SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,

1956යේ ”සිංහල පමණයි” අටමගලය ව්‍යවස්ථාපිත කරපු දා සිට වසර 67ක් පුරා ම පක්ෂයක් විදිහට එජාපයට අහිමිකර තිබූ නූතනවාදී ඩොමීනියන් ආර්-ථික ප‍්‍රථිරූපය යලි ගෝලීය ආර්-ථික ප‍්‍රතිරූපයක් ලෙසින් වෙනත් වටයකින් කරලියට ගෙන එන්නට අහඹු දේශපාලන කාල-අවකාශයක් 2022දී විවර වුණි.

ඒ දේශපාලන කාල-අවකාශය ඇති වූයේ වසර 67ක ජාතිවාදය ද මරාගෙන ය. නමුත් 2022දී ඒ දේශපාලන කාල-අවකාශය විවර වන මොහොතේ එජාපයේ පක්ෂ යන්ත‍්‍රය පැවතියේ 1956යේ පරාද වූ සර් ජෝන් කොතලාවලගේ එජාපය පැවති තත්වයටත් වඩා අසීරු අකර්මණ්‍ය තත්වයක ය. තමන්ට වාසි සහගත දේශපාලන කාල-අවකාශයක් ඇති වූ ඒ මොහොතේ එජාපය සහ රනිල් සිටියේ අවාසි 02ක් සහ වාසි 01ක කාඩ් අතක් අතේ තබාගෙන ය.

ඒ අවාසි 02ක නම්

1)  සජිත් ප්‍රේමදාස ඇතුළු බහුතරයක් පක්ෂය පාවා දී දියාරුකොට වෙනම කණ්ඩායමක් ලෙස කඩාගෙන යෑමත්,                                                                   

2) මොන කඩාගෙන යෑම ආවත් නොසැලී ජේ.ආර්. ජයවර්ධන වගේ ජාතික තලයේ පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු කරගන්නට තරම් පොළව මට්ටමින් නූතන අත්දැකීම් නැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ එජාපයේ නායකයා වීමත් දේශපාලනිකව රනිල්ටත් වඩා දුර්වල පුද්ගලයෙකු වූ සාගල රත්නායකව ඔහු විසින් තම පක්ෂයේ ජාතික සංවිධායකයා ලෙස පත්කර තිබීමත් ය.

 

2022 එජාපයට තිබූ වාසියක් නම්,

 

1)  ගෝඨාභය පහව යන තැනට කටයුතු සිද්ධ වුණ මූල්‍යාර්-ථික අර්-බුදය විසඳා ගැනීමට අදාළ ගෝලීය ධනේෂ්වර දැනුම තිබූ සහ ගෝලීය ධනේෂ්වර ආයතන විසින් දේශපාලනාර්-ථික විද්වතෙකු ලෙස රටේ පිළිගෙන තිබූ ප්‍රධාන ම පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහ වීම.

        

ඉතිං අසීරු දේශපාලන මොහොතක් තම වාසියට හරවා ගැනීමට නම්,  ඕනෑ ම දේශපාලන නායකයෙක් විනයානුකූළව කළ යුතු මූලික කාර්යයන් කිහිපයක් තිබේ. ඒවා නොකළහොත්, ඔහුට කෙලවර වන්නට සිදුවන්නේ, පොර පිටියෙහි ජෝකර් කෙනෙකු බවට හෝ ජනතාවට පිළිකුල් චරිතයක් බවට හෝ පත්වීමෙන් ය.

              

ඉතිං අසීරු දේශපාලනික මොහොතක් තම වාසියට හරවගන්නා මේ මූලික කාර්යයන් (කළ යුතු සහ නොකළ යුතු දේ) මොනවාද?

 

  1. තමන්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ හෝ සමීපත ම අයට තීරණාත්මක දේශපාලන වගකීම් නොපවරා සිටීම. (මන්ද එවන් අසීරු මොහොතක තමන් හා පුද්ගලික සබඳකමක සිටින අයෙකු පිස්සුවක් කෙළියහොත් හෝ විශාල වරදක් සිදු කළහොත් එය විවේචනය කරන්නට බැරි අසීරු තත්වයකට තමන්ව පත්වී වරද නිවැරදි කරගන්නට බැරිවී යයි.)

