අපි සමාජයක මිනිසුන් හඳුනාගන්න කොට බලනවානේ මොනවාද මෙයාට තියෙන චරිත ලක්ෂණ කියලා. විශේෂයෙන්ම සහකරුවෙකු සහකාරියක හොයන කොට සැළකිලිමත් වෙන කාරණා තියෙනවා.
මෙතෙන්දී ‘සෙන්ස් ඔෆ් හ්‍යුමර්’ ගැන සැළකිලිමත් නොවන කෙනෙක් නැහැ. ඇත්තටම යම් පුද්ගලයෙකුට ‘සෙන්ස් ඔෆ් හ්‍යුමර්’ එකක් තියෙනවා කියන්නේ එවැනි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වාගන්න පහසුයි. හාස්‍යය, සරදම තේරුම් ගැනීමට එය අගය කිරීමට යමෙකුට ඇති හැකියාව තමයි ‘සෙන්ස් ඔෆ් හ්‍යුමර්’ කියන්නේ.
ස්ටෑන්ඩ් අප් කොමඩි කියන දේ හැමෝම තේරුම් අරගෙන තියෙන්නේ වැරදි කොණකින් වගේ. මෙහෙමයි එක අතකින් කුමන ආකාරයේ පර්ෆෝමින් ආර්ට් එකක් වුණත් ජනතාව අතරට ආවාම රටේ සමාජයට අදාළ අමුතු හැඩයක් ගන්නවා.අපේ විත්‍රපටිය කියන දේ වුණත් දැන් බණකට තොරණකට ඔන්න මෙන්න තියෙන්නේ. ජාතක කතා, දේව කතා වගේ දේවල් නිසා සහ ඒවා ඉදිරිපත් කරන විදිය නිසා. දැන් මේවා බලල චිත්‍රපටියක් කියන්නේ මොකක්ද කියලා වෙනම සංවාද කරන්න වෙනවා. ඒ කාලේ ඇනස්ලි බර්ටි සැමුවෙල් වුණත් ස්ක්‍රිප්ට් එකකට අනුව කළ විනෝදාත්මක රඟදැක්වීම ස්ටෑන්ඩ් අප් කොමඩියක් ම නෙවෙයි. නමුත් මුල් කාලීනව එවැනි සැළසුම්ගත නාට්‍ය ලක්ෂණ ස්ටෑන්ඩ් අප් කොමඩියක තිබුණා.
මේකේ විශේෂත්වය වන්නේ ‘එක පර්ෆෝමර්‘ කෙනෙක් ප්‍රේක්ෂකාගාරය අමතමින් කරන එකයි. පර්ෆෝර්මර් එයාට ම ආවේනික ඇඳුමක් හෝ ඇඳුම් විලාසයක් ඇතිව ඉතාම සැහැල්ලුවෙන් වෙනත් වේදිකා භාණ්ඩ පාවිච්චි නොකොට හිටගෙන තමයි ඉදිරිපත් කිරීම කරන්නේ. දැන් මේ නතාෂා ගේ ස්ටෑන්ඩ් අප් පර්ෆෝම්වල කියැවෙන දේවල්වලට හිනා යන්නේ නැහැ කියල සමහරු කියනවා. මොකද එයා ආගම සම්බන්ධ කරුණු එයාගේ ඉදිරිපත් කිරීමට ගෙනැල්ලා තියෙන නිසා. මේකෙ කොමඩි කියන කෑල්ල තියෙන නිසා අපි හිනායන්න ඕන කියල හිතුවට ස්ටෑන්ඩ් අප් කියන්නේ ඉල ඇදෙන විහිළු ම නෙවෙයි. කොමඩි කිව්වම ඒක ප්‍රහසනයක් විදියට හිතන්න පුළුවන්. නමුත් එතන වැඩිපුරම තියෙන්නේ හ්‍යුමර් එකක්. හ්‍යුමර් එකක් කියන්නේ සරදම්කාරි අදහසක්. හ්‍යුමර් එකක් තේරුම් ගන්න පැහැදිලිවම කෙනෙකුට පරිඥානයක්, ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අදාල කාරණය සහ එහි පසුබිම ගැන තාර්කික වැටහීමක් තියෙන්න ඕන. කොතරම් උසස් සංකල්පයක් ගැන වුවත් විවේචනාත්මකව බලන්න පුළුවන් සැහැල්ලුව තියෙන්න ඕන.
සාමාන්‍යයෙන් ස්ටෑන්ඩ් අප් කොමඩි කරන කොට මේ පර්ෆෝර්මර්ස්ලා මාතෘකාවන් තෝරාගෙන ඉදිරිපත් කරන අකෘතියක් තියෙනවා. මේක ලෝකයේ කොහෙත් සිද්ධවෙන දෙයක්. ස්ටෑන්ඩ් අප් කොමඩියක දී මෙන්න මේ ආකෘතික ලක්ෂණ අනිවාර්යයි. විවිධ අර්ථ තියෙන වචන තෝරාගන්නවා. ඩබල් මීනින්ස් වගේ දේවල්. වචනවල ශබ්ද භාෂා රීතී හාස්‍යය දැනෙන පරිදි වෙනස් කරනවා. සමහරවිට විකෘති කරනවා. සමාජ තහංචි වගේ දේවල් කඩ කරනවා නැත්නම් උල්ලංඝනය කරනවා. සමාජයේ දැඩි පිළිගැනීම්, විශ්වාස, අදහිලිවන්තකම් වැනි දේවල් උල්ලංඝනය කරනවා. සමහර පුද්ගලයන්ට පිළිගත් චරිතයන්ට පරිභව කරනවා. ජනප්‍රිය සංස්කෘතිය වැනි දේ ගැන විවේචනාත්මක ප්‍රකාශ කරනවා. සමාජීය හා දේශපාලනික විවේචනය කරනවා. මේ හැමදේම මෙවැනි ප්‍රසාංගික අංගයක තිබිය යුතුයි.
හැබැයි දැන් ලංකාව කියන්නේ මෙ රට මෙතෙක් පාලනය කළවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයින් සිද්ධවෙන හැමදේම තමන්ගේ අනාගත දේශපාලන වාසියකට හරවන තැනක්.