SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දවස්වල ට්‍රැපික් අඩු නිසා පොලීසියට වාහන ආදියෙන් ලැබෙන ආදායම අඩු වී ඇත.

ඉදිකිරීම් ද අඩුවී ඇති නිසා වැලි ගොඩදැමීම්, වැලි ලොරි ආදියෙන් ලබන ආදායම් ද අඩුවී ඇත. පොදුවේ සියලු ආර්ථික කටයුතු අඩුව ඇති බැවින් ඒ ආශ්‍රිත පොලිසියේ ආදායම් ද අඩු ව ඇත. ඒ නිසා බොහෝ පොලිස් නිලධාරීන්ට ඉතිරිව ඇති එකම ආදායම් මාර්ගය පෙට්‍රල් ෂෙඩ් එක බවට පත් ව ඇත. ඒ ඒ අනුව තෙල් ජාවාරමෙන් ම ජීවත්වන්නට උත්සාහ කරන ඇතැම් ත්‍රිවිල් රියැදුරන්ගේ මට්ටමට ඇතැම් පොලිස් නිලධාරීන් ද පත්ව ඇත. වැටුපට අමතර බොහෝ ආදායම් මත ජීවත්වීමට හුරු ව ඇති පොලිසියට එකවර ඒ හැර වෙනත් ක්‍රමයකට ජීවත්වීමට හුරුවීම අමාරුය. පෙට්‍රල් ෂෙඩ්වලට වහ වැටී ඇත්තේ ඒ නිසාය.

මුදල් ඇමති ධූරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ද අස් වූ බැසිල් ඉන්පසුව කළේ සියලු පොහොට්ටු මන්ත්‍රීවරුන්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ වෙනත් පක්ෂ යාන්ත්‍රණයේ අය හමුවී සාකච්ඡා පැවැත්වීමයි. මේ සාකච්ඡා පැවැත්වූයේ මේ අසීරු අවස්ථාවේ හැකි තරම් එළවළු බෝග වගාකිරීම කළ යුතු බව ඉන්ධන භාවිතය අවම කළ යුතු බව ඒසී භාවිතා නොකළ යුතු බව ගෑස් හා විදුලිය ඉතිරිකිරීමට පොල්කටු ආදී ලිප් ආදිය භාවිතා කළ යුතු බව කියමින් ඔවුන් දැනුවත් කිරීමට නොවේ. ඊළග ඡන්දය ජයගන්නා අයුරු සාකච්ඡා කිරීමටය. ඒ අනුව බැසිල් හා පොහොට්ටුවට මේ මොහොතේ පවතින අර්බුදයට වඩා කැක්කුම ඇත්තේ ඉදිරියේ එන මැතිවරණ ගැන බව පැහැදිලිය. එහෙත් මෙහෙම ගියොත් ඊළග ඡන්දය එන විට ඡන්දය දෙන්නට හෝ ඡන්දදායකයන් මේ රටේ ජීවත්වේද යන ප්‍රශ්නය ගැන ඔවුන්ට අවබෝධයක් නැති බව පෙනෙයි. සමහර විට ඔවුන් ඒ ගැන සතුටු වනු ද විය හැකිය. ඡන්දදායකයන් රටේ අඩුවන තරමට තමාට ජයගැනීමට පහසු වෙතැයි යන්න ද බැසිල්ගේ තක්සේරුව විය හැකිය.

මේ අතර බුකියේ සාකච්ඡාව හමුදාවේ අමානුෂික මෙහෙයුම් වෙත යොමු ව ඇත. උතුරේ ජනතාවට ද සලකන්නට ඇත්තේ මෙලෙස යැයි කියන්නෝ වෙති. ප්‍රභාකරන් විසින් දියත් කළ බස් රථ වල බෝම්බ පිපිරවීම්, කෝච්චිවල බෝම්බ පිපිරවීම්, මායිම් ගම්මානවල දරුවන් පවා කපා කොටා මරාදැමීම, අමිර්තලිංගම් ආදී තම දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම ආදී මානුෂික මෙහෙයුම් ගැන ඔවුන්ට සහමුලින් ම අමතක වී ඇත. හමුදාවේ මානුෂික මෙහෙයුම් ගැන පමණක් මතක් වී ඇත.

