“උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටින්නේ කුමක්ද?” යනුවෙන් ස්පාර්ටකස් කණ්ඩායම විසින් විසින් ලියන ලද ලිපියට මහාචාර්ය රොහාන් සමරජීව විසින් පිලිතුරක් ලබාදී ඇත.
(https://ladyleader.lk/social/7003-2022-04-10-06-02-08)
වර්තමාන ආර්ථික අර්බූධයේ ආරම්භය සහ එයට හේතුවූ කාරණා අරභයා ස්පාර්ටකස්වරුන් එම ලිපිය ලියා තිබුනි. රොහාන් සමරජීවගේ ඒ සඳහා පිලිතුර පහත වේ.
පරිභෝජනවාදය ප්‍රවර්ධනය කිරීමේ සහ එමගින් ණය අර්බුදය තීව්‍ර කිරීමේ හෝ ඇතිකිරීමේ චෝදනා පත්‍රයකට මගේ නමත් ඇතුල් කිරීම නිසා උත්තර බඳින්නට සිත් විය. ටිකක් පිළිවෙලට කරුණු ඉදිරිපත් කරන්නේ නිර්නාමික කර්තෘවරුන් සාමාන්‍ය ලාංකීය භාවිතයෙන් ඉවත්වී සාක්ෂි ගොනු කිරීමට වුනු මහන්සියට ගරු කල යුතු නිසාය. එමෙන්ම චෝදනා පත්‍රයේ කේන්ද්‍රීය කරුණ නොහොත් මූලිකාංගය වන අනුන්ගේ ආශාවන් පාලනය කරන්නට යොමු වීම අප සමාජයේ මම දකින අප්‍රසන්න ලක්ෂණයක් වන නිසායි. සැලකිය යුතු සෘනාත්මක බහිරතා (negative externalities) නොමැති අනුන්ගේ පරිභෝජන රටා රාජ්‍ය බලය යොදා ගෙන පාලනය කරන්නට යෑම කොතනත් මට ඉවසිය නොහැකි භාවිතයකි. රට රදල අතීතයකට ඇද ගෙන යෑමට වෙර දරන්නන් මෙන්ම තමන් ප්‍රගතිශීලී යයි සිතාගන්නා උදවියටත් මෙම අධිකාරිවාදී ප්‍රවණතාවය පොදු නිසා එය විවෘතව සාකච්ඡා කිරීම වැදගත් යයි සලකමි.
අල්පේච්ඡ ජීවිතය අගය කල අය බොහෝය. ගාන්ධිතුමා ප්‍රසිද්ධතම උදාහරණයකි. නමුත්, ඔහුගේ සමීප මිතුරියකුවූ සරෝජිනී නයිදු කිව්වේ ඔහුගේ ශ්‍රමණ පැවැත්ම සඳහා අන් අයට විශාල වියදමක් දරන්නට සිදුවූ බවයි. ඒ කෙසේ වෙතත්, පරිසරය සහ තිරසාරබව ගැන සලකා බලන විට අඩු පරිභෝජනයක් සහිතව ජීවත් වීමේ වටිනාකම වර්තමානයේ වඩාත් ඉහල අගයක් ගනී. උදාහරණයක් ලෙස සමහරු මහා පොලවට බරක් නොවන ලෙස තමන්ගේ මිලදී ගැනීම් සකසා ගැනීමට වෙහෙසෙති.
අයෙක් සරල අල්පේච්ඡ දිවිපෙවතක් තෝරා ගැනීම එකකි. අන් අයට එවන් දිවියක් බලෙන් පැටවීම තවකකි. පරිභෝජනවාදය පරිභව කරන අය කරන්නේ දෙවැන්නයි.
ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව පරිභෝජනය පරිභව නොකරයි. De gustibus non est disputandum යන පාඨයෙන් එම සාකච්ඡා බැහැර කරනු ලබයි. මෙයින් අදහස් කරන්නේ මිනිසුන්ගේ ආශාවන්ගේ ගුණ අගුණ ගැන විවාද කිරීම අර්ථවත් කටයුත්තක් නොවන බවයි. ඩාස් කැපිටාල් ග්‍රන්ථයේ පළමුවන පිටුවේම මාක්ස් එයට අනුරූප දෙයක් කියයි: “The commodity is, first of all, an external object, a thing which satisfies human needs of whatever kind. The nature of these needs, whether they arise, for example, from the stomach, or the imagination, makes no difference. Nor does it matter here how the thing satisfies man’s need . . .”
