් මිනිසා භුමියේ අයිතිවාසිකම් සඳහා සිදු කළ සිදු කරමින් සිටින සහ අනාගතයේදීද සිදු කිරීමට නියමිත අනවරත අරගලයයි.
රාජ්‍යයක පැවැත්ම තිරස්චීන බව තහවුරු කිරීම භුමිය නම් සාධකය මත රඳා පවතින්නා සේම මිනිසාගේ පැවැත්ම ස්ථාවරත්වය අභිමානය යනාදී කාරනා භුමිය එසේත් නොමැතිනම් ඔහුට ඉඩම් සඳහා ඇති අතිවාසිකම් දිනා ගැනීම මත රඳා පවතී. විශේෂයෙන්ම කෘෂිකාර්මික ඉතිහාසයක් සහ සංස්කෘතියකින් පැවැත එන ශ්‍රී ලාංකිකයාට ඉඩම වනාහි ඔහු සතු ප්‍රධානතම ආර්ථික සම්පතයි. එපමණක් නොව එය ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය , අභිමානය කියා පාන සාධකයයි.
මෙරට අතීත සමාජ ක්‍රමය ගොඩනැගී තිබුනෙම ඉඩම මූලික කරගෙනයි. රජු විසින් වැසියන් විසින් සපයනු ලබන සේවාවන් සඳහා ගරු නම්බු ලෙස තිලින කළේ නින්දගම්ය. එය බ්‍රිතාන්‍ය සමය තුළ පවා ක්‍රියාත්මක වූ බවට සාක්ශි සපයන්නේ ශ්‍රී ලංකාවේ නම් වශයෙන් ප්‍රසිද්ධියට පත් කිවිදියන් අතලොස්සෙන් මුලින්ම සිහිවන ගජමන් නෝනා හට ඇගේ කාව්‍යත්වයෙන් පැහැදීමට පත් එවකට මාතර ආණ්ඩුකාරවරයා වූ ජෝන් ඩොයිලි විසින් නෝනාගම නමින් අදටත් ප්‍රචලිත නින්දගමක් ප්‍රදානය කිරීමේ ඓතිහාසික පුවතෙනි.
භුමිය එසේත් නොමැතිනම් ඉඩම්, නිවාස සහ දේපල භුක්ති විදීම සම්බන්ධයෙන් මිනිසාට ඇති අයිතිවාසිකම මානව අයිතිවාසිකමක් වන බව ලෝක මට්ටමෙන් පිළිගත්තකි. 1948 මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශය තුළ එහි 17 වන වගන්තිය මගින් සෑම මිනිසෙකුටම තනිව හෝ එකට එක්ව දේපල භුක්ති විදීමේ අයිතිය ඇති බවත් කිසිවෙකුගේ දේපල අයිතිය අත්තනෝමතික ලෙස අහිමි කළ නොහැකි බවත් දක්වයි. එසේම ඉඩම් සඳහා ඇති අයිතිවාසිකම මිනිසාගේ සංස්කෘතික සහ ආර්ථික ජීවිතය සමඟ බැදී පවතින්නකි. එබැවින් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික සහ ආර්ථික අයිතිවාසිකම් පිලිබඳ සම්මුතිය(ICESR) තුළ දැක්වෙන 11වන වගන්තිය මගින් සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයන් විසින් නිවාස ඇතුළුව තමාට සහ තම පවුලට ප්‍රමාණවත් ජීවන තත්වයක් සහ ජීවන තත්වයන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා සෑම කෙනෙකුටම ඇති අතියිතිය පිළිගත යුතු බව දක්වයි. එසේම එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතියද (ICCPR) මිනිසාට ඉඩම් සහ නිවාස සම්බන්ධයෙන් පවතින අයිතිය තහවුරු කළ යුතු බව පිළිගන්නේ ඉඩම් සහ දේපල සම්බන්ධයෙන් පවතින අයිතිය පුද්ගලයකුගේ අභිමානයට බලපාන හෙයිනි. තිරසාර සංවර්ධන ප්‍රතිපත්තීන් (Sustainable Development Goals) තුලද ඉඩම් සහ නිවාස සම්බන්ධයෙන් මිනිසාට ඇති අයිතිය ප්‍රවර්ධනය කළ යුතු බව පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාව එකී සම්මුතින්හි පාර්ශවකාර රාජ්‍යක් ලෙසද පවතින සාමාන්‍ය නීති තත්ත්වයට අනුව ස්ත්‍රී පුරුෂ සමජභාවී භේදයකින් තොරව සියලු දෙනා හට ඉඩම් සහ නිවාස සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.