සැබවින් ම දේශපාලන නායකයන් පවතින තත්වය එතරම් බැරෑරුම් ව නොගනිති. නිරාහාරව මිය යන්නට සිදුවේ යැයි බියක් ඔවුන්ට නැත. ප්‍රශ්නයක් වුවහොත් තමන්ට රට පැනගැනීමට හැකි බව හෝ නැතිනම් මේ රට තුළ තමන්ට තම පවුලට අවශ්‍ය කෑම බීම සපයාගැනීම හෝ ප්‍රශ්නයක් නොවන බව හෝ ඔවුහු දනිති. ඒ කටයුතු පාක්ෂිකයන් විසින් බලාගනු ඇත. නොඑසේනම් හිතවත් ව්‍යාපාරිකයන් විසින් බලාගනු ඇත. සහල් හිගයක් ඇති වුවහොත් පක්ෂ විපක්ෂ ඔ්නෑම දේශපාලන නායකයෙකුට ඩඩ්ලිගෙන් සහල් ටිකක් ඉල්ලාගැනීම ප්‍රශ්නයක් නොවේ. තානාපතිකාර්යාලවලින් වුව ද ලබාගත හැකිය. ඒ නිසා ඔවුන් සුරක්ෂිතය. ඔවුන්ට තාමත් ඇත්තේ ඔවුන්ට කවදත් ඇති ප්‍රශ්නය පමණි. එනම් බලය රැකගැනීම හෝ නැතිනම් බලය ගැනීමයි. හෙට කන්නට ලැබේදැයි ඉන ප්‍රශ්නය ගැන කල්පනා වන්නේ කිසිදු බලයක් පිළිසරණක් නැති ඒ ගැන විශ්වාසයක් නැති අප වැනි ජනතාවට පමණි. අටු කොස් වේලන්නට හිතන්නේ ඒ නිසා ය. කොස් කා සහල් ඉතුරු කරන්නට සිතන්නේ ඒ නිසාය. බැසිල්ට ඒ පිළිබද කිසිම ප්‍රශ්නයක් නැත. ඒ නිසා පාක්ෂිකයන් කැදවා අටු කොස් වේලන ලෙස උපදෙස් දුන්නේ නැත. කිසිදු දේශපාලන නායකයෙක් එසේ කරන්නේ නැත.

බැසිල්ගේ උත්සාහය ද බලය ගැනීම නම් ජේවීපී එකේ උත්සාහය ද එය ම වීමේ වරදක් නැත. බැසිල්ගේ උත්සාහය ඡන්දයක් දක්වා කෙසේ හෝ රට ඇදගෙන යාමයි. සජිත්ගේ උත්සාහය ද ඒ සදහා සහාය ලබාදීමයි. එහෙත් ඊට ප්‍රතිපක්ෂ ව ජේවීපී එකේ උත්සාහය ඡන්දයකට පෙර බලය ගැනීමයි. බැසිල්ගේ සජිත්ගේ මැතිවරණ නමැති ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය වෙනුවට ජේවීපී හා පෙරටුගාමීන් අගය කරන්නේ කොමියුන නමැති ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයයි. යොදාගන්නා ක්‍රමවේද වෙනස් වූවාට ඔවුන් සියලු දෙනාගේ අරමුණ බලයයි. අටු කොස් ගැන හිතන්නේ සාමාන්‍ය ජනතාව පමණි.

මගේ වැටහීම ගැන ද කිව යුතුය. මහින්ද හොරා කෑ බව ඇත්තය. ගෝටාගේ හිතුවක්කාරකම් අර්බුදය උත්සන්න වීමට බලපෑ බව ඇත්තය. එහෙත් අද තෙල් පෝලිම් ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. උද්ධමනය ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වාර්තා කරන්නේ රුසියානු යුක්‍රෙන යුද්ධය හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන හිගයකට, ආහාර හිගයකට, දරුණු උද්ධමනයකට මුහුණ පා සිටින බව ය. කොවිඩ් තත්වයෙන් ලෝකය ගොඩඒ්මට පෙර මේ යුද්ධය හටගැනීම නිසා ලෝක ආර්ථිකය යථා තත්වයට පත්වීම වැළකුණු බව ඔවුහු කියති. එයට අමතරව ලංකාව ගැන කියන්නට ඇත්තේ කොවිඩ් එන්නට පෙර ම පාස්කු ප්‍රහාරය හේතුවෙන් රට වැටී තිබුණු බව ය. ගෝටාට බලය දීමට එය ද හේතුවක් වූ බවය.

