මෙම සටහන කොටස් දෙකකින් පළකරනුයේ දිග වැඩි වන බැවිනි
(දීර්ග ලිපි කියවීම සඳහා කිසිවෙකුට ඉස්පහසුවක් නොමැත).
මේ සිද්ධිය උනේ මීට දවස් 10කට කලින්, ඒ කියන්නේ 18වෙනිදා. මම කොන්ඩේ කපාගන්න සැලෝන් එකට ගියා. දොරෙන් ඇතුල් වෙනකොටම, වෙනත් අයෙකුගේ කොණ්ඩය කපමින් සිටි කරනවෑමියා වෙනදට වඩා ප්‍රබෝධයෙන් සිනාසෙමින් මගෙන් මෙසේ විමසීය:
"වැඩේ නියමෙට කෙරුනා නේ"?
මම ද සිනාසෙමින් ම්ම්හ්හ් කියා පිළිතුරු දුනිමි.
ඉන් පසු ඔහු කියා සිටියේ, අපට වෙන මොකුත් ඕන නැහැ තෙල් ටික අඩු කරලා, මනුස්සයෙකුට ගෙයක් දොරක් හදාගන්න අවශ්‍ය සිමෙන්ති ඇතුළු භාණ්ඩ වල මිල සහ අත්‍යවශ්‍ය බඩු මිල අඩු කලොත් ඇති බවය. මා එවිට ඔහුට පැවසුවේ තෙල් මිල අඩු කළ නොහැකි බවත්, එසේ කල හොත් අර්බුධ ගණනාවක් ඇති වන බවත්ය. නමුත් ඔහු දිගින් දිගටම තර්ක කරමින් කියා සිටියේ තෙල් මිල අඩු කල හැකි බවය. ඔහු ඒ සඳහා ජවිපෙ විසින් සමාජ ගත කර ඇති අදහස් ගෙන හැර දක්වමින් මෙසේ පැවසීය:
"අපට තියන ප්‍රශ්නේ තමයි තෙල් පිරිපහදුවක් නැති කම (සපුගස්කන්දේ තෙල් පිරිපහදුවක් ඇති සඳහන් නොකලෙමි)... අනුර දිගටම කිව්වේ ඒක නේ. හම්බන්තොට වරාය හැදුව වෙලා තෙල් පිරිපහදුවක් හැදුව නම් තෙල් රුපියල් 50ට දෙන්න තිබුනා. මුන් හම්බන්තොට වරාය හැදුවේ හොරකම් කරන්න ඕන නිසා නේ... තෙල් පිරිපහදුව හැදුව නම් හොරකම් කරන්න බැහැ..."
මා එවිට පැවසුවේ තෙල් මිල අඩු කළහොත් දැනටමත් ලංකාවේ ඇති වාහන ලක්ෂ 85ක ප්‍රමාණය තොර තෝංචියක් නැතුව ධාවනයේ යෙදවෙන බවත්, තවත් වාහන ගෙන්වීම, මාර්ග විශාල වශයෙන් පුළුල් කිරීම සහ නඩත්තු කිරීම, අමතර කොටස්, ලිහිසි තෙල්, ආදිය සඳහා මුදල් වැය කිරීමට සිදු වන බවත්, එය නැවතත් අර්බුධයකට තුඩු දෙන බවත්ය. නමුත් මගේ අදහස් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔහුට ඇති තරම් විසඳුම් සහ කරුණු ගෙනහැර දැක්වීමේ හැකියාව ජවිපෙ විසින් පසුගිය කාලයේ සමාජ ගත කල සංවාදය විසින් බලගන්වා තිබුණි.
ඔහු මෙසේ පැවසීය:
"ඇයි බැරි? දැන් මේ අනුර ජනාධිපති වෙලා ගත උන මාස දෙකේ කොච්චර නම් රාජ්‍ය වියදම් ඉතිරි උනාද? අරුන් හිටිය නම් කොච්චර වියදමක්ද? ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන්ට නේ රටේ සල්ලි වියදම් වෙන්නේ... ඒ ඉතිරියම ඇති තෙල් මිල අඩු කරන්න. රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරලා අදායම් හොයාගන්න පුළුවන් නේ... මුලින්ම කරන්න ඕන තෙල් පිරිපහදුවක් හදන එක..."
මා එවිට පැවසුවේ තෙල් මිල රුපියල් 50 නොව අර්බුධයට පෙර පැවති මිල වන 117 දක්වා හෝ අඩු කළහොත් පාරවල් පවා ඉඩ මදි වන බවය.
