SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට බාහිර බලපෑමක් අවශ්‍යයි.

2020දී ශ්‍රී ලංකාව සහල් ආනයනය සඳහා ඩොලර් මිලියන 10.5ක් වැය කළ අතර 2019දී, ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 12.8ක් වැය කළාය.

එහෙත්, නියඟයක් නොමැති අවුරුද්දක්වූ 2021දී, සහල් ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 73ක් වැය වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එය ඉන් පෙර වසරවල කරන ලද වියදම මෙන් ආසන්න වශයෙන් හත්ගුණයකි.

එම වසරේදීම, භාවිතයට ගත නොහැකි බාල තත්වයේ ‘කාබනික’ පොහොර ආනයනය සඳහා රජය ඩොලර් මිලියන 6.7ක් වැය කළේය.

විශේෂඥ ඥානය සහිත විද්‍යාඥයන්ගේ උපදෙස් නොතකා 2022 අප්‍රේල් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රසායනික පොහොර හා කෘෂි රසායන තහනම් කිරීමට ගත් තීරණයෙන් සිදුවූ හානිය මෙම උදාහරණයෙන් නිරූපණය වේ. එහෙත්, සමස්ත හානිය ඊට වඩා අධිකය. එහි තරම අපට තේරෙන්නේ අගෝස්තු මාසයේ අහේනිය අප වෙලා ගත පසුවය

ණය ප්‍රතිව්‍යූහගත කිරීම!


2020 වසරේ සිටම, ණය ප්‍රතිව්‍යූහගත කරන ලෙස ජනාධිපති රාජපක්ෂට අඛණ්ඩවම උපදෙස් ලැබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ආපසු ගෙවීමට බැරි තත්ත්වයක් ඇති බව නිර්ණය කරන්නට පෙර, ඔහු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ආරම්භ කළා නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්ෂණික මූල්‍යකරණ වැඩසටහන (Rapid Financing Instrument) යටතේ අරමුදල් ලබාගැනීමේ හැකියාව තිබිණි.

එමගින් ආර්ථිකය ක්‍රියාත්මකව තබාගැනීමට හැකියාව තිබුණු අතර ජනතාවගේ මූලික අවශ්‍යතා සපිරිය හැකිව තිබිණි. එහෙත්, දැන් ඒ දොරටුව වැසී තිබේ.

ආර්ථිකය වේගයෙන් බිඳවැටෙමින් තිබෙන අතර ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති. ඉක්මනින් අන්තර්කාලීන මූල්‍ය පහසුකම් (bridge financing) ලබාගැනීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් මෙම පීඩාව තවත් ඉහළ යනු ඇත.

ඉහත දක්වා ඇත්තේ ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙන වැරදි දෙකක ප්‍රතිඵල පමණි. තවත් බොහෝ වැරදි ඔහු විසින් කර තිබේ.

''එක්සත් ජනපදයේ ද මෙවැනිම නිෂ්ඵල, අකාර්යක්ෂම ජනාධිපතිවරයකු සිටියේය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.''

එක්සත් ජනපදයේ ද මෙවැනිම නිෂ්ඵල, අකාර්යක්ෂම ජනාධිපතිවරයකු සිටියේය. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහුගේ අවුරුදු හතරක ධූර කාලය තුළදී ඔහු දෙවරක්ම දෝෂාභියෝගයට ලක්වූ මුත්, සෙනෙට් සභාවේ රිපබ්ලිකන් බහුතරය විසින් ඔහු ආරක්ෂා කරන ලදී.

ජනාධිපති රාජපක්ෂට එරෙහිව ඊටත් වඩා දැඩි චෝදනා තිබුණත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහු දෝෂාභියෝගයට ලක්කිරීම ප්‍රායෝගික නැත. එම නිසා, එකම විකල්පය වී තිබෙන්නේ ඔහුට ඉල්ලා අස්වීමට බලකිරීම සඳහා වීදියේ විරෝධතා දැක්වීමයි.