නමුත්, මෙම ලිපියේ නිර්නාමික කර්තෘවරුන්ට එවැනි පැකිලීමක් නැත. ජනතාව සත්‍ය ජනතාවක් නොවන අතර (ඔවුන් ඊනියා ලෙස හඳුන්වා දෙනු ලැබේ), ඔවුන්ගේ පරිභෝජනය සහ ආශාවන් පරිභවයට ලක් කරනු ලැබේ. මම සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ආශාවන් ප්‍රශ්න කරන්නේ නැත. යම් ආශාවන් හා ආශ්‍රිතව සැලකිය යුතු ඍනාත්මක බහිරතා පවතින්නේ නම් ඒවා ඉෂ්ට කර ගැනීම අධෛර්යමත් කිරීමට නම් සහය දෙන්නෙමි.
හර්ෂ ද සිල්වාට සහ රනිල් වික්‍රමසිංහට යහපාලන ආණ්ඩුවේ අඩු වැඩි තීරක භූමිකා තිබුණි. අන්තිම මාස විස්සේ හැර මම හිටියේ පිටය (ඒ මාස විස්සේද සිටියේ ආර්ථික ප්‍රතිපත්තිවලට සෘජු සම්බන්ධයක් නැති පදවියකය). එම නිසා එම ආණ්ඩුව විසින් කරන ලදැයි කියන පරිභෝජන ප්‍රවර්ධනයේ ගෞරවය හෝ වගකීම භාර ගැනීමට මට නොහැක.
ලිපියේ දත්ත අනුව පරිභෝජනය වේගවත් ලෙස වර්ධනය වුනේ රවී කරුණානායක මුදල් ඇමති ලෙස කටයුතු කල අවධියේය. මම කරුණානායක ප්‍රතිපත්ති තදින් විවේචනය කලෙමි. රජය සේවකයන්ට රුපියල් 10,000ක් දීම ආදිය ඉදිරියේ එන මැතිවරණය සඳහා දුන් නිරර්ථක අල්ලස් ලෙස හඳුන්වා දුන්නෙමි. මම එම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ගැන හොඳක් කිව්වේ මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය භාර ගත් පසුව පමණි. ලිපියේ දත්ත අනුව පරිභෝජනය අඩුවන්නට පටන් ගන්නේ එම දෙවන කාල පරාසය තුලය. ඒ මංගලගේ බදු වැඩිකිරීම් සහ වියදම් පාලනය කිරීම් නිසාය.
ඉහත කරුණු මගින් පෙනෙන්නේ නිර්නාමිකයන් සහ මා අතර එකඟතාවක් සොයා ගත හැකි බවයි. ඔවුන් මෙන් මම ජනයාගේ ආශාවන් සහ පරිභෝජනය හෙලා දකින්නේ නැත. නමුත් නැති සල්ලිවලින් පටු දේශපාලන අවශ්‍යතා සඳහා මිනිසුන්ට මුදල් බෙදීම ඔවුන් මෙන්ම මමද විවේචනය කරමි.
අකාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයේ මිරිකී, ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වන කාන්තාවක් ස්කූටරයක් පැතීම හෝ මිලදී ගැනීම සාධාරණය. පවුල ප්‍රසාරණය වූ පසු ඇය වැගන් ආර් රථයක් පැතීම දෝෂ දර්ශනයට ලක් කිරීම වැරදිය. නමුත් ආණ්ඩුව ඒසඳහා ඇයගේ ආදායම කෘතිම ලෙස වැඩි කලේ නම් එය විවේචනය කිරීම සාධාරණ විය හැක.
ආණ්ඩුකරණය යනු බලාපොරොත්තු පවත්වා ගෙන යාමට ඉවහල් වන වාතාවරණයක් සකසා දීම යයි මම විශ්වාස කරමි. ඉංග්රීසියෙන් එය වඩා ප්‍රසන්න ලෙස ඉදිරිපත් කල හැක: “Governance is the sustenance of hope.”