මෙවිට කියන්නේ පාස්කු ප්‍රහාරය ද ගෝටලාගේ ම සැලසුමක් බව ය. එහෙත් සාම්පූර් බලාගාරය හදන්නට නොදීම, නැගෙනහිර ජැටිය නොදීම ආදී වශයෙන් ඉන්දීය විරෝධී මෛත්‍රීගේ ප්‍රතිපත්ති ඉන්දියාවේ නොසතුටට හේතුවූ බව ද මෛත්‍රී අප්‍රසාදයට පත්කිරීම සදහා පාස්කු ප්‍රහාරය පිටුපස රෝ සංවිධානය ද සිටියේ යැයි ද මතයක් ඇත. ෂැංග්‍රිලා බෝම්බය පිපිරුවත් ටාජ් සමුද්‍ර බෝම්බය අවසන් මොහොතේ ඉවත්කරගැණිනි. බැසිල් හා ඉන්දීය හිතවත්කම නිසා මෛත්‍රී ඉන්දියාව නොඉවසන්නට ද ඇත. පාස්කු ප්‍රහාරයේ එක් කාන්තාවක් නිරුපද්‍රිතව තලෙයි මන්නාරමෙන් පැන ගිය බවට ද කතාවක් ඇත. මට පරණ තුවාල අවුස්සන්නට අවශ්‍යතාවක් නැත. මේවා ලිව්වේ ඉන්දීය විරෝධයක් අවුලවන්නට නොවේ. පැහැදිලි කිරීම උදෙසා පමණි. ඉන්දියාව ලබාදුන් මිලියන 500 හදිසි ආධාර හා තෙල් නැව් නොවන්නට මේ පෝස්ට් එක දමන්නට රටක් හෝ මා හෝ ඉතිරි නොවන්නට ද ඉඩ තිබිණි. අපේ සමගිය එතරම්ය. ඒ නිසා ආධාර ලබාදෙන්නට හැකි ශක්තිමත් රටක් ළග තිබීම, යාබද පුංචි රට වැනසෙන්නට ඉඩ දී බලා නොසිටින සමගි සම්පන්න බලවත් රටක් ළග තිබීම ගැන අප සතුටු විය යුතුය. කෘතවේදී විය යුතුය. අනෙක් අතට අප වැටුණේත් පාස්කු ප්‍රහාරය නිසා ය.

මගේ අවංක වැටහීම නම් මාස දෙක තුනක් අනවශ්‍ය කලබල හා ප්‍රශ්න ඇති කරනොගතහොත් රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වීමට මග පාදා ගත හැකි බව ය. කෝවිඩි කාලයේ විදේශ රැකියා සදහා යාමට නොහැකිවූ අතර දැන් නැවත විදේශ රැකියා සදහා යාම ඇරඹී ඇත. ඒ අනුව විදේශ රැකියා වෙතින් ලැබෙන විදේශ විනිමය ඉපැයීම් වැඩිවෙමින් ඇත. එසේම සංචාරක කර්මාන්තය ද ක්‍රමයෙන් පණ ගසන්නේ නම් (මාර්තු මාසය වන විට එසේ වී තිබිණි) එම විදේශ විනිමය ඉපැයීම් ද වැඩිවෙයි. ජනතාව පොදු ප්‍රවාහන ක්‍රම භාවිතා කරන්නේ නම් හා රජය ඒ සදහා පහසුකම් සලසන්නේ නම් රට යථා තත්වයට පත්වීම තවත් ඉක්මනු වෙනු ඇත.. තවත් ගල්අගුරු බලාගාරයක් ද රටට අවශ්‍ය වේ. මේ අර්බුදය ඉවසීමෙන් සමනය කරගැනීම ද ඉන්පසුව අර්බුදයට හේතුවූ ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසදුම් සෙවීම ද වැදගත්ය. හොරුන් පාර්ලිමේන්තු නොඑවීම ද එයට එක් විසදුමකි. ඇත්තම කතාව අවුරුදුවිස්සක තිහක සිට දේශපාලනය හම්බ කරගැනීමේ මාර්ගයක්පමණක් බවට පත්ව තිබෙන බවය.

එනම් රටේ ප්‍රශ්න විසදීම තමාගේ වගකීම බව දේශපාලනඥයන්ට මේ වන විට අමතකව ගිය දෙයකි. එහෙත් රටේ සිටින්නේ හොරු පමණක් ම නම් හොරු පාර්ලිමේන්තුවට නොඑවා එවන්නේ කවුරුන් ද යන්න ද ප්‍රශ්නයකි.

කෙසේ හෝඇතැම් ත්‍රීවිලර් රියැදුරන්ගේ සිට ඩීසල් ගබඩාකාරයන් හා දේශපාලන නායකයන් දක්වා බොහෝ දෙනා තුළ රටක් හැටියට එකමුතුව මේ මහා අර්බුදයෙන් ගොඩයන්නේ කෙසේද කියා හැගීමක් නැති බව පැහැදිලිය. කල දුටු කල වල පමණක් ම දැක්ම වී ඇත. ඒ වෙනුවෙන් මහා දර්ශනවාද ඉදිරිපත් කිරීමට තරම් මේ රටේ ජනතාව බුද්ධිමත් ය.

නවතම ලිපි