SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"When someone told me. I live in a fantasy world. I nearly fell off my unicorn - 

මා ජීවත් වන්නේ මනස්සෘෂ්ටික ලෝකයකයැයි යමෙකු කීමෙන් කලබල වූ මා කඟවේනාගේ පිට මතින් නොවැටී බේරුණේ යන්තමිනි." - Anonymous

ෆැන්ටසිකරණයවූ ආශාව ගැන, වටිනා අදහස් කිහිපයක් සැඟවී තිබෙන සිනමා කෘතියකි Michael Haneke අධ්‍යක්ෂණය කළ Piano teacher (2001).

'පියානෝ ටීචර්'හි කතා නායිකාව වයසින් අවුරුදු 40ට ආසන්න මැදි වියට පැමිණි කාන්තාවකක්. පියානෝ වාදනයෙහි දක්ෂයෙක් වන ඇය වියානා සංගීත අධ්‍යයන අංශයේ මහාචාර්ය වරියක් වශයෙන් ක්‍රියා කරයි.

පියානෝව වැයීමට අමතරව ඇයගේ විශේෂත්වය වන්නේ ඇය 'Masochist' හෙවත්, වද බන්ධනයන්ට ලක් වීමෙන් ලිංගික තෘප්තිය ලැබීමට ආශාවක් ඇති ගැහැණියක් වීමයි. නමුත් ඇය සතු මෙම ආශාවෙහි මානයන් ගැන ඇය හරිහැටි දන්නේ නැත.

 

f 6

ඇයට තරුණ ඉංජිනේරුවෙක් හමු වෙනවා. ඔහුත් පියානෝ වාදකයෙක්. ඇය වාදනය කරනා පියානෝ කණ්ඩ වල විශිෂ්ටත්වය දැක ඔහු ඉන් උද්දාමයට පත් වෙනවා. ඇයගේ දක්ෂතාවය නිසාම ඔහු පියානෝ ගුරුවරියට ආකර්ෂණය වෙනවා. ඔහු ඇයගේ සිසුවා කරගන්නා බවට ඇයගෙන් ඉල්ලයි. ඔහු ඇයගේ සිසුවා වන නමුදු ඇය වෙත සමීප වීමට තැත් කරනා සෑම විටම, ඇය ඔහුව නොසලකා හරිනවා.

තමා වෙත සමීප වීමට එන තරුණයාව පියානෝ ගුරුවරිය නොසලකා හරින්නේ යම් ආයාසයකින් බව අපට තේරුම් යනවා. නොසලකා හරිනා වාර ගණන වැඩි වෙනවාත් සමගම, ටිකෙන් ටික ඇය ඔහු කෙරෙහි ඇල්මක් ඇතිකර ගැනීමට පටන් ගනී. එනම් සාධාරණ හේතුවක් රහිතව සිදු කරන නොසලකා හැරීමම, ඊට විරුද්ධ ප්‍රතිඵලය වන ඔහු කෙරෙහිවූ අවිඥානක ආශාව තවත් වැඩි කරනු ලබයි. නොසලකා හැරීමට ලක්වන තරුණයාට ඇයව ලබා ගැනීමට නොහැකි වීමෙන්ම, ඇය කෙරෙහිවූ ඔහුගේ ආකර්ෂණය තව තවත් වැඩි වෙයි. දෙදෙනාගේම ඇති වන්නේ අනෙකා කෙරෙහි වූ ෆැන්ටසි දෙකකි. සිසුවා ගුරුවරියට ආදරය කිරීමට පටන් ගනී. ඔහුට අවශ්‍ය ආදරය පමණි. ඇයට අවශ්‍ය වන්නේ ආදරයට වඩා එහා ගිය දෙයකි. ඇයගේ ෆැන්ටසිය ඔහු ලවා වධ බන්ධනයට ලක්ව ලිංගික තෘප්තිය ලැබීමටය. මෙම ෆැන්ටසි දෙක එකිනෙකට සමපාත වන්නේ නැත.