 

මා දන්නා තරමින් ආර්.ප්‍රේමදාස විසින් හේමා ප්‍රේමදාස සම්බන්ධයෙන් ද, සජිත් ප්‍රේමදාස විසින් ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ද, රනිල් වික‍්‍රමසිංහ විසින් සාගල රත්නායක සම්බන්ධයෙන් ද  මේ වරදෙහි දැඩිව පැටලූනේ ය. එපමණක් නොව ඔවුන් ඒ වරද නිවැරදි කරගත්තේ නැත.*

 

මා මේ කියන දේ සමහර අයට අපබ‍්‍රංසයක් විය හැකි නිසා, එය තේරුම් ගැනීමට මම වෙනත් මාපකයක් ඉදිරිපත් කරන්නම්. මේ කෙටි සටහන කියවන ඔයාලා තරාදියේ එක් පැත්තකට ප්‍රේමදාස-හේමා, සජිත්-ජලනි සහ රනිල්-සාගල යන අයවත්, තරාදියේ අනික් පැත්තට ජේ.ආර්.ජයවර්ධන-එලීනා ජයවර්ධන යන අයවත් දමා බලන්න! ජාතික දේශපාලනය තුළ ජේ.ආර් ගේ ස්ථාවර දේශපාලනික පෞර්ෂය ද, ප්‍රේමදාස, සජිත් සහ රනිල් යන අයගේ අස්ථාවර දේශපාලනික පෞර්ෂයය ද අතර වෙනසට හේතුව දැනුම හෝ දේශපාලන තත්ත්ව පමණක් නොවේ. ඒ වෙනසට හේතුව තම පුද්ගලික ජීවිතය හසුරුවා ගැනීමේ විනය සහ හැකියාව ද බව පාඨක ඔයාලාට තේරුම් යනවා ඇත. මේ සංදර්භය ගැන මීට වඩා කතා කළ හැකි නමුත් සදාචාරාත්මකව එය නොවටිනා නිසා එය පාඨකයාට හිතා ගැනීමට ඉඩ තබා දැනට නවතිමි. ඊට අමතරව ළමා කාලයේ පීතෘක-උදව්ව(Paternal Support) ලබුණු දරුවන් සහ නොලැබුණ දරුවන් අතර වෙනස හා සම්බන්ධ භාවිත සායනික මනෝ-විශ්ලේෂණ දැනුම හදාරන ලෙස ඉල්ලා නවතිමි.  

 

02) අසීරු දේශපාලනික මොහොතක දී තමන්ගේ අතිදුර්වල කලාපය වෙත රහසින් ගොස් එය අවම තරමින් සියයට 70ක ප්‍රමාණයකින්වත් නිවැරදි කරවා ගැනීමේ සමාජශීලීත්වය ගොඩනගා ගැනීම. හැකිනම් සියයට සියයක් ම නිවැරදි කරවා ගැනීමේ සමාජශීලීත්වය ගොඩනගා ගැනීම. 

                                                          

(රනිල් ජාතික තලයේ පක්ෂය සංවිධානය විය යුතු බව සබුද්ධික සංවාද වලදී පිළිගන්නා නමුත්, තම –ජීවන භාවිතය තුළ එය තම දුර්වල ම භාවිත අක්ෂය ලෙස කිසිවිටෙකවත් හඳුනාගෙන නොතිබූ අතර, ස්ථාවර පක්ෂ ව්‍යුහයක් ගොඩනගාගැනීම වෙනුවට ඔහු කළේ තියෙන පක්ෂ ව්‍යූහයත් අකර්මණ්‍ය වී යන තැනට කටයුතු සිදු කිරීම ය. නමුත් පක්ෂයෙන් පිටමංවූ අය කියන පරිදි එය රනිල් හිතා මතා කළ දෙයක් යැයි කියන්නට මා ඉක්මන් නොවෙමි. මගේ කල්පනාවේ හැටියට රනිල් එය කළේ අවිඥානකව ය. ඒ ගැන නොදැනුවත් සමහර සාමාජිකයින් පක්ෂය හැරදමා ගිය අතර, අනෙක් අය මේ අප්‍රායෝගික භාවිතයට උල්පන්දම් දෙමින්, රනිල් මොකක් හෝ අදිසි තීරණයක් ගෙන ප්‍රශ්න විසඳාවි යැයි සිතමින් බැලයින් සේ මග බලාගෙන සිටියහ).  ඒ විතරක් නොව රනිල් කිසි දවසක පොළව මට්ටමේ ජීවත් වන සාමාන්‍ය ජනයා හමු වූ අයෙකු නොවූ අතර, ඔවුන් හා උරින් උර ගැටී සංවිධාන කටයුතුවල ද නියැලූනේ නැත. අවම තරමින් ඒකී සංවිධාන කටයුතුවලට නිපුනව සිටි රවී කරුණානායක වැනි අයව මහන්සි කරවා වැඩ ගන්නවා වෙනුවට රනිල් කළේ, ඔවුන්ව සැක කරමින් උපායික-පක්ෂ-සංවිධානය ගැන මෙලෝ හසරක් දන්නේ නැති සාගල රත්නායක, රුවන් විජේවර්ධන වැනි අහිංසක මෝඩයින් උඩ දමා, ජාතික මට්ටමින් සේ ම ප්‍රාදේශීය මට්ටමින් සිටි ක්‍රියාශීලී එජාප සංවිධායකයින් අවප්‍රමාණ කිරීම ය. ජයග්‍රහණ සම්බන්ධයෙන් ඔවුන් ක‍්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අවතක්සේරු කිරීම ය.   