නමුත් මානව ඉතිහාසය පුරාම සංස්කෘතික ආගමික සහ ආර්ථික වශයෙන් පීඩනයට සහ ආන්තීකරණයට ලක්කළ කාන්තාව හට තවමත් එකී ජාත්‍යන්තර පිළිගැනීම්වලින් බැහැර කොට ඉඩම් සම්බන්ධයෙන් පවතින අයිතීන් අහිමි කරවන නෛතික ප්‍රතිපාදනයන් පුද්ගල නීතින් මෙන්ම ඉඩම් සම්බන්ධ නීතින් තුළ ක්‍රියාත්මක වේ. එකී අත්තනෝමතික නීතින්හි වලංගුතාවය ඇතැම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඔස්සේ ආරක්ෂා කොට ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් අඩකට වඩා කාන්තාවන් සිටියද සමස්ත ඉඩම්වලින් කාන්තාවන් හිමිකම් කියන්නේ 16%ක පමණ සුළු ප්‍රමාණයකි.
විශේෂයෙන්ම පුරුෂ මූලික සමාජ ක්‍රමයක් තුළ ආර්ථික බලය දරන්නා ලෙස ඉඩම් සහ දේපල අයිතිය පිරිමියා වටා කේන්ද්‍රගත වී ඇත. මෙය ඉතා පැහැදිලිව දැක ගත හැක්කේ ශ්‍රී ලංකාව තුළ තවමත් ක්‍රියාත්මක වන පුද්ගලික නීතින් තුළ ඉඩම් සහ දේපල අයිතිය සම්බන්ධයෙන් වන ආචීර්ණකල්පිත ප්‍රතිපාදනයන් ඉවත් කිරීමට කිසිදු නීති සම්පාදකයෙකු උත්සුක නොවීමෙනි.
උතුරු ප්‍රදේශයේ භුමිය සම්බන්ධ කොටගෙන ක්‍රියාත්මක වන තේසවලමෙයි නීතියට යටත්ව 1911 අංක 01 දරණ යාපනය වෛවාහක සහ උරුම ආඥා පනැතේ 06 වන වගන්තියට අනුව යම් ස්ත්‍රීයක් තේසවලමෙයි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශයක පුරුෂයෙකු සමඟ විවාහ වුවහොත් ඇයට ඇය හිමිකාරිත්වය දරණ නිශ්චල දේපල සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගත නොහැක. එකී ඉඩම් විකිණීමට, පැවරීමට, උකස් කිරීමට, කුලියට හෝ බද්දට දීමට අවශ්‍යනම් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ ලිඛිත අවසරය ලබා ගත යුතුය. ඔහු යම් අවස්ථාවක එකී ලිඛිත අවසරය ලබා දීමට නොහැකි තත්ත්වයක පසුවන්නේනම් එකී කාන්තාවට ඇති එකම විකල්පය වන්නේ ඒ සම්බන්ධයෙන් දිසා අධිකරණ විනිසුරුවරයා වෙත ගොස් ස්වාමිපුරුෂයාට එකී ලිඛිට අවසරය ලබා දීමට නොහැකි තත්ත්වයක ඔහු පසුවන බව සනාථ කොට අධිකරණ නියෝගයක් ලබා ගැනීමයි.එසේම වෛවාහක උරුමයන් තුළදීද පුරුෂ පාර්ශවයේ දේපල පියාගෙන් පසු පුතුන් හට පමණක් උරුම වේ. අධිකරණ තීන්දු නීතිය හරහාද මෙකි අසමාන සහ අසාධාරණ නීතින් සඳහා ප්‍රගතිශීලි තීන්දුන් දීමට උත්සුක වී නොමැති බව 1966 දී තීරණය වූ විජයරත්නම් එදිරිව රාජදුරෙයි (1966, 69 NLR 145) නඩුවේදීද 2014 වසරේදී තීන්දු වූ පරනිරුපසිංහම් අරුල්රජසිංහම් එදිරිව. වඩිවේලු ආනන්දසිවා (SC Appeal No. 68/2014 ) නඩු විමසා බැලීමේදී ස්වාමිපුරුෂයාට තම බිරිඳගේ දේපල පාලන කිරීම සම්බන්ධයෙන් පවතින අයිතිය තහවුරු කරයි.
