හෝම්ලෑන්ඩ්ස් (Homelands) සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් හේරත් ශ්‍රී ලංකාව මේ වන විට
ආයෝජන සඳහා ඉතා හිතකර රටක් බවත්, ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ප්‍රකාශ කර සිටියි.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ හමුවකදීය.
නලින් හේරත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ ආදායම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 20 කට වඩා ඉහළ ගොස් ඇති බවත්ය. එසේම, ඉතිහාසයේ පළමු වතාවට මෙරට ආර්ථිකය මේ වසරේ අයවැය අතිරික්තයක් වාර්තා කර ඇති බවටත් ඔහු පෙන්වා දෙයි.
දූෂණය සහ නියාමන අර්බුදයේ සෙවනැල්ල
කෙසේ වුවද, මෙම ප්‍රකාශයන් සිදුකිරීමට සමගාමීව, හේරත් මහතාගේ හෝම්ලෑන්ඩ්ස් සමාගම කොළඹ තුම්මුල්ලේ ඉදිකරන 'පෙන්ටාරා' සුපිරි නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතල නෛතික හා නියාමන ගැටලුවක් මතු වී තිබේ. මෙම ඉදිකිරීම නීත්‍යානුකූල රෙගුලාසි ඉක්මවා සිදු කෙරෙන්නක් බවටත්, ඊට නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) හිටපු සභාපතිවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බවටත් මේ වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.
මෙම මතභේදාත්මක සිදුවීම හේතුවෙන් හිටපු නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක ට සිය ඇමතිධූරය අහිමි වූ බවටත් සැක පහළ වෙයි. අනතුරුව පත්කළ ඇමති බිමල් රත්නායක විදෙස්ගතව සිටියදී පවා හිටපු සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා නතර කිරීමට පියවර ගැනීමෙන් මෙම සිදුවීමේ බරපතලකම මනාව පැහැදිලි වේ. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ තට්ටු හතරකට ඇති නෛතික අවසරය තට්ටු 40ක් දක්වා වැඩි කිරීමට හෝම්ලෑන්ඩ්ස් සමාගමට තිබූ සුදුසුකම කුමක්ද යන්නයි.
ආණ්ඩුවේ හිතවත්කම් සහ ප්‍රතිපත්තිමය අභියෝගය
හේරත් මහතාගේ ආයෝජන හිතකර ප්‍රකාශය, මාලිමා ආණ්ඩුවට සමීප "ලංකා ටෘත්" වෙබ් අඩවියේ පළවීමත්, සාමාන්‍යයෙන් රටේ දේශපාලන බලය වෙනස් වන විට ව්‍යාපාරිකයින් බලය සහිත පාර්ශ්වයට එක්වීමේ සාම්ප්‍රදායික රටාවත් සැලකීමේදී, හෝම්ලෑන්ඩ්ස් සමාගම වත්මන් රජයේ සමීප ව්‍යාපාරික පාර්ශ්වකරුවෙකු බවට දේශපාලන විචාරකයන් අනුමාන කරයි.
කෙසේ වුවද, හේරත් මහතා පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාවේ දූෂණය අවම වෙමින් පවතින බවත්, ඉදිරි වසර දෙක තුන තුළ රට දූෂණයෙන් තොර වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සඳහන් කරයි. එසේම, රජය පෞද්ගලික අංශය මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබමින් ව්‍යාපාරවලට සහාය දක්වන බව ද ඔහු අවධාරණය කරයි.
වර්තමාන රජය බලයට පත්ව ඇත්තේ දූෂණ, වංචා සහ අනීතික ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමේ අරමුණ පෙරදැරිවය. එවැනි ප්‍රතිපත්තිමය පදනමක් සහිත රජයක සමීපතම ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් බරපතල නියාමන ගැටලුවක් මතු වී තිබීම, රජයේ "දූෂණය පිටුදැකීමේ" ප්‍රතිපත්තියේ සත්‍යතාවට සහ ආයෝජක විශ්වාසයට සෘජු අභියෝගයක් එල්ල කරයි. දූෂණය අවම කිරීම ගැන කතා කරන අතරතුර, නීති රීතිවලට පටහැනි බවට චෝදනා එල්ල වන දැවැන්ත ව්‍යාපෘති සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය, ඉදිරියේදී රජයේ දේශපාලන ස්ථාවරය සහ ආයෝජන හිතකර පරිසරයේ ස්වභාවය තීරණය කරනු ඇත.
#සමාරා පරණවිතාන