 

03)  අසීරු දේශපාලනික මොහොතක දී තමන් ශක්තිමත්ව සිටින කලාපය ගැන උවමනාවට වඩා අධිතක්සේරු කිරීම(Overdetermine) නොකළ යුත්තකි.

 

රනිල් එජාපය පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වීම සහ තම පුද්ගලික සබඳකම් සම්බන්ධයෙන් පක්ෂ දේශපාලනය තුළ විනයගත වීම යන සියළු ම අත්‍යාවශ්‍ය සාධක අවතක්සේරු කර, ගෝලීය මූල්‍යාර්ථිකය සම්බන්ධයෙන් තමන්ට ඇති හසල දැනුම සහ විදේශීය ගෝලීය ආයතන තුළ තමන් ගොඩනගාගෙන තිබුණ ප‍්‍රතිරූපය කෙරෙහි පමණක් අධිතක්සේරුවෙන්(Overdetermination) අනතුරුදායක මානාධික භාවිතයක නියැලූනේය.

 

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික තලයේ රටපුරා විහිද පැතිර පවතින සහ වසර පුරා ක්‍රියාන්විතව පවතින දැවැන්ත උපක්‍රමශීලී පක්ෂ යන්ත‍්‍රයක් වූ ජවිපෙය තමන් හා මූණට මූණ හිටගන්නා තෙක් රනිල්ට මේ අනතුර ගැන සවිඥානක වන්නට නොහැකි විය. ඉතිං ජවිපෙය ප්‍රමුුඛ ජාතික ජනබලවේගය මහා මකන කෑල්ලක් බවට පත්වී රනිල් යන නාමය සේ ම එජාපය යන නාමය ද ඉතිහාස කලූ ලෑල්ලෙන් මකා දැමීමට සැරසෙමින් පවතී. එය ජවිපෙය විසින් කළ දෙයක් ද තමන් විසින් ම කරගත් සියදිවි නසා ගැනීමක් ද කියන එක ගැන රනිල් දෙවරක් සිතිය යුතුව පවතී.

         

අසීරු දේශපාලනික මොහොතක් තම වාසියට හරවාගැනීමට කළ යුතුවූ ඒ මූලික කාර්යයන් ඉටුකර තමන්ව නිවැරදි කරගන්නවා වෙනුවට, අහම්බෙන් ලැබුණු ජනාධිපතිකමෙහි වරප්‍රසාධය එකී කාර්ය ඉටුකර ගැනීමට යොදාගන්නවා වෙනුවට, ජනාධිපති පුටුවේ හිඳගත් සැනින් රනිල් විසින් ගජමිතුරු සාගල සමඟ ආතල් ගැනීම ද, වජිරගේ ඩීල් කෙරෙහි විශ්වාසය තැබීම ද, ජනාධිපති බලතල තියාගෙන බැසිල්ගේ තගවල් ඉදිරියේ පසුබෑම ද, රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් ගෙන එන ඓතිහාස විරෝධී සාංසිද්ධික යෝජනාවලට ඉඩ දීම ද සිදුකරමින්, ගෝලීය ආයතනයක් වන අයිඑම්එෆ් එක හඹා යෑම පමණක් සිදු කළේ ය. ජාතික තලයේ එන හැම ඓතිහාසික දේශපාලන ප්‍රශ්නවලට ඉන් උත්තර නැතිව ගිය අතර ඒවාට උත්තරය කුමන්ත්‍රණයක් කර බලය රඳවා ගැනීම බව විශ්වාස කළේ ය. 