උඩරට නීතිය තුලද දීග විවාහය එනම් විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ නිවසේ පදිංචියට යන දියණියක හට විවාහ වන අවස්ථාවේදී ඇයට දැවැද්ද ලෙස ලබා දෙන දේපල හැරුණු කොටගෙන වෙනත් මුල් උරුමයන් සඳහා හිමිකමක් ලබන්නේ නැත. මෙකි අසාධාරණ නෛතික තත්ත්වයේ වලංගුතාවය නඩු තීන්දු නීතිය පිරික්සීමේදී පැහැදිලි වේ.
කිරිබින්දු නම් උඩරට වාසය කළ කාන්තාව දීග විවාහයකින් සිය සැමියාගේ නිවසේ පදිංචියට ගියාය. නමුත් කෙටිකලකින් ඇගේ සහෝදරයා වූ රනාගේ බිරිඳ මිය ගිය බැවින් ඔහුගේ දරුවන් රැකබලාගැනීම සඳහා ගිය අතර කිරිබින්දු ඇගේ සහෝදරයාගේ දරුවන් රැක බලාගැනීම සඳහාත් ඇයගේ මුල් නිවස එනම් පියාගේ නිවසේ පදිංචියට ගියාය. කිරිබින්දුගේ සැමියාද ටිකකලකින් මිය ගිය නමුත් ඇය නැවත විවාහ නොවී ඇගේ මුල් නිවසේම රැදෙමින් රනාගේ දරුවන් රැකබලාගැනීම සිදු කළාය. එහි සිට ඇය සහෝදරයාගේ දරුවන්වද රැකබලා ගනිමින් එම පවුලේ සාමාජිකාවක ලෙස ජිවත් වුවාය. ඇගේ පියා මිය ගිය පසු සහෝදරයා පිය උරුමයෙන් ලද දේපල ඔහුගේ දරුවන් තිදෙනෙකුට පවරා මිය ගියාය. එකී දරුවන් තමන්ව රැක බලාගත් සිය නැන්දනියට ඔවුන්ගේ දේපල සම්බන්ධයෙන් උරුමයක් නොමැති බව දක්වා අධිකරණයට ගිය විටදී කිරිබින්දු සැමියාගේ නිවසේ පදිංචි නොවී මුල් නිවසේම රැදී සිටි බැවින් ඇය බින්න විවාහක කාන්තාවක ලෙස පියාගේ දේපල සම්බන්ධයෙන් හිමිකමක් පවතින්නේද යන්න තීරණය කිරීමේදී අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඇය සිය විවාහයෙන් පසුව දීර්ඝ කාලයක් මුල් ගෙදරම පදිංචිව සිටියද ඇයට පියාගෙන් හිමිවන මුල් උරුමය නොලැබෙන බවය. කිරි බින්දු එදිරිව ජයසිංහ (1997 (2) SLR 1
ශ්‍රී ලංකාවේ උත්තරීතරම නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථාව තුලින් මූලික අයිතිවාසිකම් අභිබවා චාරිත්‍රානුකුල සහ පුද්ගලික නීතින්ගේ ක්‍රියාත්මක භාවය පිළිගැනීම තුලින් රාජ්‍යයක් ලෙස ස්ත්‍රීන්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේම වෙනස් කොට සැලකීමට ඉඩ හැර තිබීම ඛේදනීය වේ. ව්‍යවස්ථාදායකයේ 2/3ක බහුතර මනාපය සහ ජනමත විචාරණයක් මත එකී ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සීමා වී ඇතත් සැබවින්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සීමාකාරී තත්ත්වයන් මත වෙනස් නොවන්නේද නැතහොත් ඒ සම්බන්ධයෙන් බලයට පත්වන ආණ්ඩුන් තුළ සැබෑ වුවමනාවක් පවතින්නේද යන ගැටලුව පවතී. 