දිනකට දහස් ගණනින් මිනිස් සිරුරු පුළුස්සන හිට්ලර්ගේ අවුෂ්විට්ස් ඝාතකගාරයේ දී ගෑස් කුටීරයේ දී තම පුතාගේ මළ සිරුර දක්නට ලැබේවි යැයි ෂවුල් කිසි විටකත් නොසිතන්නට ඇති.
හංගේරියානු ජාතික 'ෂවුල්' තම පුතණුවන්ගේ සිරුර ආදාහනාගාරයේ දැවෙන දහසකුත් මළ සිරුරු අතරට යවන්නට කැමැති වූයේ නැත.
ඔහුට අවශ්‍ය වුයේ තම පුතණුවන්ගේ මළ සිරුර කෙසේ හෝ ගෞරවණීය අන්දමින් භූමදානය කිරීම ය. ෂවුල්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ තම පුතණුවන් වෙතට සුවදායි මරණයක් උරුම කරදීම පමණී. අන්ත අසරණ වූ පියෙකි.
දිනකට දහස් ගණනින් පුළුස්සා දමන මිනිස් සිරුරුවල මිනී අළු කඳු ගඟට දැමීම, මරා දමන ගෑස් කුටි ශුද්ධ පවිත්‍ර කිරීම ෂවුල්ගේ කාර්යයි. තනිකරම මිහිපිට අපායකි. නෙතින් කඳුළු වැගිරෙන්නේ ඔහුගේ නොව අපගේ ය. ලෝකය මෙතරම් කුරිරු වූයේ කෙසේ ද? කියා අපට සිතෙයි.
මේ 'Son Of Saul' නමැති සම්මානනීය හංගේරියානු චිත්‍රපටයේ කථා සාරාංශයයි. සිනමාපටය අප සිතන තරම් අහිසංක නැත. බිහිසුණු ය.
1.පුද්ගලබද්ධ සිනමාකරණය (Subjective Cinematography) - : චිත්‍රපටයේ වඩාත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි ප්‍රධාන චරිතය වන 'සාවුල්ට' අති සමීපව කැමරාව තබා ගනිමින් එහි පටු ක්ෂේත්‍ර ගැඹුරක්( Depth Of Field) භාවිතා කිරීමයි. මෙම කැමරා විස්කම නරඹන්නා සාවුල්ගේ මානසික තත්ත්වය තුළ ගිල්වා දමන අතර අවුෂ්විට්ස් හි බිහිසුණු බව පිළිබිඹු කරමින් 'ක්ලාස්ට්‍රොෆෝබියා' වැනි මානසික අවුල් සහගත හැඟීමක් ඇති කරයි.
2.අවම දෙබස් භාවිත කිරීම -: චිත්‍රපටය හිතාමතාම සංවාද සීමා කරයි, ඒ වෙනුවට කඳවුරේ භීෂණය සහ බලාපොරොත්තු සුන්වීම ප්‍රකාශ කිරීම සඳහා දෘශ්‍ය සහ ශ්‍රවණ මූලද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කරයි. යුදෙවි සමූලඝාතනයේ අමානුෂික ස්වභාවය අවධාරණය කරයි.
3. සාවුල්ගේ අරමුණ: චිත්‍රපටය පුරාවටම, සාවුල් තම පුත්‍රයා යැයි විශ්වාස කරන කුඩා පිරිමි ළමයෙකුට නිසි භූමදානයක් ලබාදීමට උමතු උත්සාහ කරති. ඝතක කඳවුරේ අමානුෂික තත්වයන් මධ්‍යයේ මෙම උමතු අරමුණ මනුෂ්‍යත්වයේ සහ බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස ක්‍රියා කරයි.
නොකියාම බැරි මගේ සටහන -;
ඇත්තටම ඇයි ජර්මානුවන් මේ තරම් යුදෙව්වන් සමඟ බද්ධ වෛරයක් ඇති කර ගත්තේ?
මිලියන ගණනක් යුදෙව්වන් ගෑස් කාමරවල සිරකළ මරණයට පත්කිරීමෙන් අනතුරුව, මිනී කඳු ගණන් ගොඩ ගසා අමු අමුවේ පුළුස්සා දමන්නට තරමි වෛරයක් ඇති වුයේ මන්ද?
ජර්මානුවන් සිතු පරිදි යුදෙව්වන් විසින් ඔවුන්ගෙන් කුමක් හෝ වටිනා දෙයක් සොරාගෙන ඇති බව ජර්මානුවන්ගේ අවිඥානික සිතේ පැළදියම් වීම මෙම ප්‍රචණ්ඩත්වයට හේතු වූ බවයි. එමෙන්ම ජර්මානුවන් විසින් ඔවුන්ගේ ගැහැණුන් යුදෙව්වන් සොරකම් කිරීම වඩාත් ප්‍රචණ්ඩත්වයට පත් වීමට හේතු වු බවයි.