 

f 2

 

ඇය දිනක් Pornography (අසභ්‍ය) සිනමාපට තියෙන සාප්පුවකට යනවා. ඇය Pornography චිත්‍රපටයක්, කුටියකට ගෙන ගොස් හුදකලාව බලන්නට ගන්නවා. ඇය බලන්නේ ඉන් සතුටු වෙන්න නෙවෙයි. ඇයගේ ආශාව කුමක්දැයි ඇය හරියටම දන්නේ නැහැ. ඇය Pornography චිත්‍රපටය බලන්නේ එම ආශාව ඉගෙන ගන්න. එනම් වචනයෙන් විස්තර කළ නොහැකි, ඇයගේ සැඟවී ඇති ආශාව කුමක්දැයි තේරුම් ගැනීමට.

කතාව මොහොතකට නැවතුව හොත්, මෙතැනදී අපට මතක් වෙන්නේ "අපගේ ආශාව යනු අනෙකාගේ ආශාවය" යන මනෝවිශ්ලේෂණ ප්‍රකාශනයය.

මෙහි අනිකා වෙන්නේ, ඒ Pornography ෆිල්ම් එකත් එහි චරිතත්ය. එනම්, අප අපගේ ආශාව හරිහැටි නොදන්නා බවත්, එහි ඛණ්ඩාංක වර්ධනය කර ගන්නේ අනෙකාගෙන් බවයි.

අප විලාසිතා වලට ආශාව ලබා ගත්තේත්, මත්පැන් බොන්නට ආශාව හොයා ගත්තෙත්, ලිංගික ආශාව සොයා ගත්තේත්, ක්‍රීඩා සඳහා ආශාව සොයා ගත්තේත්, ගරු බුහුමන් ලැබීමේ ආශාව ආදී ආශාව පිළිබඳ මානයන් ලබා ගන්නේත් අනෙකාගෙනි. ලිංගික ආශාව ආදිය ජෛව ක්‍රියාවලියක ප්‍රතිඵල බව සැබෑය. නමුදු එහි ඛණ්ඩාංක හා අන්තර්ගතය අනෙකාගෙන් අප ඉගෙන ගනී. ආශාව ජෛව ක්‍රියාවලියක් පමණකින්ම එන දෙයක් නොවන බවට තේරුම් ගැනීමට Thought experiment එකක් කල හැක. දැන්, මේ ලෝකයේ මාලු බෑම කියා විනෝදාංශයක් නැතැයි සිතමු. කිසිවකු එය නොකරයි, එය තහනම්ය. එසේ වුවහොත් මටද මාළු බෑම තුළින් ඇතිවන ආශාව කුමක්දැයි කිසිම විදිහකට දැනගත නොහැකි වේ.

මෙහි අනිකා යනු Big Other ය. මෙම අනෙකා අප අවට සිටින මිනිස් සමාජ බැදීම්, සමාජ ආචාර ධර්ම, නීතිය, භාෂාව, දෙවියන් පමණක්ම නොවේය. පොත් පත්, අන්තර්ජාලය, වෙළඳ දැන්වීම්, රූපවාහිනිය, ෆේස්බුක් ආදිය තුලද අනෙකා සිටී.

 

f 8

 

නැවතත් කතාව..

මේ අතර "ඈන්" නම් තවත් සිසුවියක් සමඟ, තරුණ සිසුවා කුළුපග වෙනු පියානෝ ගුරුවරිය දකිනවා. ඇයට ඇති වන්නේ ඊර්ෂ්‍යාවකි. ඇය "ඈන්" විසින් පැළඳීමට නියමිත කෝට් කබායෙහි සාක්කුව ඇතුළට, වීදුරුවක් බිඳ, බෝතල් කටු දමයි. කෝට් එක පැලඳීමේදී ඈන් නොදැනුවත්වම අත කපා ගැනීමෙන් පියානෝ කොන්සර්ට් එකට වාදනය කිරීමට ඇති හැකියාව 'ඈන්ට' නැති වී යනවා.