1978න් පසු විධායකය මාරු වන වාරයක් පාසා සංශෝධනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ගේ ඉඩම් සහ දේපල අයිතියට පමණක් නොව 16 වන ව්‍යවස්ථාවේ ආනුභාවයෙන් ක්‍රියාත්මක වන පුද්ගලික නීතින් තුළ දැක්වෙන ළමා විවාහ වැළක්වීම සඳහා හෝ මෙතෙක් කාර්යක්ෂම වීමට බලයට පත් වූ කිසිදු රජයක් උනන්දු වී නැත.
පුරුශාධිපති සංස්කෘතික ලක්ෂණ කරපින්නාගත් චාරිත්‍රානුකුල නීතිය එලෙස ක්‍රියාත්මක වෙද්දී බ්‍රිතාන්‍ය පාලන සමයේ ස්ථාපනය වූ ඉඩම් සංවර්ධන ආඥා පනත (ඔස්සේ රජය විසින් පුදගලයන්ට ඉඩම් ලබා දීමේදී එකී ඉඩම්වල හිමිකම පියාගෙන් පසු පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට හිමි විය යුතු බවට වූ පුරුශ මූලික නීතිය වෙනස් කරමින් 2022 අංක 11 දරණ සංශෝධනය මගින් එකී බලපත්‍ර දේපල පවුලේ ගැහැනු දරුවන්ටද හිමිකම් කිව හැකි තත්ත්වයට වෙනස් වීම කාලනුරුපිව ශ්‍රී ලංකා රජය ස්ත්‍රී පුරුෂ සමාජ භාවී සමානාත්මතාවය පිළිබඳව දක්වන ප්‍රගතිශීලිත්වය විදහා පායි. එනමුත් ඒ හා සමඟම ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයින් කාන්තාව වනාහි පුරුෂයාගේ යැපෙන්නෙකු වන්නේය යන අදහස සිත්හි දරාගෙන එකී පනතටම ප්‍රතිපාදන එක්කොට ඇත්තේ, රජයේ බලපත්‍ර මත යම් ඉඩමක් හිමි විවාහක පුද්ගලයෙකු මියගියහොත් ඔහුට දරුවන් නොමැතිනම් ඔහුගේ බිරිඳට එම දේපල සම්බන්ධයෙන් ජිවිත භුක්තිය පමණක් පවතින බවයි.
යම් හෙයකින් ඇය වෙනත් විවාහයක් සිදු කරගන්නේනම් ඇයට එකී දේපල සඳහා ඇති ජිවිත භුක්ති හිමිකම්ද අහිමි වී යයි. මෙකි ප්‍රතිපාදනයට හේතු වන්නේ ස්ත්‍රීය වනාහි සැම විටම සිය ස්වාමිපුරුෂයාගෙන් යැපෙන්නෙකු වන බැවින් ඇගේ යැපීම සඳහා නව ස්වාමිපුරුෂයෙකු හමුවන්නේනම් ඇයට තමන්ගේ පෙර වෛවාහක උරුමයෙන් හිමිවන දේපලෙන් ඇයව නඩත්තු කිරීම අනවශ්‍ය බව රජයේ පදනම විය යුතුය.