දිගු කලක් තිස්සේ ආදායම් වලට වැඩිව වියදම් කල ආණ්ඩු මගින් අප ආර්ථිකය දුර්වල තත්වයකට ඇද දමා තිබුණි. මංගල වැඩ බාරගන්න විට ප්‍රාථමික ශේෂය, එනම් වාර්ෂික ආදායම් වලින් ණය සහ පොලී හැර අනිකුත් රාජ්‍ය වියදම් අඩු කල විට ලැබෙන අගය, ධන අගයක් ගත්තේ 1950 ගණන් වල එක වසරක පමණි. එම රෝගී ආර්ථිකයට මංගල විද්‍යානුකූල බෙහෙත් දෙමින් සිටියදී (ඔහු ධන ප්‍රාථමික ශේෂයන් දෙවසරක ලබාගත්තේය), 2017 නියඟය, 2018 කුමන්ත්‍රණය සහ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය ආදී කම්පනයන් හේතුවෙන් ආර්ථික වර්ධන අඩාල විය. එය සහ ආරක්ෂාව පිළිබඳ බිය නිසා අලුත් ආණ්ඩුවක් පත් කෙරිණි. ඔවුන් කලේ විද්‍යානුකූල බෙහෙත් නවත්වා, ගොඩ වෙදෙකු ලව්වා ධම්මික පැණියට අනුරූප අවිද්‍යාත්මක බෙහෙත් පෙවීම තුලින් ලෙඩා මරණාසන්න තත්ත්වයකට ඇද දැමීමයි. ආපසු නිසි වෙදුන් ලඟට යෑම ප්‍රමාද කිරීම තුලින් ඔවුන් කලේ මුළු මහත් පරම්පරාවක බලාපොරොත්තු සුන්නත් ධුලි බවට පත් කිරීමයි. එම අපරාධයට වන්දි ලෙස රාජපක්ෂලා පලවා හැරීමට උත්සාහ කිරීම සාධාරණ යයි මම සිතමි.
එයට අපබ්‍රංස පරිභෝජන විරෝධය අදාළ නැත. රවී කරුණානායක ප්‍රතිපත්ති දැන් විවේචනය කිරීමද වැඩි තේරුමක් ඇති දෙයක් නොවේ. ඒවායේ වගකීම මට පැටවීම නම් කිසිසේත්ම අර්ථවත් ක්‍රියාවක් නොවේ.
ණය අර්බුදයට මුල 2007 සිට ගත වාණිජ ණය අපනයනයනට යොමු නොකොට, නෙළුම් කුලුණු වැනි ඩොලර් (හෝ රුපියල්) නොඋපයන සෝබන ව්‍යාපෘතිවලට වැය කිරීමයි. ණය කළමනාකරණය කර ගැනීමට තවත් වාණිජ ණය ගැනීම හැර වෙන විකල්පයක් යහපාලන ආණ්ඩුවට නොතිබුණි. එම ණයෙන් යම් කොටසක් විදෙස් ආදායම් නොඋපයන ආනයන වලට වියදම් කළා විය හැක. නමුත් වැඩි කොටසක් වැය වුනේ ණය සහ පොලී පියවීමටය. 2007-2014 සමයේ ගොඩ ගසා ගත් විශාල වාණිජ ණය සම්භාරය නොතිබුනා නම් රාජපක්ෂ ආණ්ඩුව නිදොස් කොට යහපාලන ආණ්ඩුවට වගකීම පවරන්නට තිබුණි. මෙතැන දැක්වීමට අපහසු ණය ආශ්‍රිත දත්ත බලාගත හැකි තැනකි https://longform.watchdog.team/observations/the-sri-lankan-foreign-debt-problem. විහින් රාජ්‍ය ආදායම් වලින් 25%ක් අහිමි කර ගැනීම නිසා 2020 අප්‍රේල් වනවිට වාණිජ ණය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට නොහැකි වීම නිසයි අද අපි මේ අර්බුදයක ඉන්නේ.
අද අපගේ පොදු අරමුණ විය යුත්තේ රාජ්‍ය ආදායම් සහ අපනයන ආදායම් වැඩි කරගෙන, සෝබන වැඩ වලට මහජන මුදල් නාස්ති කිරීමෙන් වැලකී, රාජ්‍යයේ ව්‍යුහාත්මක වැඩි දියුණු කිරීම් කර ආර්ථිකය යම් ස්ථායී තත්වයකට ගෙන ඒමයි. පරිභෝජනවාදය ගැන කරදර වීමට කාලය මෙය නොවේ. ඒ ආශාවන් සහ සිහින සාක්ෂාත් කර ගැනීමේ හැකියාවන් අඩුම වශයෙන් තව දශකයකට රාජපක්ෂවරුන් විසින් විනාශ කර දමා ඇත. මම ඒ ගැන දුක් වෙමි. නිර්නාමිකයන්ට සතුටු විය හැක.