ප්‍රංශයේ පැවති ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ 4වන අමාත්‍ය සමුළුව (4th Ministerial Conference on Feminist Foreign Policies) සඳහා
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහභාගී වීම ජාත්‍යන්තර දේශපාලනයේ සහ දේශීය පාලන ක්‍රියාවලියේ ස්ත්‍රීවාදී මූලධර්මවල සම්බන්ධ කතිකාවකට මග පාදා ඇත.
ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය (Feminist Foreign Policy) යනු කුමක්ද?
ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය (SVP) යනු ස්ත්‍රී පුරුෂ සමානතාව සහ කාන්තා අයිතිවාසිකම් රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තියේ මූලික අරමුණ සහ ප්‍රධාන මූලධර්මය බවට පත් කරන රාමුවකි.
සාම්ප්‍රදායික විදේශ ප්‍රතිපත්ති ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ භූ-දේශපාලනික බලය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට, ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය ස්ත්‍රී පුරුෂ සමානතාව සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයකටම - සාමය සහ ආරක්ෂාව, සංවර්ධනය, වෙළඳාම, සංස්කෘතිය, මානව හිමිකම්, දේශගුණය - මුල සිටම කාවැද්දීම අරමුණු කරයි (Gender Mainstreaming).
ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය, දේශීය මෙන්ම ගෝලීය වශයෙන් පවතින පීතෘමූලිකත්වය (Patriarchy), යටත්විජිතවාදය (Colonialism), ධනවාදය සහ වර්ගවාදය ඇතුළු අසමානතාවයන් පවත්වාගෙන යන බල ව්‍යුහයන් හඳුනාගෙන ඒවා පරිවර්තනය කිරීමට උත්සාහ කරයි.
කාන්තාවන්ගේ අත්දැකීම් සමාන නොවන බව ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය පිළිගනී. එබැවින්, ලිංගභේදය, ජාතිය, පංතිය, ආගම හෝ ආබාධිතභාවය වැනි කරුණු මත පදනම් වූ බහු-විචල්‍ය වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, වඩාත්ම ආන්තික වූවන්ගේ අවශ්‍යතා පෙරට ගෙන ඒම අත්‍යවශ්‍ය යැයි සලකයි.
ප්‍රතිපත්තිමය අවධානය:
- කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම සහ සම්පත් සඳහා ප්‍රවේශය.
- ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම.
- සාමය සාධනය, ගැටුම් වැළැක්වීම සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි කාන්තාවන්ගේ අර්ථවත් සහභාගීත්වය (Meaningful Participation) සහ නියෝජනය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න විසින් ගෝලීය දකුණේ (Global South) කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා SVP හි සැබෑ අර්ථය පිළිබඳව අදහස් දැක්වීම වැදගත් වන්නේ, දකුණේ රටවල් සඳහා SVP යනු හුදෙක් කාන්තා නියෝජනය වැඩි කිරීමකට වඩා, ඓතිහාසික අසාධාරණයන් සහ සංවර්ධන අභියෝගයන්ට මුහුණ දෙන අතරතුර ආර්ථික සාධාරණත්වය, ණය සහන සහ දේශගුණික යුක්තිය වැනි පුළුල් ගැටළු දේශපාලන න්‍යාය පත්‍රයට ගෙන ඒම විය යුතු බව පෙන්වා දිය හැකි බැවිනි.

‘ස්ත්‍රීවාදය’ යන්නක් ආණ්ඩුකරණයට යොදා ගත යුත්තේ ඇයි?
ස්ත්‍රීවාදී මූලධර්ම ආණ්ඩුකරණයට යොදා ගත යුත්තේ එය වඩාත් සාධාරණ, ජනතාවාදී සහ කාර්යක්ෂම පාලනයකට මඟ පාදන නිසා බවයි ඊට එක්වූවන්ගේ අදහස වී ඇත්තේ.
විශේෂයෙන්ම ගැටුම් නිරාකරණ ක්‍රියාවලීන්හි කාන්තා සහභාගීත්වය, සාමය බිඳී යාමේ සම්භාවිතාව අඩු කරන බවත්, ඇතිකරගන්නා සාම ගිවිසුම් වඩාත් කල්පවත්නා වන බවත් අධ්‍යයන මඟින් තහවුරු වී ඇත.
ස්ත්‍රීවාදී ප්‍රවේශයක්, සම්පත්, අයවැය සහ ප්‍රතිපත්තිමය ප්‍රතිලාභ සමාජයේ සියලුම කණ්ඩායම් වෙත සාධාරණව බෙදී යන්නේ දැයි විමර්ශනය කරයි. කාන්තාවන් සහ ආන්තික කණ්ඩායම් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුබසාධනය සඳහා වැඩි ආයෝජනයක් වෙනුවෙන් පෙනී සිටීමට වැඩි ඉඩක් ඇත.
විවිධ වූ නියෝජනයක් ඇතිව, පාලන තීරණ වඩාත් නව්‍ය, විවේචනාත්මක සහ විස්තීරණ වේ. ස්ත්‍රීවාදී පාලනය, බලය කිහිප දෙනෙකු අතර කේන්ද්‍රගත කරන ලද ධූරාවලියකට වඩා, බලය බෙදාගැනීම සහ විමධ්‍යගත කිරීම (Power-with) අගය කරයි.