ඉහත තත්ත්වය වනාහි ශ්‍රී ලංකාව තුළ තවමත් මුල් බැසගෙන ඇති පුරුෂ මූලික නෛතික ප්‍රතිපාදනයන් ඔස්සේ ස්ත්‍රීය හට ඉඩම් සම්බන්ධයෙන් පවතින අයිතිවාසිකම් යටපත් කිරීමට පවතින නීතිමය ගැටලුකාරී තත්ත්වයන්ය. මීට පරිබාහිරව තවමත් සමාජය සිංහල දෙමල සහ මුස්‌ලිම් සමාජ සංස්ථාවන් තුළ කාන්තාව හට නිශ්චල දේපල එනම් ඉඩම් සඳහා උරුමයන් අහිමිකරවන සම්ප්‍රදායන් පවුල් තුළ ක්‍රියාත්මක වේ. දියණියන් හට ස්වර්ණාභරණ, ගෘහ භාණ්ඩ ආදී චංචල දේපල ලබා දීමට පෙළඹෙන දෙමවුපියන් පුත්‍රයන් හට ඉඩම්වල පාරම්පරික උරුමය හිමි කරදෙයි. දියණියන් හට හිමිවන්නේ පිරිමි දරුවන්ට සාපේක්ෂව අඩු වටිනාකමකින් යුතු දෙපලය. බොහෝ විට ඇතැම් පවුල්වල ගොඩ ඉඩම් දියණියන් හට ලබා දුන්නද අනිවාර්යෙන්ම කුඹුරු පිරිමි දරුවන්ගේ අනිවාර්ය උරුමයයි. මෙකි දේපල පැවරීම්වලට මුල් වී ඇත්තේ පිරිමින් පමණක් ආර්ථික කටයුතුවල නියලෙන්නේය, කාන්තාවන් සැමවිටම යැපුම් කරුවන් වන්නේය යන ආචීර්ණකල්පිත අදහසයි. නමුත් කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාවන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට සපයන දායකත්වය නිහඬ නමුත් නොසලකා හරිය නොහැක.
පිරිමියාට අසාමන ලෙස සලකන නීති
මාතෘමුලික සංස්කෘතික පද්ධතීන් පවතින නැගෙනහිර වෙරළාශ්‍රිත මුක්කුවර්වරුන්ගේ දේපල අයිතිය ඉහත සාකච්ඡා කළ තත්ත්වයෙන් වෙනස් වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය නම් පොතේ බිනා අගර්වාල්(1990) පෙන්වා දෙන්නේ එකී ප්‍රදේශ තුළ පාරම්පරික නිශ්චල සහ චංචල දේපල සියල්ල දියණිය හට ඇගේ දැවැද්ද ලෙස හිමි වන බවයි. පවුලේ වැඩිමහල් දියණියට වැඩිම කොටස හිමි වේ. එහිදී ඉඩම් සහ ගෘහ පාලන කටයුතු කාන්තාව හට හිමි වුවද ඇයට පොදු පරිබාහිර සමාජ ජීවිතය තුළ ප්‍රධානත්වයක් හෝ එකී කටයුතු සඳහා සහභාගී වීමේ අයිතියක් හිමි නොවේ. මෙම තත්ත්වයම කාංචන රුවන්පුර (2006) පෙන්වා දෙන ආකාරයට නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් අතර ද ක්‍රියාත්මක වේ. එහිදී මවු පාර්ශවයෙන් ලැබෙන දේපල සියල්ල දියණියන් වෙත හිමිවන අතර අඩුම දායාදය ලෙස විවාහයේදී දියණියන් හට නිවසක් හෝ ඉඩමක් ලබා දිය යුතුය. මෙහිදී පිරිමි දරුවන් තම මුල් නිවසින් පිටවී බිරිඳගේ නිවසේ පදිංචියට ගොස් එකී පවුල වැඩි දියුණු කිරීමේ වගකීම දැරිය යුතු වේ. මෙය වනාහි පිරිමියා හට අසාධාරණ සහ වෙනස් කොට සැලකීමේ චාරිත්‍රානුකුල නීතිමය තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැක. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය ප්‍රයෝගිකව වෙනස් වී ඇත්තේ විවාහයේදී බිරිඳ දායාද ලෙස ඉඩම් හෝ නිවාස හිමිකම් රැගෙන එන නමුත් විවාහයේදී එකී දේපල ස්වාමිපුරුෂයාගේ නමට පැවරීම අනිවාර්ය වී ඇත. මේ නිසාම දැවද්දේ වටිනාකම එකී ප්‍රදේශයේ පවතින ඉඩම් සඳහා වන මිල අනුව වෙනස් වේ. මේ හේතුවෙන් නැගෙනහිර වෙරළාශ්‍රිත බොහෝ පවුල් තම දියණියන් හට දැවැද්ද සඳහා ඉඩම් මිලදී ගැනීම වෙනුවෙන් දස අතේ ණය වී සිටින බව අනීස් සිය පර්යේෂණ හරහා පෙන්වා දෙයි.(2020)
මෙකී දේපල සම්බන්ධ අයිතීන් කෙරෙහි වෙනස්කොට සලකන නෛතික සහ සමාජීය තත්ත්වයන්ට අමතරව උතුරු නැගෙනහිර යුධමය තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන්ගේ ඉඩම් අයිතීන්, සුනාමි සහ වෙනත් ව්‍යසනයන්ට මුහුණ දුන් කාන්තාවන්, සංවර්ධන ව්‍යාපෘතීන්හිදී කාන්තාවන්ට ඉඩම සහ නිවාස ලබා දීමේදී සිදු කරන වෙනස්කොට සැලකීම් විග්‍රහ කළ යුතු සංකීර්ණ මාතෘකා වේ.
ශ්‍රී ලංකාව තුළ පවතින නීතින් සැමට සමානව බල පැවැත්විය යුතුය. එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයේ හත්වන වගන්තිය දක්වන පරිදි නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වන අතර කිසිදු වෙනස්කම් කිරීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාව සඳහා හිමිකම් ඇත. එබැවින් සමාජීය සහ සංස්කෘතික සාධක පසෙකින් තැබුවද නෛතික ප්‍රතිපාදන හරහා ස්ත්‍රීන් හෝ පිරිමින් හෝ වෙනත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් දරන්නෙකු වෙනස්කොට සැලකීමටට ලක් කිරීම රාජ්‍යයක් ලෙස සපත කරන ලද මානව සංහතියේ පැවැත්ම සඳහා වන පොදු මුලධර්මයන් කඩකිරීමකි. එබැවින් මෙකි ආචීර්ණකල්පිත යල් පැනගිය නෛතික ප්‍රතිපාදනයන් ඉවත් කිරීම සඳහාත්, කාන්තාවන් වනාහි තව දුරටත් පිරිමින්ගේ යැපෙන්නන් නොව ඔවුන්ට අවශ්‍ය ආර්ථික අයිතිවාසිකම් සහ උරුම අයිතීන් භුක්ති විඳීමට ඉඩ හරින්නේනම් ආර්ථික වශයෙන් ඔවුන් ස්වාධීන සහ ආර්ථිකමය දායකත්වයක් රටට ලබා දිය හැකි පිරිසක් ලෙස සිය නෛතික දෘෂ්ටින් වෙනස් කරගැනීමට කටයුතු කළ යුතුය.
@ by gayathri nawarathne