අද පවා, මෙම අකාර්යක්ෂම, මුග්ධ හා අහංකාර මිනිසා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සම්බන්ධ වැදගත් තීරණ ගනිමින් සිටියි. ඔහු නිසා ස්ථාවර, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම දුෂ්කර වී තිබේ.

ආර්ථිකය බිඳවැටීමෙන් ගලවාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කරගන්නා තෙක් ආර්ථිකය ගලවාගැනීම සඳහා අන්තර්කාලීන මූල්‍යාධාර ලබාගැනීම සඳහා එවැනි ආණ්ඩුවක් අත්‍යවශ්‍යය. 

එකම විකල්පය වන්නේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස පීඩනය පවත්වාගෙන යන අතර, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ඔහුගේ තටු කපාදැමීමයි.

2020දී ඔහු සහ ඔහුගේ සහෝදරයින්ගේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ලද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධුරයේ බලය ඉතා ඉහල මට්ටමකට වැඩි කරන ලදි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළහොත්, ස්ථාවර, බහු පාර්ශ්වීය ආණ්ඩුවක් පිහිටුවීමේ සම්භව්‍යතාවය ඉහල යනු ඇත. එවැනි ආණ්ඩුවක් පිහිටුවීම හේතුවෙන් අන්තර්කාලීන මූල්‍යාධාර ලබාගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත සක්‍රිය කළ හැකි වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථිකය එකිනෙකින් ස්වායත්ත නොවේ.  ව්‍යවස්ථා සංශෝධනය ආර්ථිකය යථා තත්වයට පත්කිරීමට අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි.  


20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි හානිදායක ලක්ෂණ මොනවාද?


20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීමේ උත්සාහයක අප යෙදී සිටියදී, මම 2020 සැප්තැම්බර් මාසයේදී මෙසේ සටහන් කළෙමි:

“20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ප්‍රධාන පෙළඹුම වන්නේ, තනි පුද්ගලයකු වන ජනාධිපතිවරයා වෙත බලය ගොනුකරගැනීම හා අමාරු ප්‍රශ්න මතුකරන්නට හෝ වෙනත් පර්යායන් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙන වෙනත් බලවේග දුර්වල කිරීමයි..... මෙහිදී අදාළ වන ජනාධිපතිවරයා වර්තමානයේදී වැඩිදෙනෙකුගේ සමච්චලයට ලක්වී තිබෙන මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි අයෙකු නම්, එසේ බලය ගොනුකරදීම බුද්ධිමත් තීරණයක් නොවන බවට වැඩිදෙනෙක් එකඟවනු ඇත. එහෙත්, බොහෝදෙනෙකු පවසන්නේ වර්තමාන ජනාධිපතිවරයා විශේෂඥභාවයේ වටිනාකම අගය කරන සහ වියත් මග වැනි සංවිධානවල වෘත්තිකයන්ගේ සහාය ලබන තාක්ෂණ තාන්ත්‍රිකයකු බවයි. ඔවුන් පවසන පරිදි වත්මන් ජනාධිපතිවරයා පත්වී තිබෙන්නේ තීරණාත්මක පියවර ගැනීමට වන අතර, එයට පාර්ලිමේන්තු අධීක්ෂණය හා අධිකරණ අභියෝග මගින් බාධා සිදු නොවිය යුතුය.”


ඒ අනුව, ජනාධිපතිවරයා වැරදි ලෙස දත්ත භාවිතා කර තිබු ආකාරය සහ නියාමන කටයුතු වලදී අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව තීන්දු ගන්නා ආකාරය පිළිබඳ උදාහරණ ඇසුරෙන් බලය සංකේන්ද්‍රණය කිරීමෙහි වැරදි ප්‍රතිඵල විස්තර කරදැක්වීමට මට සිදුවිය.