       

ඉදින් මෙවන් අසීරු දේශපාලනාර්-ථික මොහොතක කුමන්ත‍්‍රණ කර බලය රඳාගන්නට හදන්නේ කෙතරම් ද, එතරම් ම ජනතා අප්රසාදයට ලක්වී ජෝකර් කෙනෙක් බවට පත් වෙනවා ම ය. පසුගියදා පාර්ලිමේන්තුවේ රනිල් විසින් පළමුවරට කළ ඒ අතාර්කික, අදේශපාලනික සහ වව්‍යවස්ථා විරෝධී විහිළුව එහි රිහර්සල් එකක් පමණ ය.

      

මගේ කල්පනාවට අනුව, තමන්ට වාසි සහගත දේශපාලන කාල-අවකාශයක් ඇති වන මොහොතේ එය එජාපය වෙත හරවා ගන්නට තිබූ අවසාන ඓතිහාසික අනගි අවස්ථාව දැන හෝ නොදැන රනිල්ට අහිමි කළ තීරනාත්මක චරිත 02ක් සිටී. එයින් එක්කෙනෙක් සාගල රත්නායක වන අතර අනෙකා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මේ දෙදෙනා ජනාධිපතිකම තාවකාලිකව සහ සාන්සිද්ධිකව පික් පොකට් ගසා ගැනීම වෙනුවෙන් රනිල්ට උදව් කළ අතර, ඒත් දීර්ඝ කාලීනව සහ ඓතිහාසිකව රනිල්ට සහ එජාපයට ලැබෙන්නට තිබූ ස්ථාවර ජයක් අහිමි කළේ ය. මගේ දැනුමේ  හැටියට මේ දෙදෙනා මේ අලකලංචිය කළේ නොදැන ය (අවිඥානකව ය).                                                              

ඒ නිසා ඒ දෙදෙනාට ජවිපෙ විසින් තම ස්තුතිය පුද කළ යුතුව ඇත.

     

පක්ෂයක් සංවිධානය වීමේ භෞතික අවශ්‍යතාව පවතින තැනක, ඊට වෙනත් පක්ෂයක පාර්ලිමේන්තු ඡන්ද හෝ කුඩා න්‍යායික පක්ෂයකින් කර දෙන්නට පොරොන්දු වන වාම විරෝධී දැනුම හෝ ජැක් ගැසීම හෝ ඵලක් වන්නේ නැති බව තේරුම් ගත යුතු සත්‍යයකි. පක්ෂයක් සංවිධානය විය යුතු අවස්ථාවක කළ යුතු වන්නේ, පක්ෂය සංවිධානය කිරීම පමණ ම ය. මන්ද එය භෞතික අවශ්‍යතාවක් වන නිසා ය.

     

ඔබට පිපාසා ඇතිවූ අවස්ථාවක කළ යුත්තේ වතුර බීම මිස න්‍යායික කන්ඩායමක් ගෙන්වා H2O ගැන දේශන තියන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවේ. තමන්ට වාසි දේශපාලන කාල-අවකාශය එන මොහොතේ ම සතුරාට හොරා පක්ෂය යටින් සංවිධානය කළේ නම්, මේ මැතිවරණයට ඉදිරිපත් කරන්නට අපෙක්ෂකයින් පවා නැති බංකොලොත් අස්ථානයකට එජාපය ගොදුරු වන්නේ නැත. සජිත් හා සමඟ කණ්ඩායමක් ගැලවී ගියා වුණත් පවා එය කළ හැකි ඉඩක් පැවතුණි.          