තිස් වසරක පැවති මෙරට ජනවාර්ගික ගැටුම නිමවුවත් තවමත් සිංහලයාාට දෙමළා තේරුම් ගැනීමේ හැකියාවක් නැත. සිංහලයන් සිතන්නේ දෙමළුන් තමන්ගේ වටිනා දෙයක් අත්පත් කර ගැනීමට මාන බලමින් සිටින බවයි. සිංහලයන් සිතන්නේ මෙය අතීතයේ සිටම බෞද්ධ-සිංහල රාජ්‍යයක් වු බවත්, ලංකාවේ තනි අයිතිය සිංහලයන් සතු බවයි ඔවුන්ගේ අදහස. එය සිංහලාගේ අවිඥනයේ සේම විඥානය තුළ පැළ කරන ලද්දේ දේශපාලඥයන් විසිනි. ජර්මානුවන් යුදෙව්වන් පිළිබඳව සිතුවේද මේ ආකාරයටයි. නමුත් ඉතිහාසය සැබෑ හෝ වේවා නොවේවා, මේ දෙස මානුෂිය පැත්තකින් බැලුවහොත් දමිළ, මුස්ලිම් ජනවර්ගයන්ට මේ භුමිය තුළ වාසය කිරීමේ අයිතියක් ඇත. ඒ නිසා තවදුරටත් සිංහලයා සහ දෙමළාගේ ප්‍රශ්නය සබුද්ධිකව සිතන්නට මේ ජන දෙවර්ගයට නොහැකි වී ඇත. සිංහලයා සිතන්නේ තමන්ගේ භුමිය සින්නකරව ලියවා ගන්නට දෙමළා දත කන බවයි. දෙමළා සිතන්නේ අපිව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බැවින් සිංහල ජාතිකයාගෙන් වෙන්ව විප්‍රවාසීව විසීම ඇඟට ගුණ බවයි. සිංහලයා සහ දෙමළා මේ ජන දෙවර්ගය යමින් සිටින්නෙ කතරගමට වුවත්, මොවුන් දෙදෙනාම කතරගම නොගොස් අතරමඟ පාරවල් දෙකක අතරමං කුළල් කා ගනිමින් සිටිති.
දේශපාලඥයාගේ අල්ලේ නැටවෙන දෙමළාටත්, සිංහලයාටත් තවමත් ඔවුන්ගේ මේ ප්‍රශ්නය හඳුනාගැනීමට නොහැකිව ඇත. සංහිඳියාව ඉස්සරහට දමා කරනා මෙලෝ ඉටිගෙඩියක් නැත. ජන්දය කුමන පාර්ශවයකට හෝ දැමීම ඔවුන්ගේ ස්ව අයිතියයි. එය විවේචනය කිරීම අනෙකාට අදාළ නැත. ජන්දය තමන්ට කැමති පාර්ශවයට දැමීම ඔහුගේ රුචිකත්වය පිළිබඳ කාරණාවකි. ඔබ තමන් කැමති පාර්ශවයකට ජන්දය ප්‍රකාශ කරනවා සේම, අනෙකා ද තමන් සිතැඟි පාර්ශවයකට කතිරය ගසයි. එය සාමාන්‍යය සිදුවීමක්. සිංහල සහ දමිළ දෙපාර්ශවයම බැට කෑ තිස් වසරක අමිහිරි අත්දැකීම අමතකව ගොසින් ය. තමන් දාගෙන සිටින ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී පාට කණ්ණාඩියට පයින් ගසා සබුද්ධිකව කටයුතු කරන්නෙ නම් ලංකාව ආකල්පමය වශයෙන් අන් ලෝකයේ ජාතීන්ට වඩා පෙරට ගමන් කරනු ඇත.
"Son of Saul" චිත්‍රපටය දැඩි විචාරක පැසසුමට ලක් වූ අතර, 2015 කෑන්ස් චිත්‍රපට උළෙලේ Grand Prix සම්මානය සහ 2016 වසරේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය (Best Forighn Language) සඳහා වන ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය. Son of Saul' හංගේරියානු චිත්‍රපටය තුළ සාකච්ජාවට ලක් කරන අනෙකා පිළිබඳ ඇති මහා වෛරය තුළ යුදෙව්වන් අමු අමුවේ ඝාතනය කළා වැනි තවත් අමු සොහොනක් ලංකාවෙන් මතු වීමට ඉඩ විවර නොගත යුතු බව සිනමාපටයේ යටි පෙළින් ප්‍රේක්ෂකයාට හඟවන බලවත් කාරණාව බවට පත් වෙයි. නොපමාව තවමත් 'Son of Saul' නරඹන්න. තමන්ගේ ශරීරය තුළ ඔඩු දුවන ජාතිවාදය නමැති පිළිකාව නසන්නට හොඳ ඖෂධයකි.
@මලින්ත විතානගේ