ස්ත්‍රීවාදය හුදෙක් පවතින පද්ධතිය තුළ කාන්තාවන් ඇතුළත් කිරීමට වඩා, අසමානතාවන් නිර්මාණය කරන පද්ධතිමය හේතූන් වෙනස් කිරීම අරමුණු කරයි.
'ස්ත්‍රිය' නොපවතින සංකල්පයක් නම් ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තියක් කුමකටද?
මනෝ විශ්ලේෂණය තුළ, ලැකාන් "ස්ත්‍රිය" (The Woman) යනු නොපවතින සංකල්පයක් බව ප්‍රකාශ කළේය (ප්‍රසිද්ධ කියමන: La femme n'existe pas - "ස්ත්‍රිය නොපවතියි").
මෙයින් අදහස් කළේ, 'මනුෂ්‍යයා' (Man) යනුවෙන් පීතෘමූලික සමාජය විසින් අර්ථකථනය කරන ලද විශ්වීය, සියල්ල ඇතුළත් ප්‍රවර්ගයක් මෙන්, විශ්වීය, ඒකීය වූ 'ස්ත්‍රිය' යන ප්‍රවර්ගයක් නොපවතින බවත් සිටින්නේ තනි තනි කාන්තාවන් (women) පමණක් බවත් ය.
එහිදී පීතෘමූලික සමාජයේ සංකේතාත්මක පිළිවෙළ (Symbolic Order) නිර්මාණය වී ඇත්තේ පුරුෂ ලිංගිකත්වය වටාය. එමගින්, පුරුෂයා විශ්වීය 'සියල්ල' (The All) ලෙසද, ස්ත්‍රිය එම නීතියට සම්පූර්ණයෙන්ම හසු නොවී ඉතිරි වන 'සියල්ල නොවන' (Not-All) ලෙසද නිර්වචනය වේ. ස්ත්‍රිය පීතෘමූලික භාෂාවේ 'ආගන්තුක වස්තුවක්' (The Other) ලෙස ස්ථානගත වේ.
ශිෂැක් මෙම ලැකානියානු තර්කනය තවදුරටත් ඉදිරියට ගෙන යයි. ඔහුට අනුව, "ස්ත්‍රිය" යන සංකල්පය යනු පුරුෂයාගේ මනෝ-පැතුමෙහි (Unconscious Desire) නිර්මාණයක් මිස, ස්ත්‍රියකගේ සැබෑ ආත්මය නොවේ. පුරුෂයා, 'ස්ත්‍රිය' යනු කුමක්දැයි නිර්මාණය කරන්නේ තමන්ගේම අභ්‍යන්තර අසම්පූර්ණතාවය (Incompleteness) හෝ නිර්මාණය වීමට ඇති ආශාව පියවා ගැනීමටය.
මෙම දාර්ශනික විවරණයට අනුව, සැබෑ ස්ත්‍රීවාදයක් යනු පීතෘමූලික සමාජය විසින් නිර්මාණය කරන ලද 'ස්ත්‍රිය' යන සංකේතාත්මක වහල්භාවයෙන් මිදීමට ගත් උත්සාහයකි. ස්ත්‍රීවාදී ප්‍රතිපත්ති පාලනයට යොදා ගැනීමේදී, එමගින් හුදෙක් "නියෝජනය" යන සංකේතාත්මක සීමාව ඉක්මවා ගොස්, සමාජය තුළ බලයේ සැබෑ ව්‍යුහයන් සහ ආන්තිකකරණයට ලක් වූ තනි පුද්ගල කාන්තාවන්ගේ යථාර්ථයන් වෙනස් කිරීමට අවධානය යොමු කළ යුතුය. එනම්, ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තිය මගින් "ස්ත්‍රිය" යන සංකේතය නොව, ලෝකය පුරා සිටින නොපවතින විශ්වීය ස්ත්‍රීත්වයෙන් බැහැර වූ තනි පුද්ගල කාන්තාවන්ගේ (individual women) අයිතිවාසිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීම අරමුණු කළ යුතුය.
තවත් ලෙසකින් කියනවා නම්..
ස්ත්‍රීවාදය යනු ධනේෂ්වර පුරුෂ නිර්මිතයේම දෙයක් බවට වන විවේචනය, විශේෂයෙන්ම ලිබරල් ස්ත්‍රීවාදයේ ප්‍රධාන ධාරාවට වලංගු සහ ප්‍රබල වේ. එම ලිබරල් ස්ත්‍රීවාදය හුදෙක් ප්‍රතිසංස්කරණවාදයේ කොටසක් ලෙස ක්‍රියා කරමින්, ධනේශ්වරයේ ව්‍යුහාත්මක අසමානතාවන් වසන් කිරීමට දායක විය හැකිය.
කෙසේ වෙතත්, විවේචනාත්මක ස්ත්‍රීවාදයේ (Critical Feminism) ධාරා (මාක්ස්වාදී, මූලික සහ පශ්චාත්-යටත්විජිත) පද්ධතියේ ව්‍යුහයම වෙනස් කිරීමට සටන් කරයි. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ, අනෙකුත් ලිබරල් සංකල්ප මෙන් පද්ධතිය පවත්වාගෙන යාම වෙනුවට, පවතින සමාජ-ආර්ථික හා දේශපාලන පිළිවෙළට අභියෝග කරමින් සහ අතිරික්තය (The Not-All) දේශපාලනීකරණය කරමින් පරිවර්තනයක් (Transformation) ඉල්ලා සිටීමයි.

