අද මිනිස්සුන්ට පාරට බහින්නට සිදුවී ඇති ප්‍රධානම ඉල්ලීම බලශක්තියයි. විදුලිය, ගෑස්, ඩීසල්, පැට්‍රෝල්. මේවා මෙතරම්ම අවශ්‍ය ඇයිදැයි ඇසීම අද කිසිවෙකුට සිතාගත නොහැකි විකාර මෝඩ ප්‍රශ්නයකි.
ඔවුන්ට ජීවත්වීම යනුම මේ බලශක්ති පරිබෝජනයයි. දියුනුව, සංවර්දනය, නූතනත්වය මේ බලශක්තිය වඩ වඩා පරිබෝජනයයි. වැසි වනන්තර කපා පොල් වතු කුඹුරු ගොඩකර පර්චස් දහයේ විස්සේ කොන්ක්‍රීට් කුහර තනාගෙන, ඒ තුලට ගාල්වී සෑම ජීව ක්‍රියාවක්ම වයර හෝ වයර්ලෙස්ව හෝ ගෑස් බට හරහා කෙරවෙන ජීවිතයයි. මෙවැනි ජීවිත ප්‍රමානය සමස්ත ජනගහනයන් 10-20% පමන උවත්, සමස්ත ජනතාවගේම ජීවන සිහිනය එයයි. ඒ ජීවිතය, සිහිනය සතියකට අඩාල උවහොත් සියල්ල බිඳවැටෙයි. ඒ අතරම මේ ජීවිත විසින් ඒවා නඩත්තුකරීමට අවශ්‍ය ධනයෙන් 10%ක් වත් නිපදවන්නේ නැත.
රටේ ජනගහනයෙන් 80% පමන අන්ත අසාධාරණ ලෙස සූරාකෑමෙන් මේ වියදමට අලගු තැබීමට වත් නොහැකි වෙමින් යයි. ඉතින් කිසිදා පියවිය නොහැකි විදේශ ණය යලි යලිත් ගනිමින් අතේ රෝල් ගැසීම එකම විසදුමයි. කුමන පාලනයක් ආවත් මේ රෝල ගැසිය යුතුය. සමස්ත දේශපාලන කතිකාවම ගොඩනැගී ඇත්තේ මේ රෝල් ගැසීමේදී වන දූශන හෝ වංචා හෝ අකාර්යක්ෂම බව ඒවා ස්මාර්ට්ව නොකිරීම, පවුල් කීපයක් තුල කේන්ද්‍රවීම ආදියයි; මේ සැප පරිබෝජනය මීට වඩා හොඳින් කරවීමයි; මේ පරිභෝජනය සියලුදෙනාටම සමසේ කෙරවීමටයි. විසඳුම් දෙන්නෝ කියන්නේ ඉතාම මුග්දම විසිලු ආකාරයට තිරිකුනාමලයෙන් පමනක් වුව මේ රෝල තමන්ට මීට වඩා හොඳට ගැසිය හැකි බවයි. අර ළදරුවා කිහිලි ගන්නාගත් යුවැතිය මහ මගට පැන කෑගසන්නේ මේ සිහිනයෙන් හදිසියේ අවදිවී අත්විදි කම්පනය තුලිනි. ඔවුනට අවශ්‍ය ඔවුන් කරමින් හිටි දේ එසේම ඊටත් වඩා කරගෙන යාමටයි.
කනගාටුවෙන් අපට මේ මොහොතේ කිව හැක්කේ ඔබ ඔබේ සිහිනය සම්පූර්ණයෙන් වෙනස් නොකරගතහොත් තව වටයකින් ඔබත් ඔබේ බිලිදාත් යලි යලිත් පාරට බැස තව තව පස් කනු ඇති බවයි.
අප අපට උපරිමයෙන් ඉපයියහැකි ප්‍රමාණයට වඩා සියගුනයකින් කාදමන ජීවන රටාවකට තල්ලු වූයේ ඇයි? එය කෙතරම් ස්වභාවිකද? කිසිවෙක් ඒ ගැන හාංකාවිසියක් නැත්තේ ඇයි?
දේශපාලනික සංවාදට ඒ ප්‍රශ්නය ඇතුලු කිරීම මේ ජනතා නැගිටීමට බුද්දිමය පස්-පඩංගු පාවාඩ එලන ආචාරීන්ට කිසි උවමනාවක් නැත.
උද්දච්ච ගෝටා කලිසම ගලවාගන්නා හැටි හෝ කැලෑපාලු වනවැදි බැසිලා ගේ ලුම්පන් නරි රෑන ගාලකඩාගෙන කෙලවාගන්නා හැටි බලා තාවකාලිකව ආතලයක් ගත හැකි උවත්, මිනිසුන් මෙසේ කිසිදා ගොඩයා නොහැකි විෂම චක්‍රයක හිරවෙද්දී ඔවුන් තවත් ඒ උගුලේම හිරකරන මේ ඊනියා ජන අරගලය අපට අදාල නැත.
ලෝක ධනවාදයේ ගෝලීයවාදය දියාරුවීම, අධිරාජ්‍ය බල කඳවුරු අරගල නව වටයකින් තීව්‍රවීම් අප වැනි අවශේෂ රටවල අවස්තා වටිනාකම් දියාරුවීම තුල තාවකාලික ජාතයන්තර ගැලවුම්කරුවන් තත්ව කලමණාකරුවන් කරහරින තත්වයක් තුල මේ ඊනියා ජනතා අරගල රුදුරු පාදඩ පිස්සු බලු පොර බවට පත්වීමට හොඳටම ඉඩ ඇත. මේවායින් ප්‍රජාතන්ත්‍රවාදී සුරුට්ටුව පත්තුකර ගන්නට හොස්ස පොවන්නගේ රැව්ලටත් අර බසයට ගිනි තැබුවාය කියන එකා වැන්නෙක් වගකියනු ඇත.
ඉතා කුඩා පිරිසක් උවත් අප කලක සිට මේ පරශ්න ඉදිරියට දමමින් සිටිමු. මේ, අර සිටි - මේ සිටි - හයිවේ සංවර්ධනය අප වැනි රටකට උවමනාද? දැරිය හැකිද? අප පාසල් විශ්වවිද්‍යාල බිහි කරන්නේ මේ පොලවේ පය ගසා හිඳීමට ඔලුවක් හයියක් ඇති මිනිසුන්ද?
පොදුවේ මේ නිදහස් අධ්‍යාපනය විසින් තොග වසයෙන් අන්-රිකවරබල් ලෙස විපරීතභාවයට පත්කොට එලියට දමන්නන්ගේ ෆැන්ටසිය සැබෑ කරවන්නට කවදා කෙසේ හැකිද? මේ කරුණ යටගසා කෙරෙන මොනම කතිකාවක්වත් මේ ඊනියා ජන අරගලය ගසාකන්නන් මිස අන් යමක් නොවේ.