අද වන විට සාක්ෂි ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැත. ජනාධිපතිවරයා විසින් සාක්ෂි හා විශේෂඥභාවය නොතකා හැරීම සම්බන්ධයෙන් වර්තමානයේදී සමස්ත ශ්‍රී ලංකාවම වන්දි ගෙවමින් සිටියි. සෑම පුරවැසියකුටම ඔහුගේ ක්‍රියාවන්ගේ අනිටු ප්‍රතිවිපාකවලට අත්විඳීමට සිදුවී තිබේ. 

මැතිවරණ කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි වැදගත් ආයතනවලට එහෙයියන් පත්කිරීමට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට බලය ලැබිණි. මැතිවරණ කොමිෂන් සභාවට පත්කරන ලද චක්ගෝලයන් විසින් එහි සිටි කාර්යශූර නිලධාරීන් තට්ටු පිටින් ඉවත් කරන ලදී.


අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස පවුලේ ගැත්තියක් !


ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස පත්කළේ ඔහුගේ පවුලට ගැතියයි හෙළිදරව් වී සිටි කාන්තාවකි. එම පත්වීමෙන් පසු රාජපක්ෂ පවුලට හා හිතවතුන්ට එරෙහිව තිබුණු නඩු රැසක් ඉවත්කරගැනීම පිළිබඳ පුදුම වන්නට දෙයක් නැත.

ගෝටාගෝගමට එරෙහිව එල්ලකරන ලද ප්‍රහාරයෙන් පසු රටේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පොලිසියේ අක්‍රියභාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් පොලිසියට පැමිණිලි කළ විට පොලිස්පතිවරයා පැවසුවේ රටේ පොලිස් ස්ථාන 184න් 182කටම ප්‍රධානීන් ලෙස පත්කර තිබෙන්නේ කුසලතා මත තේරුණු පුද්ගලයන් නොව, රජයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලාසිටින ලද පුද්ගලයන් බවයි.

ඔවුන්ට තමන් පත්කළ බලධාරීන්ගේ දේපළවත් ආරක්ෂා කිරීමට නොහැකි විය.

 මෙය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එතෙක් පැවති ජාතික පොලිස් කොමිෂන් සභාව අහෝසි කරදැමීමේ ඍජු ප්‍රතිඵලයකි. 

ජාතික පොලිස් කොමිෂන් සභාව අහෝසි කරදැමීමේ ඍජු ප්‍රතිඵලයක් ...

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේ එය පළමු වරට රැස්වී අවුරුදු හතරහමාරකට පසුව පමණි. එම කාලපරිච්ඡේදය තුළදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නම්, පාර්ලිමේන්තුව විසින්ම තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් යෝජනාවක් සම්මත කළ යුතුව තිබිණි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් අවුරුදු දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකිය. එය වෙනස් නොකළහොත්, 2023 පෙබරවාරි මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැර අලුත් මැතිවරණයක් කැඳවිය හැකිය.

ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 225දෙනෙකුගේ ජනවරම එක් තනි පුද්ගලයකුට අභිභවා යාමට හැකිවීම හා පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා විනයගත කිරීම සඳහා ප්‍රායෝගික යාන්ත්‍රණයක් නැතිවීම මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබාදෙන බලයෙහි අසමතුලිත තත්වය මැනැවින් ප්‍රදර්ශනය වේ.


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කිරීමේ ප්‍රායෝගික මාර්ගය


20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුය. ගෝටා ගෙදර යැවීමට හා වගවීමකින් තොර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉවහල් වන අණපනත් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුය.

එහෙත්, එකී ඕනෑම සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150ක් විසින් අනුමත කළ යුතුය. තවමත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 90ක් පමණ තම නායකයා ලෙස සලකන්නේ බැසිල් රාජපක්ෂයි. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ හෝ සියලුදෙනාගේ ඡන්ද මේ වෙනුවෙන් අවශ්‍ය වනු ඇත.