            

සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් ජන සහයෝගයෙන් දියත් වුණු 1953 හර්තාලය එන්.එම්.පෙරේරාගේ පාවාදීම උපයෝගීකොට ගෙන ජේ.ආ. ජයවර්ධන විසින් මර්ධනය කිරීමත් සමඟ, 1956යේ එම ජන පීඩනය සිංහල ජාතිවාදී ව්‍යාපාරයක් ලෙසින් මුදාහැර, එය බන්ඩාරනායක හරහා දේශපාලනික කර,  සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් සහයෝගී ජනයා ම ගැලවී විසිරවී 1953න් වසර 02ක් යන්නට මත්තෙන් එය සිංහල-දෙමල ජනයා කා කොටා ගන්නා නව තත්වයකට රට පත් කළේ ය. ඒ සමඟ ම එක්සත් ජාතික පක්ෂය යන නමට තිබූ ජාතිවාද විරෝධී අනන්‍යතාවය ද අර්-බුදයට ගොස් මිලිටරිමය ප‍්‍රතිරූපයක් වූ සර් ජෝන් කොතලාවල නායකත්වය දුන් එජාපය ආසන 08ට බැස්සේ ය.

       

එයින් මතුවට 1977න් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිව සිටි කාලයක ඔහු කළ රාජාසන කතාවක දී  රටේ ජාතිවාදී කල කෝලාහල බණ්ඩාරනායකගේ ”සිංහල පමණයි” ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵලයකැයි සෘජුව ම කියා දමන තෙක් ම, එජාපයේ කිසිවෙක් රටේ බහුතර සිංහල චන්ද පදනම වෙලාගෙන සිටි ඒ ව්‍යවස්ථාපිත ජාතිවාදය එසේ සෘජුව විවේචනය කරන්නට නිර්-භීත වූයේ නැත.

        

2022 වසරේ ජනතා නැගිටීමත් සමඟ ගෝඨාට සහ රටට වූයේ 1956යේ සිදුවූ දෙයට අනික් පැත්ත ය. ගෝඨා ජනාධිපති වී වසර 03ක් ගෙවෙන්නට ප්‍රථමව 2022 වසරේ පැන නැගි අතිවිශාල මූල්‍යාර්ථික ව්‍යසනයක් හමුවේ එතෙක් වසර 67ක් පුරා බෙදී සිටි සිංහල-දෙමල-මුස්ලිම්-බර්ගර් බෙදීම යලි තනි ඒකත්වයක් ලෙස සංධානගත වී, පළමුව අගමැති මහින්ද රාජපක්ෂව ද දවෙනුව මිලිටරි නායක ප්‍රතිරූපයක් වූ ගෝඨා සහ රාජපක්ෂ පවුල ම ද රටෙන් පන්නා දැමුවේ ය. ඒ අරගලයේ මර්මස්ථානය වූයේ කොළඹ ගෝල්ෆේස් අරගලය යි.

           

ඒ වෙනකොටත් මේ අරගලයේ ජන ගඟ තමන් වෙතට හරවා ගන්නට කිසිදු පක්ෂය ප‍්‍රතිසංවිධාන වැඩවලින් සුළු කොටසක්වත් නොකර තිබූ රනිල් සිදුකළේ 1953 අරගලයේ දී එන්.එම්. පෙරේරා කළ දෙයට සමාන්තර ක්රියාවකි.

ඒ මොකක්ද????

 

රාජපක්ෂලා පලවාහරින්නට කලින් ගෝල්ෆේස් අරගලය පීක් එකේ තියෙන කාලයේ රනිල් අරගලයට පක්ෂ මතයක පිහිටමින්  තමන් අයත් පරපුර සේම ඊට පෙර සියළු පරපුර අතින් තරුණ පුරපුරුවලට වැරැද්දක් සිද්ධ වී ඇති බවත්, ඒ නිසා සියළු පාර්ෂවයන් එකතු වී විසඳුම් සෙවිය යුතු බවත් පැවසුවේ ය. ඒ විතරක් නොවේ පාර්-ලිමේන්තුව තුළ අරගලකරුවන්ගේ සටන් පාඨය රැගෙන ”ගෝඨා හොරා” යැයි කියමින් සමූහය සමඟ කෑ ගැසුවේ ය. එයින් අරගලකරුවන් රනිල් කෙරෙහි ආකර්ශනය නොවූවාට, අරගලකරුවන්ගෙන් සැලකිය යුතු නාගරිකයින් ප්‍රමාණයක් රනිල් කෙරෙහි යම් ප්‍රසන්න හැඟීමක් ඇතිකරගත්තේ ය.