මේ ද්වේශ සහගත ක්‍රියාවට වගකිව යුත්තේ වෙන කවුරුත් නොව, තම පියානෝ ගුරුවරිය බවට සැකයක් තරුණ සිසුවා ඇති කරගන්නවා. වෙන තරුණියක සමග තමන් සිටිනා බව දුටු ඇයට ඉරිසියාවක් ඇති වන්නට නම්, මේ වනවිටත් පියානෝ ගුරුවරිය ඔහුට කැමැති වී සිටිය යුතු බව තේරුම් ගන්නා ඔහු පියානෝ ගුරුවරිය සොයා යනවා.

 

f 3

 

දෙදෙනා අතර කෙටි ලිංගික කාර්යයක් ඇති වෙනවා. නමුත් ඇය අතරමගදී එය නවතනවා. තරුණ සිසුවා ඇයගෙන් ආදරය ඉල්ලනවා. ඇය අවනත වන්නේ නැහැ. ඔහුගේ ආශාව වන්නේ ඇයගේ ආදරය ලබා ගැනීම. නමුත් ඔහුගේ ආදරය ඇයට අවශ්‍ය නැහැ. Masochist වන ඇය කැමති, ඔහුගෙන් අවමානයට, වධ බන්ධනයට ලක්වී ලිංගික තෘප්තිය ලැබීමට. ඔහු යනු ඇයගේ Masochist චරිතය හා අනුගත වන ඇය බලාපොරොත්තු වෙන 'Sadist' චරිතය නෙවෙයි. එනම් ඔහු සහකරු වද බන්ධනයට ලක් කර ලිංගික තෘප්තිය ලබන කෙනෙක් නොවෙයි. මෙලෙසින් ඔවුන්ගේ සමපාත නොවන ෆැන්ටසි දෙක එකට ගැටෙනවා. මෙවැනි ආශාවක් ඇයට ඇතැයි ඔහු දන්නේ නෑ. ඇය කියනවා ඇය ඔහුගෙන් බලාපොරොත්තු වන දේ ලියුමකින් දන්වන්නම් කියලා. තරුණ ඉංජිනේරුවාට පසුදින ඇය හමුවීමට ගිය පසු ලියුම කියවන්නයි කියා ඇය ඔහුට බල කරනවා.

 

f 5

 

ලියුම ලියැවී ඇත්තේ මේ ආකාරයෙන්. ඔහු ලියුම කියවන්නට ගන්නවා.

"ඔයා මාව ගැට ගහල බෙල්ට් එක තද කරන්න. මට සද්ද කරන්න බැරි වෙන්න පරණ ස්ටොකින්ස් ටිකක් කටට ඔබන්න. දැන් මගෙ මූණ උඩින් ඔයා ඉදගන්න. (I lick your anus) ඔයා මගෙ බඩට අතින් අනින්න." මෙය කියවන ඔහු ඇය දෙස බලන්නේ අදහා ගත නොහැකි ලෙසය.

"මේ ලියලා තියෙන දේ සීරියස් ගන්න ඕනේ කියලද ඔයා කියන්නේ?" ඔහු ඇයගෙන් අවඥාවෙන් අසා නැවතත් ලියුම කියවන්ට ගනියි.

"මගේ අත්දෙක පිටුපසට තියලා බැඳලා මාව අල්මාරියට දාලා වහන්න. වහලා ඔයා යතුර අරන් යන්න. හෙට උදේට අල්මාරිය අරින්න යතුර අරන් එන්න."

 

f 12

ලියුම කියවන පුරාවටම ඇය ඔහු දෙස බලා සිටින්නේ සීරුවෙනි. ඇගේ මුහුණෙන් පෙන්වන්නේ ඔහු කුමක් කියනු ඇතිදැයි යන කුතුහලයය.