 

යථාර්ථවාදී ලෙස සැලකූ කල, ප්‍රායෝගිකව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ අදියර කීපයක් යටතේය.
කලින් පැවති තත්වය ස්ථාපිත කරන අවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පළමුව සිදුකළ යුතුය. මෙය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිර්දේශයයි. එයට රටේ ආගම් හතරෙහිම නායකයන්ගේ ආශිර්වාදයෙන් මෑතදී පිහිටුවන ලද මහජන සභාව සහ ලංකා වානිජ මණ්ඩලය වැනි සංවිධානවල ද, අරගලයේ නියුතු පාර්ශ්වවල ද සහාය ලැබී තිබේ.  

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ වෙනත් වගකිවයුතු පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශයන් විශ්වාස කරන්නේ නම් 19වන සංශෝධනය නැවත ස්ථාපිත කිරීම සඳහා ඡන්ද 151ක් තිබේ.

එහෙත්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හා වෙනත් සංවිධානවල විශ්ලේෂණය අනුව, දැනට යෝජිත සංශෝධන මගින් සිදුකරන්නට උත්සාහ කරන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිරිනමන ලද බලතලවලට වඩා වැඩි බලතල සහිත විධායක ජනාධිපතිවරයකුට ඉඩකඩ ලබාදීමයි. මෙම තනුක කරන ලද සංශෝධනය පවා ප්‍රමාද වීමට ද, අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව වන ඡන්ද 151 ලබානොගැනීමට ද ඉඩ තිබේ.

උදාහරණයක් ලෙස, වර්තමාන කෙටුම්පත අනුව ජනාධිපතිවරයාට තමා කැමති ඕනෑම අමාත්‍යාංශයක වගකීම දැරිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයාගේ අසාර්ථකත්වයෙහි ප්‍රමාණය සලකා බැලූ කල මෙය ප්‍රහේලිකාවකි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ වන විට සිටි ජනාධිපතිවරයාට නිශ්චිත අමාත්‍යාංශ භාරදෙනු ලැබුවේ ඔහුට පමණක් අදාළ වන සංක්‍රාන්තික විධිවිධානයක් ලෙසයි.

අවුරුදු දෙකහමාරකට පසු ජනාධිපතිවරයාට තම තනි අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය එසේම තැබීමට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් යෝජනා කර තිබේ.

මෙතැන් සිට මාස නවයක් ඇතුළත විසුරුවාහැරීමට ලක්වීමේ තර්ජනය යටතේ ජීවත් වීමට වත්මන් පාර්ලිමේන්තුව එකඟ වන්නේ ඇයි? මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම්, ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් සම්මත කරගෙන මහ මැතිවරණයකට යා හැකිය. තනි, අකාර්යක්ෂම පුද්ගලයකුට එම බලය පවරන්නේ කුමටද?  

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමේ සුදානම !


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ප්‍රකාශය අනුව හැඟීයන්නේ සැලකිල්ලට භාජනය වී තිබෙන අවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පවා කඩාකප්පල් කිරීමට උපයෝගී කරගත හැකි මන්ත්‍රීවරුන්ගේ කල්ලියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව සිටින බවයි. රටේ අභිලාෂයන් යටපත් කර, තම එක්සත් ජනපද පුරවැසිභාවය ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන එක් පුද්ගලයකු වෙනුවෙන් ඔවුන් වෙහෙසෙන්නේ ඇයි?

 2015දී, පාර්ලිමේන්තුව විසින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද අවස්ථාවේ එයට එරෙහිව ප්‍රකාශ වුණේ එක් ඡන්දයක් පමණි. ඒ සඳහා සහයෝගය දිනාගැනීමේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දක්වන ලද දක්ෂතාව අගය කල යුතුය.

එහෙත්, පාර්ලිමේන්තුව කරා පාගමනින් යාමට ගරුතර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුක්ත මහජනයා තුළ තිබූ සූදානම ඊටත් වඩා බලගතු විය.

ඒ අනුව පෙනීයන කාරණය වන්නේ මෙම දුෂ්ට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ පළමු පියවරවත් බාහිර බලපෑමකින් තොරව සාර්ථක නොවනු ඇති බවයි.

නවතම ලිපි