නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) රෙගුලාසි පැහැදිලිව උල්ලංඝනය කරමින් කොළඹ
නාගරික ප්‍රදේශයක ඉදි කෙරෙන 'තුම්මුල්ල පෙන්ටාරා සුපිරි නිවාස ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් බරපතළ අක්‍රමිකතා චෝදනා නැවත වරක් කරළියට පැමිණ ඇත.
මෙම ව්‍යාපෘතියට යාබදව පිහිටි කොළඹ 05, 'ක්ලේසන් පෙදෙස' හි පදිංචි නේවාසිකාවක් වන තුසිතා කුමාරකුලසිංහම් මහත්මිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත. ඇය හෙළිදරව් කර ඇත්තේ නීත්‍යානුකූලව අනුමත විය යුතුව තිබූ සීමාව ඉක්මවා, බලධාරීන්ගේ මැදිහත් වීමෙන් තට්ටු හතළිහක ඉදිකිරීමක් දක්වා අදාළ සමාගමට UDA විසින් අනුමැතිය ලබා දී ඇත්තේ වැරදි ගණනය කිරීම් මත යන්නයි.
රෙගුලාසි උල්ලංඝනය කිරීමේ සෘජු සාක්ෂි

ක්ලේසන් පෙදෙස් නේවාසිකයා විසින් ඉදිරිපත් කරන ලද ලියකියවිලිවලට අනුව, නාගරික ප්‍රදේශයන්හි ගොඩනැගිලි ඉදිකිරීමේ රෙගුලාසිවල 50(01) උප වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇත්තේ: "අදාළ ප්‍රදේශයේ භූමි සැලැස්මක් හෝ ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමේදී තට්ටු හතරකට වැඩි ගොඩනැගිලි සැලසුම් අනුමත නොකළ යුතුය." යන්නයි.
තවදුරටත්, ගොඩනැගිලිවල උස ගණනය කිරීම සඳහා ප්‍රවේශ මාර්ගයේ පළල සැලකිය යුතු වුවද, 50(01) උප වගන්තියට අනුව "ගොඩනැගිලිවල උස ගණනය කළ හැක්කේ එම ප්‍රවේශ මාර්ග එකම කලාපයකට අයත් වන්නේ නම් පමණි."
මෙම ව්‍යාපෘතියේ ප්‍රවේශ මාර්ග එකක් මිශ්‍ර සංවර්ධන කලාපයටත්, අනික විශේෂ නේවාසික කලාපයටත් අයත් බැවින් උස ගණනය කිරීමේදී ක්ලේසන් පාර මාර්ගයේ ප්‍රවේශකත්වය ලබාගැනීම ප්‍රතික්ෂේප වී ඇත. මෙම ඉඩමේ කිසිදු ස්ථානයක මීටර් 40ක පළලක් නොමැති බවද පැවසේ. ඒ අනුව නීත්‍යානුකූලව මෙම ඉඩමට අදාළ උස වන්නේ මීටර් 50ක් පමණක් විය යුතු බවට තර්ක කෙරේ.
කෙසේ වෙතත්, UDA විසින් මෙම පැහැදිලි නීතිමය සීමාව ඉක්මවා තට්ටු හතළිහක් දක්වා ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇත. මෙය UDA හි නිලධාරීන් විසින් නීතිය හා රෙගුලාසි අත්තනෝමතිකව කඩ කිරීමක් ලෙස නේවාසිකයා චෝදනා කරයි.
ජනාධිපති හා අගමැති කාර්යාලවල ප්‍රතිචාරය: "හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනියි"

ක්ලේසන් පෙදෙස් නේවාසිකයාගේ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය (2025.10.10 දිනැතිව) සහ අග්‍රාමාත්‍ය කාර්යාලය (2025.10.14 දිනැතිව) ලිපි මගින් දැනුම් දී ඇත්තේ:
- ජනාධිපති කාර්යාලය: පැමිණිල්ල පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව.
- අග්‍රාමාත්‍ය කාර්යාලය: පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, අක්‍රමිකතා තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ, නිරීක්ෂණ, විමර්ශන අධ්‍යයන සඳහා සියලු තොරතුරු ලබාදීමට නියමිතව ඇත්තේ මෙම ව්‍යාපෘතියට අදාළව ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාදීමටද සම්බන්ධ වූ යසන්ත සහ ඒකනායක යන නිලධාරී මහත්වරුන් පමණක් වීම බරපතළ ගැටලුවක් ලෙස පැමිණිලිකාර පාර්ශ්වය පෙන්වා දෙයි. විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයින් වන්නේද ඔවුන්මය.
"තමන් විසින්ම අනුමත කිරීමට කටයුතු කළ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එය විමර්ශනය කිරීමට පත්කර තිබෙන්නේත් ඔවුන් ම වීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය" යනුවෙන් මෙම ක්‍රියාමාර්ගය විවේචනයට ලක්ව ඇත. මෙය වත්මන් රජය දූෂණයට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කර ඇත.
නේවාසිකයින්ගේ ඉල්ලීම:
කඩිනම් හා ස්වාධීන විමර්ශනයක්!
පැමිණිලිකාර නේවාසිකයා පෙන්වා දෙන්නේ රෙගුලාසි කඩ කිරීමේ සෘජු චෝදනාවට පිළිතුරක් හෝ UDA හි වගකීම පිළිබඳ තීරණයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැති බවයි. එම නිසා, නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් නීති විරෝධී ලෙස මෙසේ තට්ටු හතළිහක් ඉදිකිරීමට අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙසත්, නීතිය උල්ලංඝනය කළ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ නේවාසිකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
මෙම සිදුවීම නාගරික සංවර්ධන අධිකාරිය තුළ පවතින දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නැවත වරක් මහජන අවධානය යොමු කරවන්නකි. කෙලින් වැඩ කරනවා යැයි ප්‍රචලිත ඇමති බිමල් (නාගරික සංවර්ධන අමාත්‍යවරයා) නිල විදේශ සංචාරය අවසන් වී පැමිණි වහාම මේ පිළිබඳව කටයුතු යොදනු ඇතැයි අවසානයේ නේවාසිකයින්ගේ විශ්වාසය වී ඇත.