"මම ඔයාගේ අණකිරීම් නොසලකා හරිනවා වගේ තේරුනොත් ඔයා මගෙ කම්මුලට ගහනන්න." ඇය ලියුමේ ලියයි.

මෙතනදී ලියුම කියවීම නවතන ඔහු ඇය දෙස බලයි.

"මේ කියල තියෙන විදියට මට ඔයාගේ කම්මුලට ගහන්න කියලද ඔයා කියන්නේ?" ඔහු අසන්නේ කෝපය මුසු කලකිරීමෙනි.

"මම දෙයක් කියන්නම්, ඔයා වගේ කෙනෙක්ට මම ග්ලවුස් එකක් දාලා වත් කම්මුලට ගහන්නෙ නෑ තේරුණාද? ඒ මොකද ග්ලවුස් එකත් නරක් වෙනවා එහෙම කලොත්. දැන් ඔයාගේ මහ ලොකූ ශුද්ධවන්ත කට ඇරලා මට කියනවා මේ මොන විකාරයක්ද ලියල තියෙන්නෙ කියලා."

 

f 9

 

ඇයගේ සිතෙහි අභ්‍යන්තර ආශාව තමන්ට නිරාවරණය වීම තුළ තරුණ සිසුවාට ඇය කෙරෙහි තිබූ ෆැන්ටසිය මෙලෙසින් බිදී යයි. ෆැන්ටසිය බිඳීයාමට නමක් ඇත. එනම් එය සමාන වෙන්නේ 'Nightmare' හෙවත් නපුරු බියකරු හීනයකට ගොදුරු වීමටය.

ඔහුගේ කලකිරීමට ප්‍රතිචාරයක් වශයෙන්, "මම පියානෝ ගුරුවරියක් මිස කවි කාරියක් නොවයි" කියා ඇය ඔහුට කියයි. ඇයට කීමට අවශ්‍ය වන්නේ, ඇගේ සම්පූර්ණ ආශාව වචනයට ලිවීමට ඇය සමත් නොවූ බවයි. එනිසා ඔහු ඇයව හරියට වටහා නොගත් බවයි.

නමුදු ආශාව වචනයට ගැනීමට කිසිසේත්ම නොහැකි බව අප දනී. වචන වලින් ලියනා හෝ කියනා දෙයක් අපගේ හරිම සිතුවිල්ල නියෝජනය නොකරන්නේ 'දෙයාකාරයකිනි'. පලවෙනි වර එය අපගේ සිතුවිල්ලෙන් බැහැර වන්නේ, වචනයට, එම සිතුවිල්ල නියමාකාරයෙන් නියෝජනය කිරීමට හැකියාවක් නැති බැවිනි. එය දෙවන වරට අපගේ සිතුවිල්ලෙන් ඈත් වන්නේ වැකිය අසන්නා, එය තේරුම් ගැනීමේදී, එයට අප නොසිතූ යමක් එකතු හෝ අඩු කරනා බැවිනි. අප යමක් කියනා විටම අප කියන්නේ අප සිතූ දෙයට වැඩි යමකි. නැතහොත් අඩු යමකි.

 

f 4

 

පහතින් කියන්නේ එයයි.

("I always speak the truth. Not the whole truth, Saying it all is impossible: words fail." - Lacan

"මම හැම විටම සත්‍ය ප්‍රකාශ කරමි. නමුත් සියලු සත්‍යය ප්‍රකාශ නොකරමි. සියලුම සත්‍යය කීමට වචන ප්‍රමාණවත් නොවේ. - ලකාන්)

ප්‍රේක්ෂකයා මෙම දර්ශනය අවසන් වන විට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගනියි. ලියුමෙහි ලියැවුණු ආශාව තුළ ඇයගේ හැඟීම් සත්‍ය ලෙස නියෝජනය නොවුණු බව ප්‍රේක්ෂකයාට වැටහෙයි. මෙතෙක් කල් ඇය පසුපස ආ සිසුවා වෙනුවට, ඇයට ඔහු පසුපස යෑමට සිදුවීමේ බල පෙරළිය ප්‍රබල ලෙස සිනමා කෘතියේ මෙතැන් සිට සටහන් වෙයි.