        

නමුත් ඔහු මහින්ද පලවා හැරි සැනින් එකවර අගමැතිකම භාර ගැනීමත්, ගෝඨා පලවා හැරි සැනින් ජනාධිපතිකම භාර ගැනීමත් සමඟ එම ප‍්‍රසන්න හැඟීම තරමක් පළුදු වූණේ ය. එහෙත් ඒ වෙලත්, තවම දේශපාලනික රිලේ පොල්ල දැන් තරමට ජවිපෙ අතට ගියේ නැත. අනුර කුමාරට අසරණභාවයෙන් යුතුව මාධ්‍ය සාකච්චා කැඳවන්නට සිද්ධ වුණේ ය. තවද තමන් ජනපති වුවහොත්, පසුව රනිල්  අරගලකරුවන්ට පහසුකම් සලසන බව පැවසූ අතර, රනිල් අරගලකරුවන් හා සංහිදියාවකට යාවි යැයි සියයට 40ක් පමණ දෙනා විශ්වාස කළේ ය. අරගලයෙන් කොටසක් තමන් වෙතට දිනාගන්නට කටුයුතු කරනවා වෙනුවට, රනිල් ජනාධිපති වූ සැනින් රනිලවාදී එජාප පාක්ෂිකයින් අරගල භූමිය ද හැර ගියේ ය. ගෝඨා, මහින්ද සහ බැසිල් කෙරෙහි උපායික ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා වෙනුවට ඔවුන්ට නැවත වරක් නිදැල්ලේ ඉන්නට ඉඩ හරිමින් සාමාන්‍ය අරගලකරුවන් අත්ඩංගුවට ගැනීම සිරගත කිරීම වැනි නොකල යුතු බොහෝ දේ කළේ ය.

      

මේ කිසිදු දෙයක් කරන අතරවත් රනිල් නිකං ආටෝපයට පක්ෂ සමුළුවක් පැවැත් වූවා මිසක එජාපය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් කිසිදු තීරණාත්මක තීන්දුවක් ගත්තේ නැත. රවී කරුණානායක, හරින් ප්‍රනාන්දු සහ අකිල විරාජ් වැන්නවුන් හා සංධානගතවී ඔවුන් යොදාගෙන පක්ෂය යලි ගොඩනගා අලියා නැගිට්ට වුයේ නැත. එසේ කළා නම් පළාත් පාලන මැතිවරණයට ස්ථාවර අපේක්ෂක ලැයිස්තුවක් හදා ගැනීමට මේ හැටි ඇඹරෙන්නට උවමනා නැත. මෙසේ අලියා නින්දට ම යැවූ නිසාවෙන් ඒවන විටත් ශක්තිමත් පක්ෂයක්ව තිබූ ජවිපෙය සෙමෙන් තම පක්ෂ යන්ත‍්‍රය හරහා දේශපාලන බිමේ මහපොළව යටින් හාරා ජනයා සංවිධානය කිරීමේ අහඹු අනගි අවස්ථාව උදා කරගත්තේ ය. ජවිපෙ රනිල් ලෙසින් තමන්ට ලැබුණ අනගි අවස්ථාව පැහැර හැර ආතල් ගැනීම සිදු නොකළේ ය. ඔවුන් මහන්සි වී ජනතාව අතර පක්ෂ සංවිධානය විශාල කළේ ය. අවසානයේ රනිල්ට සිද්ධ වුණේ අතට ගත්තු දේ කටට දාගන්නට බැරිවීමය.                                                                                         

සැබෑ ලෙස ම රනිල් ජේ. ආර් වූවා නම් කළ යුතුව තිබුණේ, තමන් මෙතෙක් දිනා නොගත් ජනතා කැමැත්ත නැවත වර්ධනය කරගන්නා නායකත්ව ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නට සියල්ල පසෙකලා යම් කලක් විපක්ෂයේ ම රැඳෙමින්  මාස 06ක් පමණ තිබූ සුළු කාලය තුළ හොර රහසේ පක්ෂය සංවිධානය කිරීමය. අවම තරමින් කොළඹ නගර සභා බලය සජබෙට නොයන තැනට වැඩකටයුතු කිරීම සහ ගමේ ගම්සභා බලය අවම තරමින් සියයට 40ක් තරම් දුරට හෝ සංවිධානය කර ගැනීම ය. ඒ වෙනුවට රනිල් කළේ තම ප්‍රාදේශිය නායකයින් පොහොට්ටුව සහ අනෙක් පාක්ෂිකයින් ඉදිරියේ නෝන්ඩි කිරීම සහ නොන්ඩි කිරීම ය.

