උදැහන සටහන-2022- 05- 23
මීට සති කිහිපයකට පෙර මම මගේ මුහුණ පොතෙහි ලෙනින්ගේ සුපතල උදුරණයක් උපුටා දැක්වීමි. විප්ලවවාදී තත්ත්වයක චරිතාංග ගැන කියන එම උදුරණය පදානුගතව නොවූව ද මෙසේ සිංහලයට නැගිය හැක.
"විප්ලවීය තත්ත්වයකින් තොරව විප්ලවයක් ඇතිවිය නො හැක" යන්න මාක්ස්වාදීන් අවිවාදයෙන් පිළිගන්නකි. එමෙන්ම, හැම විප්ලවීය තත්ත්වයක්ම විප්ලවයකින්ම කෙලවර නොවන බවද ඔව්හු දනිති.
පොදුවේ ගත්විට විප්ලවීය තත්ත්වයක ලක්ෂණ කවරේ ද? පහත සදහන් කෙරෙන ලක්ෂණ තුන මෙහි ලා දැක්වීම වැරදි නොවේ.
- විප්ලවීය තත්ත්වයක දී පාලක පංතීන්ට කිසිදු වෙනසකින් තොරව තම පාලනය තවදුරටත් පවත්වාගෙන යා නො හැකි වේ. සමාජයේ ඉහළ පංතීන් අතර, කිසියම් ආකාරයක හෝ අර්බුදයක් ඇති වූ විට, සහ පාලක පංතීන්ගේ ප්‍රතිපත්ති විෂයයෙහි අර්බුදයක් ඇති වූ විට, එම අර්බුදය පීඩිත පංතීන්හි නොසෑහීම සහ ක්‍රෝධය පුපුරුවා හරින පැල්මකට හේතු වේ. සමාජයේ පහළ මාලයට පැරණි පන්නයට ජීවත්වීමට නොහැකි වු පමණින් විප්ලවයක් ඇති නොවේ. ඒ සදහා සමාජයේ ඉහළ මාලයේ පංතිවලට ද කලින් විධියට ජීවත් වීමට නොහැකි ව්ම ද අවශ්‍ය වන්නේ ය.
- පීඩිත පංතීන්හි වේදනාවන් සහ පීඩනයන් සාමාන්‍ය කාලවලදී ට වඩා උග්‍රවිය යුතු වේ.
- උක්ත හේතූන් නිසා, මහජන ක්‍රියාකාරිත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් ඇති වේ. ඔව්හු සාමකාමී කාලවලදී මැසිවිල්ලකින් තොරව තමන්ව හොරා කෑමට ඉඩ හැරියද, කැළඹිලි කාලයන්හිදී, ස්වාධීන ඓතිහාසික ක්‍රියාකාරකම් වලට ප්‍රවිෂ්ඨ වන්නෝ ය. ඒ අර්බුදයේ බරපතලකම මගින් හා ඉහළ මාලයේ පංතීන්හි හැසිරීම මගින් ඔවුන් ඊට මෙහෙයවන බැවිනි." (V I Lenin, Colllected Works, Vo. 21, pp. 213-14).
ලෙනින් ගේ උක්ත උදුරණයේ විග්‍රහය පිළිගතහොත් පහුගිය සති හයක පමණ කාලය තුළ ශ්‍රීලංකාව ගමන් කරමින් සිටින්නේ විප්ලවවාදී තත්ත්වයක් හරහා ය. සර්ව පාක්ෂික පාලනයක්, අන්තර්කාලීන ආංඩුවක්, පාර්ලිමේන්තුවෙන් පිට උපදේශක සභාවක මග පෙන්වීමක්, යන යෝජනා මෙන්ම හදිසි නීති, ඇදිරි නීති පැනවීමක් මෙන්ම ආරක්ෂක සේවාවන්හි ලොකු පුටු අතර ගැටුමක් පෙන්වන්නේ සමාජයේ ඉහළ පන්තීන්ට පරණ විධියට පාලනය කළ නොහැකි බව ය. එ පමණෙක් නොව සමාජ ඉහළ මාලයට ද, පෙර පන්නයට තම ජීවිත ගෙනයාම අද විශාල ප්‍රශ්නයක් ය. සල්ලි නැත්තෝ පමණක් නොව සල්ලි ඇත්තෝ ද පෝලිම්වල සිටිති.
ලෙනින්ගේ විප්ලවීය තත්ත්වයක දෙවෙනි සහ තෙවෙනි ලක්ෂණ, එනම් පීඩිත ජනතාවගේ පීඩනය සහ වේදනාව අන් කවර කලකටවත් වඩා ඉහිලිය නොහැකි මට්ටමට වර්ධනය වී ඇත. ඒ නිසාම ඔවුනගේ බලාපොරොත්තු කඩවීම් නිසා වූ වෛරය ඉහවහා ගොසින් ය. එය පිට කරන්නේ දේපොළ විනාශ කිරීමෙනි. එහි ආදිනව ඔව්හු නොසිතති. "කපා කපා කෑලිකපා, අප නවතනු සිතනු එපා" යැ යි ගයමින් ශිෂ්‍යයෝ පෙළපාලි යති. පොලිස් බාධක පෙරළා දමති. පොලිස් සහ පාලකයින්ගේ මැරකල්ලි පහර දීම්වලට එරෙහිව කාර්‍යාල සේවකයෝ වැඩ නවතා පාරට බසිති.
විප්ලවීය තත්ත්වයක් ඉබේ විප්ලවයක් ඇති නොකරයි. ඊට සමාජයේ පහළ මාලයේ පංතීන් සටනට ඒම ප්‍රමාණවත් නොවේ. ඔවුන් තම බලය ව්‍යුහගත කරගත යුතු වේ. විකල්ප බලරාමු ගොඩනගා ගැන්ම අවශ්‍ය ය. විප්ලවයකදී සමාජ මාල අතර බලමාරුවක් විය යුතු ය. මේවා අප සිදුකිරීමට වෑයම් කරන්නේ ද? මේ නිමේෂය දිගු එකකි. හේ බෑම් ඇතිවිය හැක. කෙසේවුවද පාලක පංතීන් ගෙනෙන්නට කැසකවන ඊනියා විසදුම් අර්බුදය තව තවත් උග්‍ර කරනු ඇත.