"ආශාව හෙළි වීමෙන් පසු, ආශාව ඇතිකල වස්තුවත් (Objet a), ආශාවේ වස්තුවත් යන දෙකම අපට අහිමි වේ."-

යන මනෝවිශ්ලේෂණ අර්ථ දැක්වීමද මෙහිදී සිහිවෙනවා. ආශාව ඇති කිරීමට සමත් වස්තුවට අප කියන්නේ Small object of desire (Objet a) කියාය.

මෙය අප තේරුම් ගන්නේ කෙසේද? සිසුවා ඇයට කැමැති වන්නේ ඇයගේ ඇති දක්ෂතාවය නිසාය. වෙන කෙනෙකුට නැති එම දක්ෂතාවය යනු, ඔහුට ඈ කෙරෙහිවූ ආශාව වර්ධනය කරනා වස්තුවය. එනම් Objet a ය. එය ආශ්‍රයෙන් ඔහු ඇය කෙරෙහි වූ ෆැන්ටසිය තනා ගනී.

ප්‍රේම සම්බන්ධයකදී වුවද විවාහයකදී වුවද, අනෙකාව සම්පූර්ණයෙන් තේරුම්ගත් පසුත්, අනෙකාගේ ලිංගික ආදී, ආශාවල් තේරුම් ගත් පසුත්, එනමි Objet a නිරාවර්ණය වූ පසු, දෙදෙනා කෙරෙහි තිබූ ආකර්ෂණය අඩුවී යන බවද අපට මෙලෙසම මතක් වෙයි.

 

f 2

නැවතත් කතාව.

එදින රාත්‍රියේ දී, ඇයව හමුවන ඔහු, ඇය කියූ ලෙස ඇයගේ කම්මුලට ගහනවා. ඇයගේ නහයෙන් ලේ එනවා. ඇය ඔහුව නවත්තන්නට අයදිනවා. ඇයගේ ආශාවන් එළිදරව් කිරීමකට කළ දඬුවමක් සේ කරනා, ලිංගික කාර්යය ඔහු නවත්තන්නේ නැහැ. එහි කිසිදු හැඟීමක් නැති බව අපිට පෙනී යනවා. එතනදිත් ඔහු අවසාන වරටත් ඉල්ලන්නේ මට ආදරය කරන්න කියාය. ඇයගේ තිබුනු ලිංගික ෆැන්ටසියට වඩා සත්‍ය සිදුවීම බොහෝ කටුකය. 'ඇගේ ආශාවන් මේ දක්වා රැගෙන එනු ලැබුවේ, ඇය තුළ තිබූ ෆැන්ටසිය විසිනුයි'. එය බිඳ වැටීම තුලන්, සිද්ධියේ වූ අප්‍රසන්න, කටුක සත්‍ය ස්වභාවය Trauma එකක් හෙවත් 'ක්ෂතිමය' අත්දැකීමක් ලෙසින් ඇයට නිරාවරණය වෙනවා. එය ෆැන්ටසිය තුළින් ඇය ලබූ වින්දනයට කිසිසේත්ම සමාන නැහැ. ෆැන්ටසියත් සත්‍යයත් එකක් නොව දෙකක් වන බව තේරුම් යනවා.

මහා කලකිරීමකින් වන ලිංගික දර්ශනයක් සිනමාවේ වූයේ නම්, මේ දර්ශනය ඉන් කිසිවෙකටත් දෙවෙනි නොවන බවද මෙහිදීම කිව යුතුය.

ඉන් දින කිහිපයකට පසු, ඔහු එන තුරා කොන්සර්ට් එක පැවැත්වෙන සංගීත ශාලාව ඉදිරිපිට ඇය බලා හිඳිනවා. බලාපොරොත්තු රහිත ලෙස ඔහු පැමිණෙන්නේ වෙනත් කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙකු සමඟ කෙළිදෙලෙන් යමක් පවසමිනුයි. ඔහු සිටින්නේ සතුටින්. ඇයගේ ශෝකයත්, ඔහුගේ සතුටත් අතර ප්‍රබල වෙනස ප්‍රේක්ෂකයාට පෙනෙනවා. එනම් ඔහු ඇයව දැනටමත් අමතක කර ඇති බව පෙනෙනවා. තමන්ගේ ආශාවන් ඉටු කිරීමට තෝරාගත් තැනැත්තා, ඇයගේ ආශාවේ වස්තුව හෙවත් තමන්ගේ ආදරවන්තයා, තමන්ට අහිමිවූ බව දැන ගන්නා ඇය මුවහත් පිහියකින් සිය පපුවට ඇන ගන්නවා.

එතනින් සිනමාපටය නිමයි. එය 2001දි Cannes Film Festival එකේදි Grand Prix සම්මානය දිනාගන්නවා.

 

f 14

 

"ඇයගේ ආශාව පවත්වා ගෙන ආවේ, ඇය තුළ තිබූ ෆැන්ටසිය විසිනුයි" යනුවෙන් ඉහත දී සඳහන් කළා. "ආශාව පවත්වා ගැනීමට ෆැන්ටසි තිරයක් අවශ්‍යයයි" කියන ප්‍රකාශය තේරුම් ගන්නේ කෙසේද?

මෙය පැහැදිලි කිරීමට සටහන දිග නොවන අටියෙන් ඉතා කෙටියෙන්, තවත් උදාහරණයක් ගෙන එන්නම්.

මේ උදාහරණය Patricia Highsmith විසින් ලියන ලද Black House නම් කෙටි කතාවෙන්.

අතීතයේ එක්තරා නගරයක කන්දක් මුදුනේ ගරා වැටුණු ගෙයක් තිබුණා. මේ ගෙදරට කිව්වේ Black House කියලා. කන්ද පාමුල තැබෑරුමක් තියෙනවා. තැබෑරුමට කන්ද මුදුනේ ඇති මේ ගෙදර දිස්වෙනවා. මිනිසුන් තැබෑරුමේ මත්පැන් පානය කරමින් ඒ ගෙදර ගැන නොයෙකුත් කතා කියනවා. ඒ නිවසේ, මනස විකුර්තිවූ අවතාරයක් මෙන් සැරිසරනා පුද්ගලයෙක් ඇති බවත්, ගෙදරට ඇතුළු වන සියල්ලන් ඔහු මරා දමන බවත් කතා වෙනවා.

නමුත් අතීතයේදී ඒ ගෙදර දැනට වඩා බොහෝ වෙනස් බව ඔවුන් කියනවා. තමන් තරුණයන්ව සිටින කාලයේ කාන්තාවන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් කරමින් කෙළිදෙලෙන් ඒ නිවසේ ගතකල කාලයක් වූ බව ඔවුන් කියනවා. එකිනෙකා පරයා, ඔවුන් ඒ නිවස සම්බන්ධ ඔවුන්ගේ වික්‍රම කියනවා. නමුත් ඒ නිවසට දැන් ඇතුළු විය නොහැකි. එය අවතාරයක බලපෑමට ලක් වී ඇත.

කරුණු මෙසේ වෙද්දී එම නගරයට තරුණයෙක් පැමිණෙනවා. ඔහුට මේ සියලු කතා අහන්නට ලැබෙනවා. දිනක් ඔහු කියනවා මම මේ Black House එක ඇතුලට ගිහිල්ලා මේක ඇත්තද බලනවා කියලා. කිසිවකු එයට කැමති වන්නේ නැහැ. එසේ වුවද තරුණයා ඒ කන්ද මුදුනේ ගෙදරට ඇතුල් වෙනවා. පුදුමයකට මෙන් ඔහුට එහි කිසිවකු හමුවන්නේ නැහැ. එය හිස් ගෙදරක්. දිරාගිය පැදුරක් පමණක් හමු වෙනවා.