ඔහුට ඒ සඳහා ද පිළිතුරු තිබුණි. ඔහු මෙසේ පැවසීය:
"ඔය හයි වේ එක හදන්න අනුමත වෙලා තිබුනේ මං තීරු අටකට උනත් හැදුවේ හතරකට... භාගයකට වැඩියෙන් මුන් ගසා කෑවා... මොකද පාරවල් හදන්න බැරි හොරකම් නොකරනවා නම්?"
ඔහු සමග තර්ක කිරීම තේරුමක් නැති බැවින් මා අවසානයේ කියා සිටියේ කල යුතුව ඇත්තේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීම බවය.
ඔහු ඊට කොහෙත්ම එකඟ නොවීය. එවිට ඔහු මෙසේ පැවසීය:
"මට ඇල්ටෝ එකක් තියනවා... මනුස්සයෙකුට ත්‍රීවීල් කට්ටක් හරි ඕන තමන්ගේ වැඩ ටික කරගන්න..."
කරනවෑමියා විසින් දිගින් දිගටම එවැනි දේ පවසන බැවින් මා එක වරම ඔහුට පැවසුවේ කන්න බොන්න නැති විශාල පිරිසක් ද නිර්මාණය වී ඇතිබවය. ඔහු එය පිළිගත් අතර මාතර නගරයේ එවැනි පිරිස් සිටින සුවිශේෂී ප්‍රදේශ සහ කන බොන අයුරු පිළිබඳව විස්තර කළේය. ඔහුට අනුව ඒ ප්‍රදේශ වල බොහෝ දෙනෙක් යැපෙනුයේ එක වේලකින් හෝ දෙවේලකින් පමණි. එය ද යන්තමිනි.
කරනවෑමියා තවදුරටත් පවසා සිටියේ, ජනාධිපති සහ ඇමති මණ්ඩලය පරණ අකාරයෙන් නඩත්තු නොකරන බැවින් ඉදිරියේ දී විශාල මුදලක් ඉතිරි වන බවත්, ඒවායින් සහන සැලසිය හැකි බවත්, එම ඉතුරුම් රටේ සංවර්ධනයට ද යෙදවිය හැකි බවත්ය. ඒ සියල්ල ජවිපෙ විසින් සමාජ ගත කර ඇති අදහස්ය.
ඉන් පසු ඔහු කිහිප විටක්ම පැවසුවේ
"දැන් ඉතින් අපේ වැඩේ කළා... දැන් ඒ ගොල්ලෝ වැඩේ හරියට කරන්න ඕන"... යනුවෙනි.
ඊළඟට පැමිණියේ මාගේ කොණ්ඩය කැපීමේ වාරයයි. මා කොණ්ඩය කැපීමට වාඩි වූ සැනින් ඉතා පැහැපත් දිලිසෙන සමක් සහිත මැදි වියේ අයෙකු දොරෙන් ඔලුව දමා කරනවෑමියාගෙන් විමසා සිටියේ තව කොච්චර වෙලා යාවි ද යනුවෙනි. කොණ්ඩය කැපීමට ඉතිරිව සිටියේ මම පමණක් බැවින් ඔහු විනාඩි 20ක් පමණ යනුවෙන් පවසන ලදී. සමේ ස්වභාවය, ඇඳුම පැළඳුම, චර්යාවන් මෙන්ම කාලය ඉතා වැදගත් කොට සලකන පුද්ගලයෙකු බැවින් ඔහු වෛද්‍යවරයෙකු බව මම එකෙනෙහිම තීරණය කලෙමි. ඉන් පසුව කරනවෑමියා ඔහු සමග කතාවට වැටුණි.
කරනවෑමියා පොෂ් මිනිසාගෙන් මෙසේ විමසීය:
"යාලුවා පැරදුනා නේ"?
"ඔව් පැරදුනා"...
යනුවෙන් පිළිතුරු ලැබිණි.
නමුත්, යාලුවා කවුද... මොන පක්ෂයේ ද යන්න මට එකවර සිතා ගත නොහැකි විය.
ඒ සමගින් පොෂ් මිනිසා මෙසේ ද පැවසීය:
"මිනිහා බැස්සේ ඇමතිවරයෙක් වගේ නේ... ඔච්චර කල් ඕකේ ඉඳල දැනගන්න එපාය එහෙම කරල හරියන්නේ නැහැ කියල"... යැයි පැවසීය...
මේ දෙදෙනා කතා කරමින් සිටිනුයේ උපුල් කුමාරප්පෙරුම පිළිබඳව බව මට හැඟී ගියේ එවිටය.
එවිට නැවතත් කරනවෑමියා මෙසේ විමසීය:
"ඩොක්ටර් මම නම් හිතුවේ නැහැ තුනෙන් දෙක එයි කියල" (මගේ උපකල්පනය නිවැරදිය ඔහු වෛද්‍යවරයෙකි)...