      

අවම තරමින් එජාපයේ සමස්ත පක්ෂ යාන්ත‍්‍රණය සියයට 30ක තරම්වත් සවිබලගන්වා ගෙන ප්‍රතිසංවිධානය වී තිබුණ තත්වයක් යටතේ ගෝඨාගෙන් ජනාධිපතිකම ගන්නට පුළුවන් උනා නම් බැසිල්ට  ඕන ආකාරයේ නැටුම් නටන්නට ඉඩ නොදී රාජපක්ෂලා තමන්ට අවශ්‍ය පරිදි මට්ටු කරගන්නට රනිල්ට හැකියාව තිබුණේ ය.

       

අවම තරමින් ජනාධිපති වූ පසුව හෝ මාස 08ක කාලයක් පක්ෂය සංවිධානය කරගන්නට මහන්සි වී වැඩ කළා නම්, එහෙමත් නැතිනම් මහන්සිවී එය කළ හැකි අයෙකුට වැඩය පවරා ටාගට් එකක් දුන්නා නම්, මේ වන විට පක්ෂය සියයට 60ක පමණ ප්‍රමාණයක් වර්ධනය වී සජබෙ මන්ත‍්‍රීන් බහුතරයක් තමන් වෙත දිනාගෙන සජිත්ව තනි කිරීමටත්, පළාත් මැතිවරණයට සාර්ථක නාමයෝජනාවන් දී ජවිපෙ සමඟ කරට කර තරඟයකට යමින්  පොහොට්ටුවට ස්වභාවික මරණයක් හිමි කර දීමත් සිදුකළ යුතුව තිබුණි.

    

ඒ වෙනුවට රනිල් පොහොට්ටුවත් රැකගෙන යාමේ කෘතිම ප්‍රතිපත්තියකට මාරු වීමෙන් තමන් වෙත දිනා ගැනීමට තිබුණ බහුතර ජනතා ඡන්දය බොල් කරගෙන, පොහොට්ටු පාර්ලිමේන්තු ඡන්ද 134 මත පදනම් වී දේශපාලන තීන්දු ගන්නා, ව්‍යවස්ථාව අමතක කර දේශපාලන තීන්දු සහ රාජ්‍ය-තාන්ත‍්‍රික තීන්දු ගන්නට ගිහින් තමන්ට තිබූ ”ආසියාවේ බුද්ධිමතා” යන ප්‍රතිරූපයත් අහිමි කරගෙන දැන් ජෝකරයෙක් බවට පත්වී ඇත. මේ දෙස බලාගෙන රුවන්ට සහ සාගලට තියෙන්නේ දුක් වන්නට ය. එලෙසම මම නව වම යැයි කියාගනිමින් රනිල්ට බොරු පොරොන්දු දෙමින් බොරදියේ මාළු බාගන්න පැමිණි ගොන් වාම පක්ෂ සාමාජිකයින් සහ නායකයින්ට කියන්න තියෙන්නේ ඊට කිඹුල් කඳුළු දිදී ඈනුම් අරින්නට කියා ය.

              

රනිල් තම නොහැකි කම් තේරුම් නොගැනීම ද, පක්ෂ සංවිධානය පැහැර හැරීම විචේචනය නොකරන එය ආවඩන නිල සහ නිල නොලත් ඇඞ්වයිසර්ලා සරණ යාම ද නිසා ජවිපෙට කිසිවෙක් නැති අස්ස රේස් එකක එකවර පළමුවෙනියා සහ අන්තිමයා වීමට ඉඩ සැලසී ඇත. ඡන්ද අකුලා දැමීම වැනි දේවල්වලින් තව තවත් සතුරු පාර්ශවයේ බලය වර්ධනය වන බව තේරුම් ගැනීමට තරම් වන මහා ලොකු දැනුමක් රනිල්ට ඇත. ඒ නිසා ඇත්ත අරුතින් ජවිපෙ කියන පරිදි ලොටෝ චාන්ස් එක ඇදුණේ රනිල්ට නොවේ. රනිල් සහ ඔහු අවට සිටින අයගේ ගොංකම නිසා ලොටෝ චාන්ස් එක ඇදුණේ ජවිපෙට ය.