තරුණයා කන්ද පහලට ඇවිත් කරුණු හෙළි කරමින් හිනාවෙනවා. තැබෑරුමේ සිටි මිනිසුන් කලකිරීමට ලක් වෙනවා. ඉන් එක් අයෙක් ඔහුට පසු පසින් පහර දී මරා දමනවා.

මේ ප්‍රබන්ධ කතාව ගෙන එන්නේ ජිජැක් විසින්. ඔහු කියනවා තැබෑරුමේ මිනිසුන්ගේ ෆැන්ටසිය තිබුණේ ඒ පාලු ගෙදර තුළ කියලා. ඔවුන්ගේ කතාවන්, ආශාවන් සියල්ල පාළු නිවස තුළ ඇති වුණා කියලා. තරුණයා කරනු ලැබුවේ ෆැන්ටසි රාමුව කඩා දැමීම. දැන් ඔවුන්ගේ ආශාව ගෙනදුන් කතා ගෙතීමට තවදුරටත් නොහැකියි. ඔවුන්ගේ ආශාවල් ප්‍රක්ෂේපනය කරන්නට ෆැන්ටසි තිරයක් නැහැ.

මීට සමානවූ විවිධ උදාහරණ වලින් එකක් ලෙස, රටකට නායකයෙක් පත් කර ගන්නා විට අප ඔහුගෙන් බලාපොරොත්තු වන අපගේ ආශාවන්, ඔහු මත කෙතරම් ෆෑන්ටසිකරනය කර ප්‍රක්ෂේපණය කරනවාදැයි රහසක් නොවෙයි. අපගේ ෆැන්ටසියට ඔහුට වග කියන්නට නොහැකි අතර, එය බිඳී යෑමෙන් සිත් වේදනා වීමේ වගකීම බාර ගත යුත්තේ ඔහු නොව අපය.

------

සාරාංශය ලෙස, අපගේ නෙයෙකුත් ආශාවන් අපි ගෙනියන්නේ ෆැන්ටසි තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමෙනි. අපගේ ආශාව අප මොඩල් කරගන්නේ අනෙකාගෙනි. අපගේ ආශාවන් වලට මුළුමනින්ම අප නිරාවරණය වුවහොත්, ඒ සඳහා ආශාවන් අහිමීවී යෑමෙහි වන්දිය ගෙවීමට සිදුවේ. තවද අප මිනිසුන්ට ආශා කරන්නේත් වෛයිර කරන්නෙත් අපට තේරුම් ගත නොහැකි ඒ ගුප්ත භාවය (Objet a) නිසාවෙනි.

මේ කරුණු, ගැහැණු පිරිමි අතර ඇති සම්බන්ධ විශ්ලේෂණය කිරීමට පමණක් යොදා ගන්නා ඒවා පමණක් නොවන අතර ඒවා පුද්ගල මනස, දේශපාලන සමාජ ආර්ථිකය ආදී විවිධ මාතෘකා විශ්ලේෂණය කිරීමට යොදා ගන්නා විශාල විෂය පථයක් වන මනෝවිශ්ලේෂණයෙහි මේවලම් කිහිපයකි. මෙම විෂය පථය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ සිග්මන් ප්‍රොයිඩ් විසින්ය. වඩාත් යථාර්ථවාදීව සමාජය ලෙස බැලීමට අවශ්‍ය නම්, ඒ සඳහා ජීවිත කාලයක් පුරා අධ්‍යනයන් කළ මිනිසුන්ගේ දැනුම පරිහරණයට ගැනීමට අප පැකිළිය යුතු නොවේ.