"ඔව් මමත් හිතුවේ නැහැ" යනුවෙන් පිළිතුරු දුනි...
ඉන් පසුව කරනවෑමියා වෛද්‍යවරයා වෙතින් විමසා සිටියේ සරෝජා පෝල්රාජ්ගේ දිව්රුම් දීම ඇගේ සැමියා රෝහලේ ශල්‍යාගාරයක වැඩකරමින් සිටිය දී රූපවාහිනියෙන් නරඹන අයුරු දැක්වෙන ඡායාරූපය පිළිබඳවයි (ඒ දිනවල එය සමාජ මාධ්‍ය තුල ජනප්‍රියව තිබුණි). ඔහු එය වෛද්‍යවරයා වෙතින් විමසන විටම වෛද්‍යවරයා තම අතේ තිබූ දුරකථනය මෙන්න යයි පෙන්වීය. ඔහු ඒ මොහොතේත් එය නරඹමින් සිටි අතර මෙසේ ද පැවසීය: "ඒ එයාගේ හැටි... රඟපානවා නෙවෙයි"... (එය සැබෑය)...
උපුල් කුමාරප්පෙරුම පරාජයට පත්වීම පිළිබඳව සමාජ මාධ්‍ය වල විවිධ විශ්ලේෂණ පල විය. තවත් සමහරුන්ට අනුව ජවිපෙ ඔහුට ෂොට් එක දී ඇත. නමුත් ඇත්තටම සිදු වී ඇත්තේ ඔහු මිල අධික වාහන පිරිවරාගෙන ගමන් කිරීම වැනි දේ ඔහුගේ පරාජයට බලපෑම් සහගත වී ඇති බවයි (බොහෝ දෙනා පවසන පරිදි)... මෙහි ඇති උත්ප්‍රාසය නම් "ජනතාව" ජවිපෙ වෙතින් භාණ්ඩ හා සේවා පාරිභෝජනය එහි උපරිමයෙන් බලාපොරොත්තු වීමේදී ඔවුන් වෙනුවෙන් එය සහතික කිරීම සඳහා එවැනි පාරිභෝජනයක් රහිත මගමානවක පිරිසක් බලාපොරොත්තු වීමයි (උපුල්ගේ හැසිරීම ප්‍රතික්ෂේප වීම).
මෙතෙක් පැවති ද්විපක්ෂ යාන්ත්‍රණයේ ආණ්ඩුකරණය තුල රටේ නායකයා, මැති ඇමතිවරු සහ අනෙකුත් ප්‍රභූන් යනු හැකි තාක් මුදල් උපයා ගැනීම සහ ලොව ඇති උපරිම ආතල් සොයා යන පිරිසකි. ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වීම ඇතුළු අනෙකුත් ආයතන ඔවුන් විසින් භාරගනු ලබනුයේ එම බලාපොරොත්තුවෙනි.
"ජනතා සේවය" යනු ව්‍යාජයක් වන අතර ඔවුන් විසින් ඉටුකරනු ලබන්නේ රටේ ව්‍යාපාරිකයින්ගේ අරමුණු සහ ධනවාදය වර්ධනයට අවශ්‍ය කර්තව්‍යන්ය. ඒ අනුව ඔවුන් "ජනතාව" වෙනුවෙන් "කැපවී" සිටි පිරිසක් නොවේ.
නමුත් දැන් ජවිපෙට සිදු වී ඇත්තේ කුමක් ද?
ඔවුනට දැන් සිදුව ඇත්තේ, වැටුප් නොගෙන, දුක් විඳිමින්, දිවා රෑ වෙහෙසෙමින්, ආතල් යටගසමින් ඊනියා ජනතාවගේ භාණ්ඩ සහ සේවා පාරිභෝජනය උපරිම කිරීම සඳහා කැපවීමට බව පැහැදිලි සත්‍යයකි.
මෙහි ඇති දරුණුතම උත්ප්‍රාසය වන්නේ "ජනතාවට" වඩා දස දහස් ගුණයකින් ආතල් ගැන සිතන පිරිසක් ව්‍යාපාරික අවශ්‍යතා මත නියෝජනය වූ තත්වය සහමුලින්ම වෙනස් වී තම සියල්ල කැප කරමින් "ජනතාවට" ආතල් දීමට පෙරුම්පුරන මගමානවක පිරිසක් බිහි වී තිබීමයි.
@ස්පාර්ටකස් ලිපි
Madawa Ruwanpathirana fb පිටුවෙන් උපුටාගති.