          

මේ වියමනෙන් කියන දේට එජාපයේ සහ රනිල්ගේ සමහර උපදේශකයින් සහ සහයකයින් සිනා සෙනු ඇත. නමුත් එජාපයට සහ රනිල්ට මුළු රටෙන් බහුතරයක් සිනාසෙන තත්වයට පත් කළේ ඔවුන් ය.

     

අපට රනිල්ට හෘදයාංගමව කියන්නට තියෙන්නේ හිත රිදෙන කතාවකි. ඉදිරියේ දී ඔයා කුමන්ත‍්‍රණ කරන්නට හදන තරමට වෙන්නේ, ඔයාව තව තවත් ජෝකරයෙකු වෙන එක විතර ම ය.  සියල්ල අතහැර තම පක්ෂ ව්‍යුහය දෙසට කැඩපතක් අල්ලා බලන්න. ඔයා නියුතු විය යුතු ඉම් පෙදෙස ඒක ය.

     

නමුත් එජාපයේ අර්බුද සංදර්භය විශාලවී ඇති වේගය, ජවිපෙ පක්ෂ ව්‍යුහයේ ප‍්‍රමාණය විශාලවී ඇති වේගයට සමාන්තරය. ඒ නිසා රනිල් මේ ගෙවෙන මොහොතේ මම කියන දේ අසන්නේ නැත. නමුත් අනාගතේ විවේක සුවයෙන් ඉන්නට කාලය ලැබුණොත් අසන්නට මට රනිල්ට කියන්නට දෙයක් ඇත. දෙවියන්ට කවුරුන්ව හෝ විනාශ කරන්නට උවමනා වූ විට දෙවියන් පළමුවෙන් කරන්නේ ඔහුට හෝ ඇයට පිස්සු වට්ටන එක ය. එය දැන් සිදුවෙමින් පවතිනවා නේ ද?  වාමාංශිකයෙක් යොදා වාමාංශිකයෙක් පරදවන්නට යන ඔසී අබේගුණසේකර පන්නයේ  1988-89 කුමන්ත‍්‍රණය මෙවර හරියන්නේ නැත. එය 80 දශකයේ තරමක් ප්‍රායෝගික ය. මන්ද එකළ එජාපය යොදාගත් වාමාංශය ප්‍රායෝගික ජන පදනමක් තිබූ නිසා ය. දැන් යොදාගන ඇති අමුතු න්‍යායවාදියා පොළව මට්ටමේ දේශපාලනය තුළ අන්ත අප්රායෝගිකයෙකි. ඔහු ඔසී අබේගුණසේකරටත් වඩා බයගුළු නිසා ටොල්ස්ටෝයි කී පරිදි ඉක්මනින් සටනින් පරදිනවා ය .

 

ඒ නිසා ඒ න්‍යායවාදීන් පස්සෙන් යනවාට වඩා රනිල්ට දැන් අවසාන වශයෙන් කරන්නට ඇත්තේ වෙනත් දෙයක් ය. එනම් ෂේක්ස්පියර් ගේ ”කිං ලියර්” නැවත කියවීම හෝ, එහි ආසියානු සිනමා වර්ෂන් එක වන අකිරා කුරසෝවාගේ ”රාන්” නැමති සිනමා පටය නැවත බැලීම ය. එසේත් නැතිනම් දේශපාලනය සහ ලිංගිකත්වය මිශ‍්‍ර කරගත් කලිගියුලා නව-නූතන මානයකින් කියවන්නට උත්සහ කළොත්, යථාවෙන් කළඳක් හෝ හසුවේවි. ඒකත් නොකළොත්, ඔයාගේ දේශපාලන ජීවිතය ෂේක්ස්පියර් ගේ මැක්බත් චරිතාපදානයේ ලාංකීය වර්ෂන් එක බවට පත්වී අති-ශෝකාන්තයකින්  කෙලවර වේවි!                                                                                                                                                          

රනිල්ට රාජපක්ෂලාගෙන් නොඑන සුභ අනාගතයක්!!!                                                                                                          

@ සටහන  - සොලමන් ඩයස් විසිනි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි